අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 12 ලංකා පුවත්පතේ ද පළ වේ)

පොලිසිය හා ආරක්ෂක හමුදා විසින් ශ්‍රී ලංකාවේ මෑතදී මතු වූ මූලික ත්‍ර‍ස්ත සංවිධානය මේ වන විට බොහෝ දුරට මුලිනුපුටා දමා තිබේ. ඒ පිළිබඳ සවිස්තර වාර්තා ඔවුන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද අතර ආරක්ෂක ඇමති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව අමතමින් ද පැහැදිලි කරන ලදී.

ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය අන්තවාදී ත්‍ර‍ස්තවාදය හා එහි විශාලත්වය පිළිබඳ නිවැරදි හා විද්‍යාත්මක පුරෝකථනයක් ලොව කිසිවකු විසින් කරනු ලැබුවේ නැත. එහෙත්, ඔවුන් වෙත වැඩි ම විරෙැා්ධයක් දක්වනු ලැබුවේ සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන විසින් බව පිළිගත යුතු ය. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු එම වකවානුවේදී අතිශයෝක්ති ලෙස පෙනුණි. ඔවුන් විසින් මතු කරන ලද කරුණු කෙරෙහි සමාජ අවධානය යොමු නොවුණේ ඔවුන් පැටලී සිටි වෙනත් ව්‍යාපෘති නිසා ය. එක පැත්තකින් සාමාන්‍ය මුස්ලිම් වැසියන්ට පහර දීමට ද, අනෙක් පැත්තෙන් මුස්ලිම් වානිජ ව්‍යාපාර බිඳවැට්ටීම පිණිස තරගකාරී සිංහල ව්‍යාපාරිකයන්ගෙන් කොන්ත්‍රාත් ලබාගැනීමට ද ඔවුහු කටයුතු කළ හ. එසේ ම, සිංහල මෙන් ම ඉස්ලාම් අන්තවාදී ව්‍යාපාර ද විවිධ බල දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් පාවිච්චි වෙමින් තිබිණි.

බුද්ධි තොරතුරු මත පදනම්ව, ආරක්ෂක අංශ නිසි ලෙස ක්‍රියාත්මක වූ බවක් දක්නට නොලැබේ. එයට මූලිකව ම ආරක්ෂක ඇමති ධුරය හොබවන ජනාධිපතිවරයාගේ සිට සමස්ත රජය ද, පොලිස් හා ආරක්ෂක ප්‍ර‍ධානීන් ද වගකිව යුතු ය. එසේම, සිද්ධියෙන් දෙසතියක් ඇතුළත එකී ත්‍ර‍ස්ත ව්‍යාපාරය මුලිනුපුටා දැමීමට සමත් වීමේ ගරුත්වය ද ඔවුන්ට භාර දෙන්නට අප මැලි නොවිය යුතු ය.

එහෙත්, මෙම ලිපිය ලියන මොහොත වන විටත් සමාජය ත්‍ර‍ස්තවාදීන් විසින් ඇති කරන ලද භීෂණයෙන් අත්මිදෙන්නට අසමත් වී තිබේ. ඒ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. එය ප්‍ර‍කාශමාන වන ප්‍ර‍ධාන ම ස්ථානය පාසලයි. දරුවන් පාසල් එවීම මව්පියන් විසින් ප්‍ර‍තික්ෂේප කර තිබේ.

ත්‍ර‍ස්තවාදයට බිය විය යුතු මට්ටමක් තිබේ. එය සාධනීය බියකි. සාධනීය බිය ආරක්ෂා වීම සඳහා අවශ්‍ය සූදානම් වීම සඳහා මග සලසයි. ඒ සඳහා තොරතුරු මත පදනම් විය යුතු ය. මෙතැනදී තොරතුරු යනු ආරක්ෂක බුද්ධි අංශ තොරතුරු නොවේ. ත්‍ර‍ස්තවාදය පිළිබඳ යම් අවබෝධයක් සමාජයට තිබිය යුතු ය.

මෙහිදී ත්‍ර‍ස්තවාදයට අර්ථකථනයක් අවශ්‍ය ය. වෙනත් ඕනෑම අර්ථ නිරූපණයක් සේ ම ත්‍ර‍ස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණ ද එම අර්ථ නිරූපණ සපයන්නන්ගේ අවශ්‍යතාවට සාපේක්ෂ වේ. මහජනතාව ලෙස අප ත්‍ර‍ස්තවාදය තේරුම් ගත යුත්තේ යම් අරමුණක් ඉටු කරගැනීම සඳහා සමාජය මත භීෂණය පැතිරවීමේ අරමුණින් විශේෂයෙන් ම සිවිල් වැසියන් ඉලක්ක කරගෙන භාවිතා කරන ප්‍ර‍චණ්ඩත්වය ලෙසයි. මේවා බොහෝ විට නීති විරෝධී වන මුත් ඇතැම් විට රජය විසින් හෝ රාජ්‍ය අනුග්‍ර‍හයෙන් ද සිදු විය හැකි ය. කෙසේ වෙතත්, ත්‍ර‍ස්තවාදය ලෙහෙසි පහසු ව්‍යාපාරයක් නොවේ. විශේෂයෙන් ම, පාස්කු ඉරිදා ප්‍ර‍හාර එල්ල කළ ආකාරයේ මරාගෙන මැරෙන ත්‍ර‍ස්තවාදියකු නිර්මාණය කරගැනීම ඉතා අමාරු කටයුත්තකි. ඊට අමතරව, ත්‍ර‍ස්තවාදී සංවිධාන කටයුතු ද ඉතා දුෂ්කර ය. මීයන් සේ හැම තැනින් ම ත්‍ර‍ස්තවාදීන් මතු නොවන්නේ ඒ නිසා ය. ත්‍ර‍ස්තවාදය එතරම් පැටව් ගසන්නට තරම් හේතු වන සමාජ තත්වයක් ද ශ්‍රී ලංකාවේ නැත. ආගමික අන්තවාදයකට පවා එය ලෙහෙසි ව්‍යාපාරයක් නොවේ.

සමාජයේ වැඩි පිරිසක් සාමාන්‍ය තත්වයන් යටතේ සාමකාමී පිරිස් ය. යම් යම් තත්වයන් තුළ ජනතාව ප්‍ර‍චණ්ඩත්වය වෙත යොමු කරගත හැකි ය. අන්තවාදී බලවේග විසින් එසේ කරනු ලැබේ. එසේම, ජනතාව භීෂණයේ ගොදුරු බවට පත් වන්නේ ද ඒ අන්දමින් ම ය. බිය යනු යම් තර්ජනයක් විෂයෙහි දක්වනු ලබන භාවමය ප්‍ර‍තිචාරයකි. එය ප්‍රජානන ක්‍රියාවලියක අදියරකි. යම් ඉගෙනීමක් සමග සම්බන්ධ ය. එය ස්වාභාවික ය. ඒ අනුව මනසෙහි, ශරීරයෙහි මෙන් ම චර්යාවන්ගේ ද වෙනස්කම් ඇති වේ. මිනිසුන් පළා යන්නට, සැඟවෙන්නට මෙන් ම ප්‍ර‍ති ප්‍ර‍හාර දෙන්නට ද බිය විසින් පොළඹවනු ලැබේ. බිය අපේ ජීවිතයේ කොටසකි. එහෙත්, බියට අපගේ ජීවිතය හැසිරවීමට අප ඉඩ දෙන්නේ නම් එය ගැටලුවකි. වර්තමානයේ ශ්‍රී ලාංකික සමාජයේ සිදු වී තිබෙන්නේ එයයි.

යුද සමයේ නම් දිගු කාලයක් තිස්සේ අනාරක්ෂිතභාවයෙන් පෙළුණ ශ්‍රී ලාංකික සමාජය පසුගිය දස වසරක පශ්චාත් යුද සමය තුළ සහ විශේෂයෙන් පසුගිය වසර හතරහමාරක වල් බූරු ප්‍ර‍ජාතාන්ත්‍රික නිදහසක් පැවති සමය තුළ ආරක්ෂාව තඹයකට මායිම් නොකරන තැනකට තල්ලු විය. විශේෂයෙන් ම රජය ආරක්ෂාව පිළිබඳ වගකීම් නොතකා හැර සමාජයට සමාජය විසින් ම ආරක්ෂා වන්නට හැර දමා තිබිණි. ත්‍ර‍ස්තවාදීන්ට දිවයිනේ ප්‍ර‍ධාන පෙළේ හෝටල් කීපයකට සහ දේවස්ථාන කීපයකට නිදහසේ බෝම්බ ප්‍ර‍හාර එල්ල කිරීමේ අවස්ථාව ලැබුණේ එහි ප්‍ර‍තිඵලයක් ලෙසයි. ඇත්තට ම සියදිවිනසාගැනීමේ බෝම්බ ප්‍ර‍හාර වෙනුවට කාල බෝම්බ වැනි තාක්ෂණයක් ඉතා පහසුවෙන් පාවිච්චි කිරීමේ හැකියාව ඔවුන්ට තිබිණි. ශ්‍රී ලංකාවේ පොදු ආරක්ෂක විධිවිධාන එතරම් ලිහිල් වී තිබිණි.

මේ මොහොතේ දක්නට ලැබෙන සමාජ භීති උන්මාදය නිර්මාණය වන්නට හේතුව මෙම තත්වයයි. පාස්කු ඉරිදා ප්‍ර‍හාරවල තීව්‍ර‍භාවය හේතුවෙන් එවැනි භීති උන්මාදයක් ඇති වීම සාධාරණ ය. එහෙත්, මෙය ලංකාවට අලුත් තත්වයක් නොවේ. මෙවැනි භීති උන්මාදයක් එතරම් දිගු කලක් පවතින්නේ නැත. සිංහලයාට යමක් මතක තිබෙන්නේ සති දෙකකැයි ප්‍ර‍භාකරන් කීවා යයි කියන කතාව නිර්මාණය වන්නේ ද මෙකී සමාජ භීති උන්මාදය ස්වභාවිකව ම පහ වී යන ආකාරය අනුවයි. එහෙත්, යුද සමයේදී ආරක්ෂක අංශ එසේ වූයේ නැත. සිද්ධියෙන් සිද්ධිය ආරක්ෂාව තර වුණා මිස ලිහිල් වූයේ නැත. දැන් වුණ ද තත්වය එයයි. අවශ්‍ය වන්නේ එය දීර්ඝ සාම වකවානුවක පවා එය පවත්වාගෙන යාමයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික සමාජය ආරක්ෂාව පිළිබඳ සංවේදීභාවය පවත්වාගෙන යන අතර ම සමාජ භීති උන්මාදයෙන් මිදීම අත්‍යවශ්‍ය ය. ඉන්දියාවේ ප්‍ර‍ධාන මනෝ වෛද්‍යවරයකු වන ආචාර්ය සමීර් පරිඛ් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතෙහි පළ වූ භීති උන්මාදය පිළිබඳ ලිපියක මෙසේ පවසයි. “භීති උන්මාදය කාංසාව සමග එකට යන තත්වයකි. පුද්ගලයා සැලකිය යුතු කාලයක් ක්ෂතිමය අත්දැකීම සිහිපත් කරනු දක්නට ලැබේ. කෙසේ වෙතත්, එය දිගු කලක් පවතින්නේ නැත.”

පුද්ගලයන්ට අදාළව ඔහු කියන දෙය සමාජයට අදාළව බැලුවත් එසේ ම ය. මිනිසුන් පොදු ස්ථානවල ගැවසීමට, පොදු ප්‍ර‍වාහනය භාවිතා කිරීමට බියක් දක්වන අතර එමගින් ඔවුන්ගේ සමාජ ජීවිතයට, ආර්ථිකයට, දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑමක් සිදු වේ. මෙම තත්වය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ජනමාධ්‍ය විශාල වැඩකොටසක් කරයි. මාධ්‍යවලට හා මාධ්‍යකරුවන්ටත්, සමාජ මාධ්‍යකරුවන්ටත් තමන් කෙරෙහි අවධානය යොමු කරගැනීම සඳහා ඔවුන් විසින් භීතිය ඇති කරන පුවත් අතිශයෝක්තියට නගන බව පෙනේ. මෙවැනි ත්‍ර‍ස්තවාදයක් හමුවේ කිසිවකුට එවැනි තත්වයන් එකහෙළා ප්‍ර‍තික්ෂේප කිරීමට හෝ රට ආරක්ෂිත බව පැවසීමට හෝ බැරිකම මාධ්‍ය විසින් මෙන් ම මෙවැනි සිදුවීම් ඔස්සේ දේශපාලන අරමුණු ඉටු කරගැනීමට බලාපොරොත්තු වන පිරිස් විසින් ද පාවිච්චි කරනු දක්නට ලැබේ.

මෙම තත්වයෙන් ගොඩඑන්නට නම් අප සාමාන්‍ය ජීවිතයේ දෛනික කටයුතු නැවත ආරම්භ කිරීම ඉතා වැදගත් ය. විරුද්ධ දේශපාලකයන් කෙතරම් විවේචන කළත්, පාසල් යළි පටන් ගන්නට රජය ගත් තීරණය වැදගත් වන්නේ ඒ නිසා ය. පාසල් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් තිබුණත්, පාසල් නැවත පටන් ගැනීම සමග රජයේ කාර්යාල හා පෞද්ගලික අංශයේ සේවා ස්ථාන යථා තත්වයට පත් වීම වේගවත් වී තිබේ. පාසල් පටන් ගැනීම සාමාන්‍ය තත්වය සම්බන්ධයෙන් සංකේතාත්මකව වැදගත් ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.