වික්ටර් අයිවන් සම්බන්ධයෙන් මට විශාල ඇගයීමක් වගේ ම විවේචනත් තියෙනවා. හැබැයි, ලංකාවේ ඉතිහාසයේ දේශපාලන පුවත්පත් කලාව තුළ සලකුණු වන නමක් තැබූ කීපදෙනා අතරින් වික්ටර් අයිවන් ඉදිරියෙන් ම ඉන්න බව අවිවාදයෙන් පිළිගන්නට සිදු වෙනවා. වික්ටර් අයිවන් හැදෑරීම කියන්නේ ලංකාවේ ඉතිහාසයේ එක් යුගයක් හැදෑරීමක් වගේ. වික්ටර් අයිවන් කියන්නේ රාවය පමණක් නොවෙයි. මේ ඔහු අධිකරණයේ ගුණාත්මකභාවය පිළිබඳ කළ අරගලය පිළිබඳ ඔහු ම තැබූ සටහනක්. උපුටාගැනීම රාවය පුවත්පතෙන් (ස්තුතියි
http://www.lankateam.com ) කවරයේ ඡායාරූපය ‘ධර්ගා නගරයේ, ඉඳිගස්තුඩුවේ පුනරුදය සාකච්ඡාවක් අතරතුර සැඳෑ ආලෝකයේ වික්ටර් අයිවන්’ – ජංගම දුරකථන කැමරාවෙන් අජිත් පැරකුම් ජයසිංහ ගත් ඡායාරූපයක්)

මමද අධිකරණය සමග ලොකු ගැටුමකට ගිය පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. එය ලංකා අධිකරණ ඉතිහාසයේ සිවිල් පුද්ගලයකු අධිකරණය සමග ඇති කරගත් ලොකුම ගැටුම ලෙසද සැලකිය හැකිය. එය ජාත්‍යන්තර නීති ප්‍රජාවගේ ලොකු අවධානයක් දිනාගත් ගැටුමක් ලෙසද සැලකිය හැකිය.

එය සටන්කාමියකු ලෙස පෙනී සිටීම සඳහා නිර්මාණය කරගත් හේතු මත ඇති කරගත් ව්‍යාජ ගැටුමක් නොවූ අතර, සාධාරණ හා අව්‍යාජ හේතු මත සුළු පරිමාණයකින් ආරම්භ වී ක්‍රමයෙන් ලොකුවට වර්ධනය වූ අව්‍යාජ හා යුක්තිසහගත ගැටුමක් ලෙස සැලකිය හැකිය. සටන ආරම්භ කළේ තනියෙන් වුවත්, එය කිසියම් අදියරයක සිට නීතිඥ ප්‍රජාවගේද විනිසුරු ප්‍රජාවගේද කිසියම් ප්‍රමාණයකට මහජනයාගේද අනුකම්පාව හා සහයෝගය හිමි කරගත් අරගලයක් වී යැයිද කිව හැකිය.

එම ගැටුම ආරම්භවීමට හේතුවූයේ මහේස්ත්‍රාත්වරයකු තමන් ඉදිරියේ ඇසෙන නඩුවකට සම්බන්ධ කාන්තාවකට ලිංගිකව අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳව මා පළ කරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් බලධාරීන් අනුගමනය කරන ලද නොසැලකිලිමත් ප්‍රතිපත්තිය නිසා මා තුළ ඇතිවූ බලවත් කම්පනයේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. එම මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවයට එකතු වන්නට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර තිබුණු අතර, තුන්වැනි පාර්ශ්වයේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් මත සේවයෙන් පහකර තිබුණි. ඔහු අධිකරණ සේවයට එකතු වී තිබුණේ, තමන්ගේ අපකීර්තිමත් ඉතිහාසය වසන් කරමිනි.

එම සිද්ධිය රාවයේ පළවීමෙන් පසුව ඔහුට තිබුණු දැනහැඳුනුම්කම් මත නීතිපති සරත් සිල්වා හමුවන්නට ගිය ඔහු නීතිපතිගේ උපදෙස් මත මට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබාදී තිබුණි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකයන් දෙදෙනකු මගෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා මා හමුවන්නට පැමිණි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පිළිබඳව මා ඒ වනවිට සොයාගෙන තිබුණු සියලු තොරතුරු ඔවුන්ට ලබා දුන්නේය. මුදල් වංචාවක් මත රක්ෂණ සංස්ථාවෙන් පහකිරීමේ සිද්ධිය තහවුරු කරන ලේඛනයක පිටපතක්ද ඔවුන්ට ලබාදෙන ලදි. අතවරයට ලක්වූ කාන්තාව පිළිබඳව මා දන්නා තොරතුරුද ලබාදෙන ලදි.

පරීක්ෂණය ආරම්භ කර තිබුණේ මට එරෙහිව කරන පරීක්ෂණයක් වශයෙන් වුවත්, එය අවසන් වී තිබුණේ මහේස්ත්‍රාත්වරයාට එරෙහිව කෙරෙන පරීක්ෂණයක් වශයෙනි. අපරාධ පරීක්ෂකයන් මහේස්ත්‍රාත්වරයා අතින් දූෂණයට ලක්වී තිබුණු කාන්තාවගෙන් ප්‍රශ්න කොට කටඋත්තරයක් ලබාගන්නවාට අතිරේකව මුදල් වංචාවක් මත සේවයෙන් පහකිරීමේ සිද්ධිය පිළිබඳව රක්ෂණ සංස්ථාවෙන්ද අවශ්‍ය තොරතුරු ලබාගෙන තිබුණි. පරීක්ෂණය අවසන් වන විට මා වෙනුවට පැමිණිලිකාර මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවකු වීම තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාව නීතිපති සරත් සිල්වා වෙත යවා තිබුණේ අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහාය. නීතිපති වංචාකාරයා ස්ත්‍රී දූෂිත මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් අනුගමනය කරන්න යන්නේ කුමන ප්‍රතිපත්තියක්ද යන්න ගැන මා නිහඬව එහෙත් උනන්දුවෙන් බලා සිටියෙමි.

නීතිපතිවරයා මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පරීක්ෂණ වාර්තාව යටපත් කරගෙන සිටින බව පෙනුණු විට මම ඒ ගැන අධිකරණ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්ට පැමිණිලි කළෙමි. ඔහු ඒ ගැන නීතිපතිගෙන් ලිඛිත කරුණු විමසීමක් කරන ලද අතර, ඊට පිළිතුරු වශයෙන් මහේස්ත්‍රාත්වරයාගේ සිද්ධිය පිළිබඳව රහස්‍ය වාර්තාවක් අධිකරණ ඇමතිවරයා වෙත එවා තිබුණි. එහි පිටපතක් ලබාගෙන කියවූ විට මා තුළ ඇතිවූ විස්මය හා පිළිකුල නීතිපතිවරයා පිළිබඳව කියා නිම කළ නොහැකිය. ස්ත්‍රී දූෂණය පිළිබඳ සිද්ධිය විවිධ තර්ක මත නොසලකා සිටියද මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයෙක් අධිකරණ සේවයට එකතුවීමේ සිද්ධිය සමාව දිය නොහැකි බිහිසුණු වරදක් බව නොසලකන නීතිපතිවරයකු නීතිපතිවරයකු ලෙස සැලකිය හැක්කේ කෙසේද?

නීතිපතිවරයා නීච හා අධම ගණයේ පුද්ගලයකු විය යුතු බව ඔහුගේ රහස්‍ය වාර්තාව කියවීමෙන් පසු මා ඔහු පිළිබඳව ඇති කරගත් නිරීක්ෂණය විය. ඒ සමග මා නීතිපති සරත් නන්ද සිල්වා පිළිබඳ කරුණු සොයා බලන පුද්ගලයකුගේ තත්ත්වයට පත්වීමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සරත් නන්ද සිල්වාට අදාළ සනාථ කළ හැකි බිහිසුණු කතා දෙකක් සොයා ගැනීමට මට හැකිවිය. එයින් මා ප්‍රසිද්ධියට පත් කළේ එක් කතාවක් පමණය. සරත් සිල්වා සමවගඋත්තරකරුවකු කරමින් රසායන ඉංජිනේරුවකු වූ ජයසේකර සිය බිරිඳට එරෙහිව පවරන ලද නඩුව හා එම නඩුව විභාග කළ විනිසුරුවරයා වූ දිසා විනිසුරු උපාලි අබේරත්නගේ ආධාර ඇතිව එම නඩුවේදී ක්‍රියාත්මක කළ නීතියට පටහැනි ක්‍රියාදාමය මා ප්‍රසිද්ධියට පත් කළ කතාව ලෙස සැලකිය හැකිය. ඒ ගැන මා මීට පෙර ලියා ඇති නිසා කිසිවක් නොලියමි. වඩාත්ම භයානක කතාව වනුයේ මා ප්‍රසිද්ධියට පත් නොකළ කතාවය. එය ප්‍රසිද්ධියට පත් කළේ නම් සරත් සිල්වා පමණක් නොව ඒ කතාවට සම්බන්ධ අහිංසක පවුලක්ද මුළුමනින් විනාශ වන්නට ඉඩ තිබුණි. එම බිහිසුණු කතාව ප්‍රසිද්ධියට පත් නොකළේ සාක්ෂි නැතිකම නිසා නොව, අහිංසක පවුලකට සිදුවන විනාශය වැළකීම සඳහාය.

මේ විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව හා නීතිපති සරත් සිල්වාට එරෙහිව මා නොනවත්වා කරන ලද හඬ නැගීම නිසා නීතිඥ සංගමයේ සභාපතිවරුන්ගේ සම්මේලනයක කරන ලද ඉල්ලීම අනුව ත්‍රිපුද්ගල විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා එල්ල කරන ලද චෝදනා ගැන සොයා බැලීම පිණිස අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත්කිරීමට අගවිනිසුරුවරයාට සිදුවිය. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක ගැන සොයා බලන්නට පත් කළ පරීක්ෂණ කමිටුව මා ඉදිරිපත් කර තිබූ සියලු චෝදනාවලට ඔහු වරදකරු කළේය. දිසා විනිසුරු උපාලි අබේරත්න පරීක්ෂණයට ඉඩ නොතබා වරද පිළිගත්තේය.

ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් මගින් මෙම විනිසුරුවරුන් දෙදෙනා වරදකරු කිරීමෙන් පසු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරෙහිව එල්ල කරන චෝදනාවලට ඔහු වරදකරුවකු වන බව දැන දැනම ඔහු ආරක්ෂා කිරීමෙන් නීතිපති සරත් සිල්වා බරපතළ වරදක් කර තිබෙන බව චෝදනා කරමින් ඒ ගැන පරීක්ෂා කොට බලා අධිකරණ පනතේ 2 වන වගන්තිය යටතේ ඔහුගේ නීතිඥභාවය අහෝසි කරන ලෙස ඉල්ලා මම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නීතිපතිට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. ඒ හා සමාන පැමිණිල්ලක් රසායන ඉංජිනේරු ජයසේකරද ඔහුගේ නඩුව පදනම් කරගනිමින් නීතිපති සරත් සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙම පැමිණිලි දෙක විභාගයට ගත යුතුද නැද්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණය සාමූහිකව රැස්වී සාකච්ඡා කර තිබෙන අතර නීතිපතිට එරෙහිව පරීක්ෂණයක් පවත්වනවාට විරුද්ධ වී ඇත්තේ විනිසුරුවරුන් තිදෙනෙක් පමණය. අමීර් ඉස්මයිල් විනිසුරුවරයා මගේ පැමිණිල්ල භාර පරීක්ෂණ නිලධාරියා වශයෙන්ද, ශිරානි බණ්ඩාරනායක විනිසුරුවරිය ජයසේකරගේ පැමිණිල්ල භාර පරීක්ෂණ නිලධාරියා වශයෙන්ද, ආචාර්ය මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා එම පැමිණිලි දෙකේ අධීක්ෂණ හා කළමනාකාර කටයුතු භාර නිලධාරියා වශයෙන්ද පත්කර තිබේ. අගවිනිසුරු ධුරයේ සිටි ජී.පී.එස්. සිල්වා විශ්‍රාම යන්නේ නීතිපතිවරයාට එරෙහිව පරීක්ෂණ දෙකක් ආරම්භ වී තිබුණු අවස්ථාවකදීය.

හොඳටම බෙල්ල හිරකර ගත් තත්ත්වයකට පත්වී සිටි සිය මිතුරා මුදා ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට අනියම් ලෙස පාලනය කළ හැකි තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහා ජනාධිපතිනිය ඔහු ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කර තිබූ පරීක්ෂණයන් නොසලකා ඔහු අගවිනිසුරු ධුරයට පත් කළාය. ජනාධිපතිනියගේ එම නීති විරෝධී ක්‍රියාවට මා විරෝධය පළ කළේ ජනාධිපතිනිය ඉදිරියේ නව අගවිනිසුරුවරයා දිවුරුම් දෙන ඡායාරූපය උඩ යට හරවා රාවය පුවත්පත කළු කලාපයක් වශයෙන් පළකිරීමෙනි.

ඉන්පසු අපි තිදෙනකු අගවිනිසුරුවරයාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ඔහුට එරෙහිව නඩු පැවරුවෙමු. අගවිනිසුරුවරයා එම නඩුවේ විනිශ්චය මණ්ඩලය තීන්දු කරන තත්ත්වයක සිටියදී එම නඩුව ජයගත නොහැකි බව අපි දැන සිටියෙමු. අපට අවශ්‍ය වූයේ ඔහුගේ පත්වීමෙන් පසු සටන අතරමග ඇනහිටින්නට නොදී ඉදිරියට ගලා යන තත්ත්වයක් ඇති කිරීමය. එම නඩුව නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නීතීඥ සංගමය ඇතුළු නීති සංගම් ගණනාවක් එකට එකතු වී කේරළයේ විශ්‍රාමලත් අගවිනිසුරුවරයකු එම නඩුවේ නිරීක්ෂකයකු වශයෙන් ලංකාවට එවීය.

ඉන්පසු අගවිනිසුරුවරයා ඉවත් කිරීමට උත්සාහ කරන අසාර්ථක උත්සාහයන් දෙකකටද දායක වන්නට සිදුවිය. ඉන්පසු අගවිනිසුරුවරයා තනතුරේ සිටියදීම ඔහුගේ ජුගුප්සාජනක භූමිකාව විස්තර කරන පොතක් ‘නොනිමි අරගලය’ නමින් පළ කරන ලදි. එය දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද පාඨක අවධානය දිනාගත් පොතක් බවට පත්විය.

සරත් නන්ද සිල්වා ආශ්‍රයෙන් ඇතිවූ අර්බුදයේදී රටේ දේශපාලන පක්ෂ හා ජනමාධ්‍ය රඟපෑ භූමිකාවද සරත් සිල්වා තරම්ම ජුගුප්සාජනක වූ බව කිව යුතුය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය වැනි පක්ෂද කුණුවූ මළ සිරුරකින් මජර උරා බොන නිලමැස්සන් මෙන් ඒ අර්බුදයේදී ඔහුගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ඔහුගේ පැවැත්ම ශක්තිමත් කළේය. බොහෝ ජනමාධ්‍යවල හිමිකරුවන්ද එම අර්බුදය අවස්ථාවක් කරගනිමින් ඔවුන්ගේ නඩු හබ බේරා ගත්තේය. ඒ සියලුදෙනාගේ හැසිරීම එසේ නොවන්නට ලංකාවේ වර්තමානය මේ තරමට කාලකණ්ණි නොවන්නට ඉඩ තිබුණි.

1 thought on “වික්ටර් අයිවන්

  1. මේක රාවය පලවුන නාගානන්ද ලිපියේ කෑල්ලක්…..

Leave comment

Your email address will not be published. Required fields are marked with *.