එක් සෞඛ්‍ය වෘත්තික නිලධාරිනියකගේ සැමියා පසුගියදා දුම්රියට පැන සියදිවි නසාගත්තේ ය. ඔහු සියදිවි නසා ගත්තේ ඇය සමග බෝධි පූජාවක් සඳහා යමින් සිටියදී මඳකට ඇගෙන් ඉවත් වී ලබාගත් අවසරයකිනි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක නිලධාරිනියක වුව ද ඇය සිය සැමියාගේ ගැටලුව හඳුනාගත්තේ නැත. ඇය ඔහු නිසි තැනට යොමු කිරීමට අසමත් වූවා ය. ඔහු යා යුතුව තිබුණේ පන්සලට හෝ දුම්රිය මාර්ගයට නොව මානසික වෛද්‍යවරයකු වෙත ය. 

Sinhala Tamil English Translations and Content Writing

මෙහි ඇති ගැටලුව මානසික රෝග- සාක්ෂරතාව හා සම්බන්ධ ය. අකුරු හැකියාව මෙන් ම මානසික රෝග හා තත්වයන් පිළිබඳ අවබෝධයක් ද මිනිසුන්ට අවශ්‍ය ය. මානසික රෝග සාක්ෂරතාව කියන්නේ එයට ය. 

ලෝකයේ මානසික රෝගීන් මිලියන 450ක් ජීවත් වෙති. 

වසරකට ලක්ෂ 8ක් ලෝකවාසීහු සියදිවි නසාගනිති. සෑම තත්පර 40කට ම එක් අයෙකු සියදිවි නසාගනියි. 

ශ්‍රී ලංකාවේ ද 2016දී 3,025ක් දෙනා ද 2017දී 3,226ක් දෙනා ද සියදිවි හානි කරගත් බව මානසික රෝග විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. එක් මරණයක් සිදු වන විට සියදිවි නසාගැනීමේ උත්සාහයන් 25ක් සිදු වී තිබෙන බව ද ඔහු ගණනය කරයි. 

ලංකාවේ හා ලෝකයේ මෙතරම් මානසික රෝගීන් හමු වන්නේ ඇයි. එයට හේතු කීපයක් තිබේ. 

මිනිසා කායිකව මෙන් ම මානසිකව ද රෝගී වෙයි. කායික රෝග සඳහා ප්‍රතිකාර සඳහා යොමු වුව ද, මානසිකව රෝගී වූ විට ප්‍රතිකාර සඳහා යොමු වීමේ අඩුවක් තිබේ. 

මානසික සෞඛ්‍යයෙන් තොර සෞඛ්‍යයක් නැත. සෞඛ්‍යය ගොඩනැගෙන්නේ කායික, මානසික, සමාජ හා අධ්‍යාත්මික සබඳතා චක්‍රයක් මෙන් ගොඩනැගීමෙනි. එකක් අනෙකාට සම්බන්ධ ය.

මානසික රෝග හඳුනා නොගැනීම නිසා හෝ හඳුනාගත්තත් ප්‍රතිකාරවලට යොමු නොවීම නිසා ප්‍රතිකාර හිදැසක් ඇති වී තිබේ.

එනම්, ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් – ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයන් = ප්‍රතිකාර හිදැස

මේ නිසා ලංකාවේ මානසික රෝගීන් ඉහළ යාමක් දක්නට ඇත. 

අප අවබෝධ කරගත යුතු වැදගත් ම කරුණ වන්නේ මානසික රෝග හා මානසික සෞඛ්‍යය යනු එකක් නොව දෙකක් බවයි. මානසිකව රෝගී නොවූ පළියට මානසික සෞඛ්‍යය හොඳ යයි කිව නොහැක. මනස නිරවුල්ව තබාගැනීමෙන් ජීවිතයේ සතුට හා නිරෝගීකම ඇති වේ. මනසේ සංකේතය සමනලයා ය. මනසත් සමනලයා මෙන් ම ඉතා පරිස්සමෙන් රැකබලාගත යුතු ය. ලස්සන බැලිය යුත්තේ පරිස්සමෙනි. සමනලයාගේ සියුමැලි තටු ලෙහෙසියෙන් හානියට පත් වේ. මනසත් එවැනි ය. Handle with care.

මනස අසනීප වූ විට රෝගී හෙවත් ව්‍යාධි මනසක් ඇති වේ. 

  1. ජනගහණය: රටක තරුණ පිරිස වැඩි වන විට ඊට සමානුපාතිකව මානසික රෝගවල වැඩිවීමක් ද ඇති වේ. වියපත් ජනගහනය වැඩි වන විට ද ඒ හා සමානුපාතිකව මානසික රෝගවල වැඩිවීමක් සිදු වේ. ලංකාවේ මේ දෙපිරිස ම වැඩි ය. 2075 වන විට මේ ජනගහනයන් තවත් වැඩි වනු ඇත. වැඩිහිටි හා තරුණ වයස් කාණ්ඩවල පුද්ගලයන්ට මානසික රෝග වැඩිපුර වැළඳීමේ ප්‍රවණතාවක් තිබේ. 
  2. යුද්ධය: පශ්චාත් යුද ක්ලමථ අක්‍රමිකතාව, අවතැන් වීම වැනි හේතු මත.
  3. සංක්‍රමණය: අවතැන් වන ජනයා සහ විදේශ සංක්‍රමණිකයන් අතර ද මානසික රෝග වැඩි ය. 
  4. මත්පැන්: ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන මත්පැන්වලින් 85%ක් ම අරක්කු, කසිප්පු වැනි සැර ස්ප්‍රීතු ය. 
  5. ආතතිය: අධ්‍යාපනික ආතතිය, ගෘහස්ථ ආතතිය සහ ශ්‍රමය සම්බන්ධ ආතතිය යනුවෙන් කොටස් තුනක් දැකිය හැකි ය. 
  6. දිළිඳුකම

මානසික රෝග හඳුනාගැනීමෙහි සම්පූර්ණ වගකීම වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පමණක් පවරා දිය නොහැකි ය. අනුමාන රෝගීන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේදී පුරවැසියන්ට ද විශාල කාර්යභාරයක් සිදු කළ හැකි ය. විශේෂයෙන් ම සියදිවි හානිකරගැනීම් නැවැත්වීම සඳහා මානසික ආතතියෙන් සිටින පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් ප්‍රතිකාර වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය ය. එහිදී පුරවැසියන්ට සුවිශාල කාර්යභාරයක් තිබේ. විශේෂයෙන් ම පාසල්වලට මානසික උපදේශන සපයන්නන්ගේ සේවය අත්‍යවශ්‍ය ය.

  • ඊශා කප්පරගේ, හෙද නිලධාරිනී

Leave comment

Your email address will not be published. Required fields are marked with *.