අජිත් පැරකුම් ජයසිංහ

හත ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතේ අපූරු කවියක් තිබෙනවා. ඒ කවිය මෙසේයි.

A snake can glide from side to side.

They’re really long and like to hide.

They have long backbones, but no hair.

They use their tongues to taste the air.

They taste your scent if you are near,

And hiss a threat for you to hear.

It’s wise of you to clear their way,

So you don’t have an awful day!

– By Mariah Deitrick

මේ කවියේ ක්ෂණික පරිවර්තනයක් මෙහෙම කළ හැකියි.

සර්පයෙකුට පුළුවන් පැත්තෙන් පැත්තට ඇදි ඇදී යන්නට

ඔවුන් හරි දිගයි, හැංගෙන්න කැමතියි

ඔවුන් තම දිවෙන් වාතයේ රස බලනවා

ඔවුන් ඔබේ සුවඳ රස බලනවා, ඔබ ඔවුන් ළඟ නම්

ඉන් පසු පිඹිනවා තර්ජනයක් ඔබට ඇසෙන්නට

කෝකටත් හොඳයි එතනින් අයින් වෙන එක

මොකටද නිකම් අවුලක්!

– මාරියා ඩේට්‍රික්

කවිය මගේ අවධානයට ලක් වුණේ එහි තිබෙන සුන්දරත්වය නිසා විතරක් නෙමෙයි, එහි තිබෙන විද්‍යාත්මකභාවයත් නිසා. ඒ නිසා තමයි අර මුලින් ඇති මාතෘකාව යෙදුවේ.

බොහෝ සර්පයන්ගේ ඇස් පෙනීමත්, කණ් ඇසීමත් දුර්වලයි. ඔවුන්ට පැහැදිලි කණ් නැහැ. ඔවුන්ට ඇසීම ලැබෙන්නේ කම්පනය ඔස්සේයි. ඇසීම සඳහා උපයෝගී කරගන්නා අවයව ඔවුන්ගේ හිස තුළ හකු අස්ථිවල තිබෙනවා.

සර්පයන් ඇත්තට ම කරන්නේ දිවෙන් රස බැලීමක්. ඔවුන් දිව පිටතට විහිදුවා එයින් ලබන්නේ සංවේදනයක්. ඒක ටිකක් අමුතු එකක්. සර්පයන්ට හොඳ ඉවක් තිබෙනවා. නැහැ පුඩුවලින් වාතයේ තිබෙන ගඳ සුවඳ සංවේදනය කරනවාට අමතරව ඔවුන් දිවෙනුත් එම කාර්යය කරනවා. ඒක වෙන්නෙ කොහොමද?

ඔවුන් වරින් වර පිටතට දිගු කරන අග්ගිස්සෙන් දෙකට බෙදුණු දිවෙන් ඔවුන් වාතයේ පාවෙන ක්ෂුද්‍ර ජල අංශුවල තිබෙන ගඳ සුවඳ උරාගන්නවා. සර්පයන් දිව ඇතුළට ගත් විට මේ ජිව්හා අග්‍ර දෙක ඔවුන්ට තිබෙන ජේකොබ්සන් ඉන්ද්‍රියේ සිදුරු දෙකට ගානට පිහිටනවා. ජේකොබ්සන් ඉන්ද්‍රිය පිහිටා තිබෙන්නේ සර්පයාගේ උඩු තල්ලේයි. එවිට, දිව අග ඇති ජල වාෂ්පවල රැඳි සුවඳ අංශු ඉන්ද්‍රියේ ප්‍රතිග්‍රාහක අණු විසින් හඳුනාගන්නවා. එම ප්‍රතිග්‍රාහන විසින් සංවේදනා පිළිබඳ පණිවුඩ මොළයට යවනවා. මොළය විසින් ඒ පණිවුඩ විග්‍රහ කරගෙන එය මීයකුගේ ගඳක් නම් ඒ බව අවබෝධ කරවනවා.

මෙම කාර්යය නාසයේ තිබෙන සංවේදක මගින් ද කරනු ලබනවා. මේ දෙක එකතු වුණාම තමයි සර්පයන්ට ඉතා හොඳ ඉවක් ලැබෙන්නේ.

ජේකොබ්සන් ඉන්ද්‍රිය කටුස්සන්, තලගොයන් වැනි දිව දිගු කරන වෙනත් උරගයන්ටත් තිබෙනවා.

දැන් බැලුවා ම ඒ කවියේ තිබෙන ‘ඔවුන් තම දිවෙන් වාතයේ රස බලනවා -ඔවුන් ඔබේ සුවඳ රස බලනවා, ඔබ ඔවුන් ළඟ නම්’ කියන පද දෙක කාව්‍යාත්මක වගේ ම කොයි තරම් විද්‍යාත්මක ද?

(Cover Photo: istockphoto.com )

2 thoughts on “සර්පයන් දිව දිගු කරන්නේ ඇයි?

  1. කතන්දරේ දන්නවා. ඒත් ඒක මේ තරම් විස්තරාත්මක ව දැන ගත්තේ අද…!

Leave comment

Your email address will not be published. Required fields are marked with *.