අජිත් පැරකුම් ජයසිංහ (2019 මාර්තු 3 ලංකා පුවත්පතේ ද පළ වේ.)

ඇගේ නම ධර්මන් කලෙයිසෙල්වි. ඇය උපන්නෙ නුවරඑළිය දිස්ත්‍රික්කෙ කාසල්රී. ඒ දැනට අවුරුදු 61කට පෙරයි. ඇගේ පියා ධර්මන්. මව සින්නකොල්ලන්දෙයි. ඔවුන් දෙදෙනා ම වතු කම්කරුවෝ. ඔවුන්ගේ මව්පියනුත් වතු කම්කරුවෝ. කලෙයිසෙල්විගේ සීයා කනක්කපුල්ලෙ කෙනෙක්. ඒ කියන්නෙ වැඩ මූලිකයෙකු වගේ කෙනෙක්. ඒ පරම්පරාවේ ඇතැමුන් නම් දරාපු කංකානංලා.  කලෙයිසෙල්විත් කළේ වතු කම්කරු රස්සාවමයි. ඇය විතරක් නෙමෙයි, ඇගේ සහෝදර සහෝදරියොත් වතු කම්කරුවෝ. ඇගේ දරුවෝත් වතු කම්කරුවෝ.

Sinhala Tamil English Translations and Content Writing

ඇගේ මව්පියන්ගේ පරම්පරාව මෙන් ම ඇගේ පරම්පරාවේත් කිසි කෙනෙකු පාසල් ගිහින් නැහැ. කලෙයිසෙල්විට අකුරු ලිවීමේ කියවීමේ හැකියාවත් නැහැ. ඇගේ මව් පියන් ද අකුරු ලියන්නට කියන්නට දැනගෙන හිටියෙ නැහැ. කලෙයිසෙල්වි දන්නේ දෙමළ බස විතරයි. ඇයට සිංහල තේරුම් ගන්නට බැහැ. වත්තෙන් පිට රස්සාවකට කවදාවත් ගිහිනුත් නැහැ. හැබැයි, ඇගේ දරුවන්ට නම් හොඳින් සිංහල පුළුවන්. ඔවුන් දෙදෙනෙකු වත්තෙන් පිට තමයි රැකියාව කරන්නේ.  

ඇගේ සැමියා බාලක්‍රිෂ්ණන්. ඇය ඔහු සමග විවාහ වුණේ විවාහ යෝජනාවකින්. එතකොට ඇගේ වයස අවුරුදු 26යි. බාලක්‍රිෂ්ණන්ට 28යි. දුප්පත් වුණත් දෑවැද්දක් දෙන්නට ඇගේ මව්පියන්ට සිදු වුණා. කණකර අබරණ, ඇඳුම් එහෙම ඒ දෑවැද්දට තිබුණා. පොඩියට මඟුල් ගෙයකුත් ගත්තා. ලැයිමේ මිනිසුන්ට කෑම බීම දුන්නා.

අලුත් යුවල පදිංචි වුණේ බොගවන්තලාවේ ඕල්ඩි ලෝවර් ඩිවිෂන් එකේ. එහේ තමයි බාලක්‍රිෂ්ණන්ගේ ලැයිම තිබුණේ. ජීවිතයේ වැඩි කාලයක් ඇය ජීවත් වුණේ එහේයි. ඇගේ සැමියාත් වතු කම්කරුවෙක්. වත්තේ වඩු වැඩ කළේ ඔහුයි. ඔහුත් දැන් විශ්‍රාමිකයි. ඔහු ඉඳහිට මත්පැන් ටිකක් බොනවා. ඇය මත්පැන් බොන්නේ නැහැ. සැමියා සාමකාමී, සන්සුන් කෙනෙක් බවයි ඇය කියන්නේ. ඔහු ඇයට පහර දී තිබෙන්නේ කලාතුරකින් බව ඇය කියනවා.

පළමු දරුවා ලැබෙනකොට ඇගේ වයස අවුරුදු 27යි. දරු උපත සිදු වුණේ ගෙදරමයි. ලැයිමේ වැඩිහිටි කාන්තාවන්ගේ උදව්වෙන් තමයි දරුවා ලැබුණෙ. පවුල් සෞඛ්‍ය සේවිකාවකගෙ උපකාර ලැබුණෙ නැහැ. වත්තෙ වින්නඹු මාතාවක් සිටියා. වතු රෝහලක් ද තිබුණා. එහි කාලෙන් කාලෙට වතු සහකාර වෛද්‍යවරයෙකු සිටි බව ඇගේ කතාවෙන් අප තේරුම් ගත්තා. ඇයට දරුවන් තිදෙනෙකු ලැබුණා. ගැහැණු ළමයින් තිදෙනායි. පිරිමි ළමයායි.  පසුව උපන් තිදෙනා ඉපදුණේ වතු රෝහලේ. ඒවා සාමාන්‍ය දරු උපත්. වෙහෙස මහන්සි වී වැඩ කරන වතු කම්කරු කාන්තාවන්ට දරුවන් බිහි කිරීම එතරම් අමාරු දෙයක් වුණේ නැහැ. දරුවන් ඉපදුණු පසු වත්තෙන් සති කීපයක් නිවාඩු දුන් බව ඇයට මතකයි. ඉන් පසු දරුවන් බලාගැනීම වැඩිහිටියන්ට පවරා ඇය රැකියාවට ගියා. රස්සාව කළේ එතරම් ඈත නෙමෙයි. මව්කිරිත්, පිටිකිරිත් දරුවන්ට පෙව්වා. වත්තෙ කම්කරුවන්ගේ දරුවන් බලා ගන්නා පුල්ලෙ මඩුවකුත් තිබුණා. වත්තෙන් පඩි ලැබූ කාන්තාවන් දෙදෙනෙකු එහි සේවය කළා. දරුවන් නිදැල්ලේ හැදුණා. ඉඳහිට ලෙඩ වුණා. එතකොට වත්තෙ ඩිස්පැන්සරියෙන් බෙහෙත් අරන් දුන්නා. කලාතුරකින් ඉස්පිරිතාලේ නතර කරන්නටත් සිදු වුණා. උණ, පාචනය වැනි දේ තමයි වැඩිපුර හැදුණ ලෙඩ. කෑවෙ බිව්වෙ වැඩිපුර ම පාන් පිටි කෑම තමයි. දැන් වගේ පෝෂණය ගැන අවබෝධයක් ඔවුන්ට තිබුණෙ නැහැ. මහන්සි වෙලා වැඩ කළා. බඩ පිරෙන්නට මොනවා හරි කන්නට ඕනැ වුණා. සලාකෙට සමාගම් කඩෙන් හාල් ලැබුණා. කඩෙන් කරවල ගත්තා. කලාතුරකින් තමයි මාළු ගත්තෙ. එළුවන්, කුකුළන් හදපු අය වත්තේ හිටියා. ලැයිමේ අය ඉඳහිට මස් කෑවා. ඇයට ගබ්සා වීම් හෝ ගබ්සා කිරීම් සිදු වුණේ නැහැ. ඇය කිසිදාක උපත් පාලන ක්‍රම භාවිතා කරලාත් නැහැ. ස්වාභාවික උපත් පාලන ක්‍රම තමයි පාවිච්චි කර තිබෙන්නේ.

ඔවුන් ජීවත් වුණ වත්තේ ලැයිමේ මුලින් තිබුණෙ පොදු වැසිකිළියක්. ඇතැමුන් කැළේටත් ගියා. පස්සෙ කාලෙක සෑම ලයින් නිවසකට ම ජල මුද්‍රිත වැසිකිළියක් නිවස පසුපසින් හදා දුන්නා. ජල පහසුකම් ලබාගත්තෙ පොදු ළිංවලින්, පීලිවලින්. පායන කාලෙට වතුර හිඟයි. ගෙවල් පොඩියි. ගෙවල්වල සාමාජිකයන් ගොඩයි. තදබද වෙලා තමයි ඉන්නෙ. නිවාසවල වෙනස්කම් කරගන්නවාට වතු සමාගම් කැමති නැහැ. එක ගෙදර පවුල් කීපයක් ජීවත් වන එක සාමාන්‍ය දෙයක්. දැන් දැන් සමහර ලයින් නිවාසවල වෙනස්කම් කරගන්නට වතු සමාගම් ඉඩ දී තිබෙනවා. කලෙයිසෙල්විලාත් ගෙදර නවීකරණය කරගත්තා. අල්ලපු ලැයිමත් ඒ පවුලේ අය සල්ලිවලට ගත්තා. එහෙම කීවාට මේ ලයින් නිවාස ඔවුන්ට අයිති නැහැ. ඒවා අයිති වත්තට. නිවස පසුපස පර්චස් 15ක විතර කුඩා ඉඩමක් ඔවුන් තමන්ගේ වගේ පරිහරණය කරනවා. ඒත්, එයත් අයිති වත්තට ම තමයි.

කලෙයිසෙල්විට දරුවන් ලැබෙනකොට වත්තේ පාසලක් තිබුණා. වැඩිමල් දරුවන් දෙදෙනා හය ශ්‍රේණිය සහ 8 ශ්‍රේණිය දක්වා පාසල් ගියා. බාල දරුවන් දෙදෙනා නම් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. විභාග සමත් වුණේ නැහැ.

කලෙයිසෙල්වි තේ දළු නෙළන වතු කම්කරු කාන්තාවක් ලෙස සේවයට බැඳෙනකොට ඇගේ වයස අවුරුදු 22යි. ඒ 1980දි පමණ. මුලින් ගත්ත වැටුප දැන් ඇයට මතක නැහැ. දිනකට පැය හය බැගින් දවස් 25ක් ඇය වත්තේ වැඩ කළා. අවුරුදු 39ක් ම ඇය මේ රැකියාව කළා. ඇයට වතු සමාගමේ නම මතක නැහැ. චැම්පියන් ගෘප් කියලා නමක් මතකයි. ඔවුන්ගේ වත්ත තියෙන්නෙ බස් පාරක ඉඳලා කිලෝමීටර් 10කටත් වඩා ඈතින්. කිලෝමීටර් හය හතක් යන්න තියෙන්නෙ පයින්මයි. කඳු, පල්ලම්, වංගු සහිත පාරවල් හොඳට ම අබලන්.

ඇගේ වෘත්තීය සමිතිය ආරුමුගම් තොන්ඩමන් නායකත්වය දෙන ලංකා වතු කම්කරු සංගමය. ගනේෂන් නම් පුද්ගලයෙකු තමයි ඇගේ වත්තේ වෘත්තීය සමිතිය සංවිධානය කරන්නේ. ඇය කවදාවත් වෘත්තීය සමිති රැස්වීම්වලට සහභාගි වී නැහැ. හැබැයි, අන්තිම කාලෙ ඇගේ වැටුපෙන් මසකට රු. 100ක් වෘත්තීය සමිති සාමාජිකත්වය වෙනුවෙන් කපා ගත්තා. ඇය අවසාන වරට ලබාගත් වැටුප රු. 12,000ක්.

කලෙයිසෙල්විගේ වැඩිමල් දියණිය කලක් වෘත්තීය සමිති නායිකාවක් හෙවත් තලවි කෙනෙකු වුණා. හැබැයි, ඇයට ටයිපොයිඩ් උණ හැදිලා වැඩ කරගන්නට බැරි වුණ නිසා ඇය වත්තෙන් ඉවත් වෙලා දැන් ගෘහ සේවිකාවක ලෙස රැකියාව කරනවා.

වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු ඇය විශ්‍රාම ගත්තා. හතළිස් වසරකට ආසන්න සේවය වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ ඉතුරුම් ලෙස ඇයට රු. 1,760,442.60ක් ලැබුණා. දැන් ඇය බලාපොරොත්තු වන්නේ මේ මුදල් දරුවන් අතර බෙදා දී ඔවුන්ගේ රැකවරණය යටතේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්නටයි.

ඇය ඇගේ ජීවිතය ගැන තෘප්තිමත් ද කියා අප ඇසුවා. ඇය කීවේ සතුටුයි කියායි.   

මාස තුනකට රු. 500 බැගින් වැටුපෙන් කෝවිලටත් ගෙවිය යුතුයි. ඔවුන්ට කෝවිලේ පූජා පවත්වන්න, දේවාශිර්වාද ලබාගන්නට අවස්ථාව ලැබෙනවා. ඇගේ වතු නිවාස ආශ්‍රිතව වෙනත් ආගම් ව්‍යාප්තියක් සිදු වුණේ නැහැ.

ඇගේ දරුවන්ට ද ඇගේ ජීවිතයට වඩා එතරම් ම හොඳ ජීවිතයක් ලැබී නැති බවයි අපේ නිරීක්ෂණය වුණේ. දියණියන් දෙදෙනෙකු ගෘහ සේවිකාවන් ලෙස වැඩ කරනවා. තවත් දියණියක රැකියාවක් කරන්නේ නැහැ. පුතා වතු කම්කරුවෙක්. දැන්, දැන් බොහෝ අය වත්තෙන් පිට රැකියා සොයාගෙන යන බවයි කලෙයිසෙල්වි පවසන්නේ. දරුවන්ගේ දරුවන්ට හෝ මීට වඩා යහපත් ජීවිත ගොඩනගාගන්නට පුළුවන් වේවිදැයි ඇය දන්නේ නැහැ. ඔවුන්ගේ පරම්පරා ගණනාවක් ම දැන් එක ම විදියට තමයි ජීවත් වෙන්නේ.

වතු කම්කරු දෛනික වැටුප රු. 1000ක් කරන එක හොඳ දෙයක් බවයි ඇය කියන්නේ. හැබැයි, වත්තේ දැන් තත්වය ගැන ඇය එතරම් සතුටක් නැහැ.

“අපේ අම්මලා, තාත්තලාගෙ කාලෙ වත්ත අයිති වුණේ කොම්පැනිවලට. අපි පොඩි කාලෙ රජයට අයිති වෙලා තිබුණා. පස්සෙ කාලෙක ආයෙත් කොම්පැනිවලට දුන්නා. ඉස්සර කාලෙ වත්ත හරි සරුසාරයි. ලස්සනයි. හැම දෙයක් ම හොඳට නඩත්තු කළා. දැන් එහෙම නැහැ. හුඟක් පැති අත්හැර දාලා. කැළයට යට වෙමින් තිබෙනවා,” ඇය කිව්වා.  

1980 දශකයේදී කලෙයිසෙල්විගේ පවුලේ අයට පුරවැසිභාවය ලැබෙනවා. හැඳුනුම්පතුත් ලැබෙනවා. ඡන්ද බලය ලැබෙනවා. ඔවුන් හැමදාමත් තොන්ඩමන්ලාගේ පක්ෂයට තමයි ඡන්දය දීලා තියෙන්නේ. පුරවැසිකම ලැබීම නිසා ඔවුන්ගේ ජීවිතවල සිදු වූ විශේෂ වෙනසක් ගැන කලෙයිසෙල්විට අවබෝධයක් නැහැ.

මේ කතාව කලෙයිසෙල්විගේ කතාව විතරක් නෙමෙයි. මේ කතාව ඉතිහාස කතාවක්. ඒ කතාව එක ම විදියට ගලා ගිය කතාවක්. ඒ ජීවිතවල ඉරණම වෙනස් වෙන්නට නම් මේ කතාවේ මේ ඒකාකාරී ගලා යාමත් වෙනස් කළ යුතුව තිබෙනවා.

ඡායාරූපය: රාජේන්ද්‍ර‍ විජේසිංහ

අරුත්බර, රසවත් තොරතුරු නිරතුරු දැනගන්න අපේ සමාජ මාධ්‍ය පිටු එක්ක එක් වන්න.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.