අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 26 ලංකා පුවත්පතේ ද පළ වේ)

ජාතික තව්හීද් ජමාත් ඇතුළු මුස්ලිම් අන්තවාදී සංවිධාන ගෝලීය අයිඑස් ත්‍රස්තවාදය සමග එක්ව පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර සමග ලංකාවේ මුස්ලිම් ජාතික ප්‍රජාව දැඩි පීඩනයකට ලක් වී තිබේ. එක පැත්තකින් එය මුස්ලිම් භීතිකාවක් රට තුළ නිර්මාණය කිරීමට හේතු වී තිබේ. අනෙක් පැත්තෙන් ජාතිවාදී දේශපාලන ව්‍යාපාරවලට එය ඉතා වාසිදායක තත්වයකි.

තව්හීද් ජමාත් ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආරම්භ වූ කාලයේ පටන් ම එය විසින් ඇති කරනු ලැබුවේ ගැටලු ය. දස වසකට ඉහත 2009 ජුලි මස පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවමින් හා 40දෙනෙකුට පමණ තුවාල සිදු කරමින් බේරුවල බුහාරි පල්ලියේ හා මහගොඩ රහුමාන් පල්ලියේ දායකයන් අතර ගැටුමක් ඇති වී රහුමාන් පල්ලියට කිසියම් පිරිසක් ගිනි තබන ලදී. බුහාරි පල්ලිය වසර 145ක් පමණ පැරණි පල්ලියක් වන අතර එහි පාලනය පැවතියේ සුෆී මුස්ලිම්වරුන් අතර ය. රහුමාන් පල්ලිය තව්හීද් ජමාත් පල්ලියකි. බුහාරි පල්ලියේ සම්ප්‍රදායික දානමය පිංකමකට තව්හීද් ජමාත් සංවිධානය මූලධාර්මික පදනමින් විරුද්ධ වීම මෙම ගැටුමට හේතු විය. නැගෙනහිර පළාතේ ද තව්හීද් ජමාත් සහ සුෆිවරුන් අතර ගැටුම් සුලබ ය.

මුල් කාලයේ පටන් ම තව්හීද් ජමාත් ව්‍යාපාරය පාරිශුද්ධ මුස්ලිම් සමාජයක් වෙනුවෙන් ය යන මුවාවෙන් කරගෙන ගියේ අරාබිකරණයක් බව වෙනස් සංස්කෘතික අනන්‍යතාවක් සහිත සුෆීවරුන් පළමු ඉලක්කය බවට පත් වීමෙන් පෙනේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය අඩු වැඩි වශයෙන් මෙකී අරාබිකරණයේ ගොදුරු බවට පත් විය. ජමියතුල් උලමා ඇතුළු ඉස්ලාම් ආගමික ප්‍ර‍භූන් එයට දිරිදුන් බව බොරුවක් නොවේ. එමගින් ඔවුන් මුස්ලිම්වරුන් පොදු සමාජයෙන් දුරස්ථ කිරීමකට ද දායක වූ හ. බුර්කා, නිකාබ් වැනි ස්ත්‍රී පීඩක අරාබි ඇඳුම් එකී දුරස්ථකරණයේ සහ වහාබි බලපෑමේ සංකේත වේ.

මෙම මුස්ලිම් ජාතිවාදය ඇත්තෙන් ම අනවශ්‍ය තත්වයකි. 9%ක් පමණ වන ශ්‍රී ලංකාවේ යෝනක සුළුතරයට බාධාවකින් තොරව පැවැත්ම සඳහා අවස්ථාව මෙරට බහුතර සිංහල ප්‍ර‍ජාව ලාංකික සමාජය විසින් ලබා දී තිබිණි. ඉංග්‍රීසි සමයේ සිට ක්‍රියාත්මක වන, වර්තමානයට නොගැලපෙන, ළමා විවාහ නීතිගත කරන, අපරිණත වයස්වල ගැහැණු ළමයින් ගැබ්ගැනීමට සලස්වන මුස්ලිම් විවාහ නීතිය වැනි සුවිශේෂ වරප්‍ර‍සාදිත තත්වයන් පවා මුස්ලිම්වරුන්ට තිබේ. ඉස්ලාම් ආගමික පරිපාලනය වෙනුවෙන් වකුෆ් පනත නම් විශේෂ පනතක් ද තිබේ. සිකුරාදා ජුම්මා යාඥාවලින් පසුව පවත්වන දේශන හෝ වෙනත් දෙසුම් සඳහා රජයේ අවසරගැනීමේ අවශ්‍යතාවක් තවමත් නැත. ඇතැම් මෙවැනි වරප්‍ර‍සාද මුස්ලිම් පාලනයක් තිබෙන අසල්වැසි මාලදිවයිනේවත් නැත. බලය බෙදාගැනීම සම්බන්ධයෙන් හෝ බලවත් ඉල්ලීමක් මුස්ලිම් සමාජයෙන් මතු වූයේ නැත. බලය බෙදීමේ කතිකාව ප්‍ර‍වර්ධනය කළ රාජ්‍ය නොවන සංවිධානවලටවත් මුස්ලිම් ජනයා බලය බෙදාගැනීමේ බලපෑම් සහිත ඉල්ලීමක් සිදු කරන තැනකට තල්ලු කරගත නොහැකි විය. එවැනි ප්‍ර‍කාශයක් වූ ඔලුවිල් ප්‍ර‍කාශය අද මුස්ලිම් දේශපාලකයන් පවා අමතක කර දැමූ එකකි.

එහෙත්, ලංකාවේ ඇතැම් නිදහස් අවස්ථාවන් අපහරණය කරමින් වහාබි අන්තවාදය පැතිරවීමට අධිපති මුස්ලිම් සමාජය දිරිගැන්වීම් කළ බව පෙනේ. ඇතැම් විට එයට හේතුව අරාබි අරමුදල් ඔස්සේ දියත් වූ සමාජ පාරිශුද්ධකරණ හා සංවර්ධන ව්‍යාපෘති විය හැකි ය. නැතිනම්, මක්කම වන්දනාව සඳහාත්, වන්දනා ගමන් සංවිධානය කිරීම සඳහාත් අවශ්‍ය තත්වයන් පවත්වාගෙන යාමට මුස්ලිම් විද්වතුන් නිහඬ වුණා විය හැකි ය. එහෙමත් නැතිනම් තව්හීද් ජමාත් අන්තවාදීන්ට තිබුණු බිය නිසා ද එසේ විය හැකි ය. අප සිතන පරිදි මුස්ලිම් සමාජය අන්තවාදය දෙසට වැඩිපුර තල්ලු වන්නට හේතු වූයේ මෙම කරුණුවල සම්මිශ්‍ර‍ණයකි.

සිංහල අන්තවාදීන් විසින් මාවනැල්ල, අලුත්ගම, දිගන වැනි තැන්වලදී එල්ල කරන ලද ප්‍ර‍හාර හේතුවෙන් ඉස්ලාම් අන්තවාදීන්ට සිදු වූයේ වාසියකි. විශේෂයෙන් ම සිංහල ව්‍යාපාරිකයන්ගේ අනුග්‍ර‍හයෙන් දියත් කරන ලද මුස්ලිම් ව්‍යාපාර විරෝධය සමග මුස්ලිම් අන්තවාදීන්ට මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ අනුග්‍ර‍හය වැඩි වැඩියෙන් හිමිවන්නට විය. ප්‍ර‍ධාන පෙළේ මුස්ලිම් ව්‍යාපාරිකයන් අතරින් ඇතැමෙකු අන්තවාදී ව්‍යාපාරවලට මුදල් පොම්ප කළ හ.

අන්තවාදීන් අතර ඇති වූ තරගයේ ප්‍ර‍තිඵලයක් ලෙස තව්හීද් ජමාත් කැඩී බිඳී ගියේ ය. අවසානයේදී එසේ බිඳී ගිය අන්තවාදීන් පිරිසක් අයිඑස් ගෝලීය ත්‍ර‍ස්තවාදය වෙනුවෙන් 2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා එල්ල කරන ලද ප්‍ර‍හාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආගමික, සමාජ, දේශපාලනික අවකාශයන්හි ඉතා පැහැදිලි සුසමාදර්ශීය වෙනසක් සිදු විය. සුසමාදර්ශීය වෙනසක් යනු කලින් පැවති තත්වයේ සම්පූර්ණ විපර්යාසයකි.

මෙම සුසමාදර්ශීය වෙනස ගැඹුරින් ම සලකුණු කරන සංස්කෘතික සංකේත කිහිපයක් පසුගිය දිනවල දක්නට ලැබිණි. මුස්ලිම් ජාතිකයන් පන්සල් යාම, බෞද්ධ කොඩි එසවීම, වෙසක් කූඩු හැදීම සහ ඔවුන්ගේ මව්බස සිංහල ලෙස ප්‍ර‍කාශ කරන්නැයි ඉල්ලීම සාමාන්‍ය මුස්ලිම් සමාජයෙන් දක්නට ලැබුණු එවැනි සංකේතාත්මක වැදගත්කමක් සහිත ප්‍ර‍තිචාර දෙකකි. ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සහ සිලෝන් තව්හීද් ජමාත් වැනි කල්ලි ද සහරාන්ලාගේන් ත්‍ර‍ස්තවාදයෙන් දුරස්ථ වන්නට උත්සාහ කිරීම ඉස්ලාම් අන්තවාදීන් වෙතින් දක්නට ලැබුණු තවත් එවැනි ප්‍ර‍තිචාරයකි.

තව්හීද් ජමාත් සංවිධානවල ඊනියා සාම කතා මේ අවස්ථාවේ මර්දනය ඔවුන් වෙත දිගු වීම වළක්වාගැනීමට අනුගමනය කරන උපායක් විය හැකි ය. බෝම්බ පිපිරෙව්වේ ජාතික තව්හීද් ජමාත් වුණාට අනෙකුත් තව්හීද් ජමාත් සංවිධාන ද ප්‍ර‍චාරය කරමින් සිටින්නේ එම අන්තවාදී අදහස් හා ප්‍ර‍චණ්ඩත්වය ම ය. එය වැළැක්විය යුතු ය. තව්හීද් ජමාත් සංවිධාන උත්සාහ කරන්නේ තත්වය සමනය වන තුරු හොඳ මුහුණක් පෙන්වමින් සිට උණුසුම පහව ගිය පසු තත්වයෙන් උපරිම වාසි ගන්නට ය.

මුස්ලිම් සමාජය බොරුවට පන්සල් යන, බෞද්ධ කොඩි උස්සන තරමට බියපත් කිරීම හා අසරණ කිරීම ඉතා වැරදි ය. මේ අසරණකම අවසානයේදී වාසිදායක වන්නේ තව්හීද් ජමාත් වැනි අන්තවාදීන්ට ය. මධ්‍යස්ථ මුස්ලිම් ජනයා අප්‍රේල් 21 සිද්ධියෙන් පසු කෙතරම් සාමකාමී ලෙස හැසිරුණත්, ඔවුන් අතර සිටින අන්තවාදීන් පිළිබඳ තොරතුරු දුන්නත්, කඩු සඟවාගෙන සිටින තැන් ගැන ඔත්තු දුන්නත්, සහජීවනය පිළිබඳ අලුත් උත්සාහයන් දැරුවත්, කුමක් කළත්, සිංහල ජාතිවාදීන් වෙතින් ඔවුන්ට ලැබුණේ මිනුවන්ගොඩ පන්නයේ ප්‍ර‍තිචාරයක් පමණි.

මේ වන විට නීතිය භාවිතා කරමින් සිදු වන ඇතැම් ක්‍රියා ද ඔවුන් තවත් අසරණ කරයි.
හසලක කොළොන්ගොඩ පදිංචි 47හැවිරිදි මුස්ලිම් කාන්තාවක් වන එම්. ආර්. මසහිමා මහියංගනය පොලිසිය විසින් හසලකදී අත්අඩංගුවට ගත්තේ ඇය ඇඳ සිටි ගවුමේ බුදු දහමට අපහාස වන පරිදි ධර්ම චක්‍ර‍යේ රුව ඇතුළත් ගවුමක් ඇඳ සිටියේ ය යන චෝදනාව මතයි. එහෙත්, මේ රූපය ධර්ම චක්‍ර‍ය නොව නැව් සුක්කානමක් බව බොහෝ අය විසින් පෙන්වා දෙන ලදී. දිළිඳු කුලී කම්කරුවකුගේ රැකියාවක් නොකරන බිරිය වන මෙම කාන්තාව දැන් සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ය.

අනෙක් පැත්තෙන් මේ වන විට මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම සඳහා සිංහල පාරිභෝගිකයන් පෙළඹවීමේ දැවැන්ත ව්‍යාපාරයක් සිංහල ව්‍යාපාරිකයන්ගේ අනුග්‍ර‍හයෙන් ජාතිවාදීන් විසින් දියත් කර තිබේ. නැගෙනහිර පාරම්පරික ගොවි හා ධීවර මුස්ලිම් ජනයා සහ දිළිඳු කම්කරු කොටස් වැනි ප්‍ර‍ජාවන් හැර, මුස්ලිම් සමාජයේ ප්‍ර‍භූ බහුතරය පාරම්පරිකව ම වෙළඳ ජනයා ය. ඔවුන් ප්‍ර‍ජාවක් ලෙස කැපී පෙනෙන්නේත්, බලවත් වූයේත් වෙළඳාම නිසා ය. වෙළඳාම කරන අය තම පාරිභෝගික සමාජය පිළිබඳ සංවේදී වීම ඉතා වැදගත් ය. එකී සංවේදී වීම වෙළඳපොළෙන් ඔබ්බට සමාජය හා දේශපාලනය වැනි අවකාශ වෙත ද යොමු විය යුතුව තිබිණි. එහෙත්, පසුගිය සමයේ මුස්ලිම් සමාජය සෙසු සමාජයන්ගෙන් සංස්කෘතික වශයෙන් දුරස්ථ වීමට හේතු වූ අරාබිකරණය අවසානයේදී මුස්ලිම් වෙළඳ සම්බන්ධතාවලට ද බලපාන තත්වයක් නිර්මාණය වී තිබේ.

සිංහල අන්තවාදීන්ගේ ක්‍ර‍ියා මගින් මුස්ලිම් සමාජයේ දිළිඳු කොටස් දැවැන්ත අර්බුදයකට තල්ලු කර දමා තිබේ. එක පැත්තකින් ආර්ථික වශයෙන් ද, අනෙක් පැත්තෙන් ආරක්ෂාව පැත්තෙන් ද අවදානමට ලක් වී තිබෙන මෙම ජනයා තව්හීද් ජමාත් වැනි විදෙස් අරමුදල් පරිහරණය කරන අන්තවාදී ව්‍යාපාරවලට පහසු ගොදුරු විය හැකි ය. සමස්තයක් ලෙස මුස්ලිම් සමාජය ආර්ථික වශයෙන් බිඳවට්ටා, සංස්කෘතික වශයෙන් අසරණ කර, බලාපොරොත්තු සුන් කර, බිත්තියට හේත්තු කරන්නට යාම මගින් නරක ප්‍ර‍තිඵල රැසක් නිර්මාණය කළ හැකි බව පොදු සමාජය අවබෝධ කරගත යුතු ය. එසේ කිරීමෙන් මුස්ලිම් සමාජය ආගමික උන්මත්තකයන් පිරිසකගේ තුරුලට තල්ලු කිරීමෙන් ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයට ම සිදුවන්නේ අනර්ථයකි. අසහනයෙන් ජීවත් වන ප්‍ර‍ජාවන් සතුටින් ජීවත් වන ප්‍ර‍ජාවන් බවට පත් කිරීම හැර ස්ථාවර සාමයට
වෙනත් මගක් නැත.

ජාතික ප්‍ර‍ජාවන් හැම එකකින් ම වැරදි සිදු වී තිබේ. ඒ වැරදිවලට මුල් වූයේ ජාතීන් තුළ සිටින අන්තවාදී ඇතැම් පිරිස් මිස සමස්ත ජාතිය ම නොවේ. එහෙත්, වන්දි ගෙවන්නට වන්නේ සමස්ත ජාතියට ම ය. මුස්ලිම් අන්තවාදීන් අතළොස්සක් හේතුවෙන් මුස්ලිම් ජාතියට මුහුණ දෙන්නට සිදු වී තිබෙන තත්වය මීට කලින් සිංහල, දෙමළ සමාජයන් ද මුහුණ දුන් තත්වයන් ම ය. අන්තවාදයට අන්තවාදයෙන් පිළිතුරු දෙන්නට යාමෙන් තව තවත් අන්තවාදයන් නිර්මාණය වීම මිස සහජීවනය ඇතිවන්නේ නැත. අප මේ පසු කරමින් සිටින්නේ හැඟීම් අභිභවා බුද්ධිය මතු කරගැනීම දේශපාලනයේදී වෙනදාටත් වඩා වැදගත් වන අවධියකි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.