දුම්රියවල කාන්තාවන්ට මැදිරි වෙන්කිරීම හරි ද? වැරදි ද?

අජිත් පැරකුම් ජයසිංහ

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු 8දා සිට කාර්යාල දුම්රිය කීපයක කාන්තාවන්ට පමණක් මැදිරි වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. මේ ගැන ඔබේ අදහස කුමක් ද? එය මෙහි සටහන් කරන්න.

අප නම් සිතන්නේ මෙය ඉතා මුග්ධ තීරණයක් බවයි. එසේ ම දුම්රිය ගැන අවබෝධයකින් තොරව ගත් තීරණයක් බවයි. කාර්යාල දුම්රියවල ගමන් කරන සියලු කාන්තාවන්ට එක් මැදිරියක් සෑහෙන්නේ නැත. එසේ ම කාර්යාල දුම්රියවල සියලු කාන්තාවන් එක් පන්තියක මැදිරිවල ගමන් කරන්නේ ද නැත.

අනෙක් පැත්තෙන් මෙකී කාර්යාල දුම්රියවල තිබෙන්නේ මැදිරි 12ක් පමණි. මේ කරන්නට යන්නේ අලුතෙන් මැදිරියක් එක් කිරීම නොව, තිබෙන මැදිරියක් ම කාන්තාවන්ට පමණක් වෙන් කිරීමයි. මෙය වනාහි දුම්රියවල තදබදයට කිසිදු විසඳුමක් නොවේ.

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් හිංසනයට ලක් වීම බරපතල සමාජ ගැටලුවක් බව ඇත්ත ය. එයට විසඳුම් දිය හැක්කේ කාන්තාවන් පිරිමින්ගෙන් වෙන් කිරීමෙන් යයි සිතීම අතිශය පසුගාමී, මෝඩ අදහසකි.

සිදු විය යුත්තේ පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කරන පිරිමින්ගේ චර්යා වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි. වැරදි සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීම එයින් ප්‍රධාන පියවරකි. ඒ සඳහා හිංසනයන් පිළිබඳ වාර්තා කිරීමේ සහ නීතිය හා ආරක්ෂාව ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයන් සංවර්ධනය කළ යුතු ය. ඒවා අමාරු වැඩ ය. මෙවැනි ගොබ්බ වැඩ ලේසි ය.

දුම්රියවලදී කාන්තාවන් හිංසනයට ලක් වන ප්‍රධාන හේතුව අධික තදබදයයි. මරන්නට ගෙන යන හරකුන් ලොරිවල පටවාගෙන යද්දී එහි හරකකු වෙනුවෙන් තිබිය යුතු ඉඩ සම්බන්ධ නීති පොලිසිය දැඩිව ක්‍රියාත්මක කරන බව නිතර සිදු වන අත්අඩංගුවට ගැනීම්වලින් හෙළි වේ. එම නීති දුම්රිය මගීන්ට අදාළ නැත. දුම්රියේ කිසිදු මගියකුට සිය පෞද්ගලික අවකාශය සම්බන්ධයෙන් හිමිකමක් නැත. සාමාන්‍යයෙන් දුම්රිය මැදිරිවල කාර්යබහුල වේලාවට සිදු වන තරම් තදබදයක් කිසිම බසයක දැකිය නොහැකිය. බස්වල නම් පොල් පටවන්නා සේ මගීන් පටවන්නේ කොන්දොස්තර ය. දුම්රියට අන්තිමට නගින මගීන් කොන්දොස්තරගේ ඩියුටිය තමන්ට භාර ගෙන සෙසු මගීන්ට බැනවදින්නේ කිසිදු කොන්දොස්තර කෙනෙකු නොකරන පරිදි ය.

පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ යයි සද්ධර්මරත්නාවලියේ කීවේ මෙවැනි විසඳුම්වලට ය.

වාමාංශිකයකු වන ජෙරමි කෝබින් ද බ්‍රිතාන්‍යයේ දුම්රියවල කාන්තාවන්ට මැදිරි වෙන් කළ යුතු බව යෝජනා කර තිබේ. බ්‍රිතාන්‍යය 1977දී කාන්තාවන්ට පමණක් දුම්රිය මැදිරි වෙන් කිරීමේ ක්‍රමය අහෝසි කළේ ය. බ්‍රසීලය, ජපානය, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, ඊජිප්තුව, ඉන්දියාව, තායිලන්තය හා ඉරානය කාන්තාවන් සඳහා වෙන් කළ දුම්රිය මැදිරි ඇති රටවල් ය.

(කවරයේ ඡායාරූපය: ජපානය)