Lawyer assaulted in Sri Lanka

මාකඳුරේ මධූෂ් වෙනුවෙන් පෙනී සිටින උදුල් ප්‍රේමරත්නගේ ඔලුවටත් කෙළ පඩික්කමක්?


අජිත් පැරකුම් ජයසිංහ

මෙම ඡායාරූපයේ දැක්වෙන සිද්ධිය මෙසේ ය. කෝට්ටේ පන්සලක භික්ෂූන් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සුමිත් සිල්වාට ගංගොඩවිල අධිකරණ භූමිය තුළදී ම බිම දමාගෙන අමානුෂික ලෙස පහර දෙන ලදී. සිදුවීම වුණේ 2012 මාර්තු මාසයේදී ය.

Sinhala Tamil English Translations and Content Writing

එම පහර දීම කර ඇත්තේ අදාළ සැකකරුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී නො සිටිය යුතු බවට අධිකරණයේ උද්ඝෝෂණයක් කළ බෞද්ධ භික්ෂූන්, උපාසක, උපාසිකාවන් ඇතුළු පිරිසේ සිටි අය බව වාර්තා විය.

පහර දීමට භික්ෂූන් ද සහභාගි වී ඇති අතර උපාසිකාවක් නීතිඥයාගේ හිසේ සිට කෙළ පඩික්කමක් පෙරළා ඇත. 

මේ වන විට නීතිඥ උදුල් ප්‍රේමරත්න සම්බන්ධයෙන් ද මෙවැනි ම තත්වයක් දකින්නට ලැබේ. එතැනදී ද කියැවෙන්නේ බරපතල අපරාධකරුවකු ලෙස සැලකෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් ඔහු පෙනී සිටීම වැරදි බවයි.

උදුල් ප්‍රේමරත්න යනු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකි. සටන්කාමී ශිෂ්‍ය දේශපාලනය වෙනුවෙන් ඔහු වෛද්‍ය උපාධිය ද අත්හැර දැමුවේ ය. වත්මන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ පිරිස් ජවිපෙන් කැඩී යන විට ඔහු ඔවුන්ට සමීපව කටයුතු කළමුත්, ඔහු පෙසප සාමාජිකයකු නොවන බව අපගේ වැටහීමයි. එබැවින් ඇතැම් මාධ්‍ය උදුල් ප්‍රේමරත්නගේ ක්‍රියා පෙසප සමග සම්බන්ධ කරමින් පෙසප අපරාධකරුවන්, කුඩුකාරයන් වෙනුවෙන් පෙනී සිටින බව කීම ද පදනම් විරහිත ය. අප දන්නා තරමින්, උදුල් ප්‍රේමරත්න වඩා සමීපව කටයුතු කරන දේශපාලන බහුජන සංවිධානය ‘අලුත් පරපුර’ ය.

උදුල් ප්‍රේමරත්නට ඉදිරිපත් වන චෝදනාව සම්බන්ධයෙන් දේශපාලන ක්‍රියාධරයකු වන විදර්ශන කන්නන්ගර විසින් මතු කරන ලද පහත දැක්වෙන විමසීමට උදුල් ප්‍රේමරත්න ප්‍ර‍තිචාර දක්වා තිබිණි.

විදර්ශන කන්නන්ගර: පාතාල ධනකුවේරයන්ට නීතිමය රැකවරණය දීමට මා සුමිතුරු උදුල් ඉදිරිපත් නොවේයැයි මම සිතමි.එසේ නොවේ නම් ඔහු සිය සටන් ඉතිහාසය පාවා දුන් නරුමයෙකි.

උදුල් ප්‍රේමරත්න: කනා මෙච්චරයි කතාව.මම ඩුබායි ආව.ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න යමක් තියෙනව නම් කරන්න.එපමනයි.
ලංකවෙ ඉන්න සමහර ගෝතයො වගේ “ඔබට මදූශ් හමුවී තිබේද වගේ ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් මම නම් ඇබරෙන්නෙ නැහැ.උබ හොදටම දන්නව ඒක..මට මදූශ් හමුවී තිබේ පමනක් නොව ඔහු සමග එකම අඩි 6,10 කාමරයක එකම බත් පත කමින් මාස 4කට වැඩි කාලයක් ගත කර තිබේ කියල මම කියනවා.ඒ කොයි කාලෙද ,කොහේදිද ඇහුවොත් මීට වසර 9කට පෙර කොලබ CRP බනදනාගාරයේ J2 වාට්ටුවේදී බව මම කියනවා. ඇත්තටම ගත්තොත් අමල් අදුරනවට වඩා වැඩි කාලයක් මම මදූශ් අදුරනවා.

මට හොදටම පුලුවන්කම තිබුනා මේ case එකේදි කාටවත්ම නොදන්වා ඩුබායි ඇවිත් මදූශ් ගලවන්න සම්බන්ද වෙන්න.

නමුත් මම හිතනව එහෙම කල යුතු නැහැ කියලා.

මොකද වැරදි කරුවෙකුට විශේෂයෙන් මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ද හා මිනී මැරීම් ඇතුලු බරපතල ගනයේ අපරාද සම්බන්ද චෝදනා එල්ලවූ අයෙකුට නීති තර්ක යොදාගෙන ගලවා ගැනීම කල යුතුයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ.මම කරන්නෙත් නැහැ.උපරිම දඩුව්ම් දිය යුතුමයි.

උදුල් ප්‍රේමරත්න මුහුණ දෙන තත්වය සහ ඉහත දක්වන ලද කෙළ පඩික්කම් සිද්ධිය විසින් ලංකාවේ ක්‍රියාත්මක නීතිය සම්බන්ධයෙන් මූලික ගැටලුවක් මතු කර දක්වයි.

මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් බරපතල චෝදනා රැසක් තිබේ. එහෙත්, ඒවා ඔප්පු වන තෙක් මධූෂ් ද නීතිය ඉදිරියේ නිවැරදිකරුවෙකි. අනෙක් පැත්තෙන්, මධූෂ්ට චෝදනා එල්ල කරන පොලිසිය, මාධ්‍ය හා සමාජය නිවැරදිදැයි අප කිසිවෙකු දන්නේ නැත. කවුරු හරි ද, කවුරු වැරදි ද කියා තීරණය කිරීමට අප එකිනෙකාට වෙන වෙන ම අවස්ථාවක් දීමට සමාජයට බැරි ය. එහෙයින් අපි යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් වගකීම අධිකරණයට පවරා ඇත්තෙමු. අධිකරණය පූර්ව විනිශ්චයවලින් තොරව නඩු විභාගයක් පවත්වා අපට තීන්දුවක් දිය යුතු ය. සමාජයක් ලෙස එම තීන්දුව භාරගැනීමට අපි බැඳී සිටින්නෙමු.

මධූෂ් සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු ය. එහිදී ඔහුට තමන් නියෝජනය කිරීමට නීතිඥ සහාය ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. එසේ නොකළහොත්, එය සාධාරණ නඩු විභාගයක් වන්නේ නැත. මධූෂ්ට මරණ දඬුවම ලබා දෙන්නට ලංකාවේ නීතිය අනුව හැකියාව තිබේ. එහෙත්, එය සිදු විය යුත්තේ සාධාරණ නඩු විභාගයකට තිබෙන අවස්ථාව ඇවිරීමකින් තොරව ය.

නීතිඥයා යනු වෘත්තිකයෙකි. නීතිඥයෝ ඕනෑ තරම් චූදිතයන් වෙනුවෙන් පෙනී සිටිති. චෝදනාව එල්ල වන වරදෙහි ස්වභාවය කුමක් වුවත් චූදිතයාට කියන්නට තිබෙන කතාවට ද අධිකරණය සවන් දිය යුතු ය. මධූෂ් වෙනුවෙන් කවුරු හෝ නීතිඥයකු පෙනී සිටිය යුතු ය. එහි කිසිදු වරදක් නැත.

මධූෂ් වෙනුවෙන් උදුල් ප්‍රේමරත්න පෙනී සිටියත් එහි ඇති වරදක් නැත.

එපමණක් නොව, විදර්ශන හා උදුල් යන වාම ක්‍රියාධරයන් දෙදෙනා ම දේශපාලනිකව වැරදි බව අපේ අදහසයි. ලංකාවේ භාවිත නීතියේ මූලික මූලධර්මවලට ගරු නොකරන ඔවුන් පෙනී සිටින්නේ කුමන නීති ක්‍ර‍මයක් වෙනුවෙන් ද යන්න අපට පැහැදිලි නැත.

එක පැත්තකින් මෙම වාම ක්‍රියාධරයෝ යම් දුරකට මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වර්ධනය කිරීම ද කරති. මත්ද්‍ර‍ව්‍ය වර්ගීකරණය රජයක වැඩකි. නීත්‍යානුකූලබව හා නීති විරෝධීබව තීරණය කරන්නේ රජයයි. ලංකාවේ බොහෝ ප්‍ර‍ගතිශීලීන් ප්‍ර‍වර්ධනය කරන ගංජා, මරිජුවානා, කොකේන්, හෂීස් ආදිය ද හෙරොයින් මෙන් ම ලොව බොහෝ රටවල නීති විරෝධී ය. මධූෂ් මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් කිරීම නීතිමය ගැටලුවකි. ඒ පිළිබඳ සදාචාර විනිශ්චයන්වලට පැමිණීම කුමන වාමාංශිකකමක් ද යන්න අපට නොතේරේ.

දෙමළ කැරැල්ලේ වැරදිකරුවන් බවට පත් වී සිර දඬුවම් විඳින බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් මතු වන ගැටලුවක් වන්නේ ඔවුන්ට පූර්ව විනිශ්චයන්, භාෂා ගැටලු ආදිය හේතුවෙන් සාධාරණ නඩු විභාගයකට අවස්ථාව නොලැබුණු බවයි. මෙකී වාමාංශිකයන් එතැනදී එම තර්කයට විරුද්ධ වන්නේ නැත. එසේ නම්, මධූෂ්ට සාධාරණ නඩු විභාගයක් සඳහා තිබෙන අයිතියට ඔවුන් විරුද්ධ වන පදනම කුමක් ද?

Call 077 1734470 for Sinhala Tamil English Translations