Public Transport Cartoon

අජිත් පැරකුම් ජයසිංහ (2019-02-24 ලංකා පුවත්පතේ ද මෙම ලිපිය පළ විය)

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙහෙයවීමෙන් පොදු ප්‍ර‍වාහනයේ ලිංගික හිංසනය පිළිබඳ කරන ලද ජාතික අධ්‍යයනය මගින් හෙළිදරව් වූ පරිදි 90%ක් ගැහැණු ළමයින් හා කාන්තාවන් පොදු ප්‍ර‍වාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දී තිබෙනවා. ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කරන්නේ ඔවුන් අතරින් 4%ක් පමණි.

Sinhala Tamil English Translations and Content Writing

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ, උතුරුමැද පළාත් සභාවේ හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍ර‍හයෙන් 2019 ජාත්‍යන්තර කාන්තා දිනය සමගාමීව පොදු ප්‍ර‍වාහන සේවාවන්වලදී කාන්තාවන්ට වන හිංසනය වැළැක්වීම සඳහා බස් රියදුරු හා කොන්දොස්තරවරුන් 200ක්  දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 පෙබරවාරි 15 අනුරාධපුරයේදී පැවැත්වුණා. එහිදී බස් කොන්දොස්තර, රියදුරු මහතුන් සමග සාකච්ඡාමය ඉදිරිපත් කිරීමක් කිරීමේ අවස්ථාව මට ලැබුණා. ඔවුන් වෙතින් ලැබුණු ප්‍ර‍තිචාර අනුව මට වැටහුණු එක් කාරණයක් වන්නේ ඔවුන්ට ලිංගික හිංසනයක් යනු කුමක් ද යන්න පිළිබඳ නිවැරදි අවබෝධයක් නොතිබුණු බවයි.

පුළුල් අර්ථයෙන් ගත් කල ලිංගික හිංසනයක් යනු අනවශ්‍ය හෝ අනාරාධිත ලිංගික අවධානයකුයි. මෙහිදී අවධානය යන වචනය ඉතා වැදගත්. ලිංගික හිංසනයක් සිදු වීමට ශාරීරික ප්‍ර‍චණ්ඩත්වයක් ම අවශ්‍ය නැහැ. වාචිකව පමණක් නොවෙයි බැල්මෙන් පවා ලිංගික හිංසනයක් සිදුකරන්නට පුළුවන්.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍ර‍වාහනයේදී ලිංගික හිංසනයන්ට මුහුණ දුන් ගැහැණු ළමයින්ගේ හා කාන්තාවන්ගේ කතා අඩංගු වීඩියෝ දර්ශන එකතුවක් පසුගියදා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ බ්‍රිතාන්‍ය ඡායාරූප මාධ්‍යවේදිනියක වන එලිසා හැච් විසින් දියත් කරන ලද ව්‍යාපෘතියක් වන Cheer Up Luv නම් වැඩසටහනක් ඔස්සේ නිර්මාණය කරනු ලැබුවා. මෙම දර්ශන එකතුවෙහි අදහස් ඉදිරිපත් කරන කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඔවුන්ගේ කතා එඩිතර ලෙස ප්‍ර‍කාශ කරනවා. ඔවුන්ගේ අදහස්වලින් මේ ප්‍ර‍ශ්නයේ ගැඹුර හඳුනාගන්නට පුළුවන්.

බොහෝ දෙනෙකු වාචික හිංසනයේ යෙදෙන්නේ එය කොතරම් බරපතල වරදක්දැයි අවබෝධයකින් තොරවයි. පාරමීගේ කතාවෙන් එවැනි හිංසනයන් කෙතරම් මානසික බලපෑමක් කරනවා ද යන්න පැහැදිලි වෙනවා. “මම මා නොදන්නා ප්‍රදේශයක මගේ යහළුවකුගේ නිවසට යමින් හිටියා. බසයෙන් බැස ඉතිරි දුර පයින් යමින් යනකොට ත්‍රිරෝද රියක් මා ඉදිරිපිට නවත්වා රියදුරා මගෙන් මා නොදන්නා පාරක් ඇහුවා. මා කීවා මා නොදන්නා බව සහ මා ඒ ප්‍රදේශයේ කෙනෙකු නොවන බව. එවර ඔහු කීවා මගේ පියයුරු ලොකු නිසා මා සංසර්ගයකට හොඳ බව. මට පිළිකුලක් දැනුණා. ඒ වගේ දෙයක් කිසිවෙකු මට මීට පෙර කියා තිබුණේ නැහැ.”

ශනුකි බසයකදී බරපතල අපයෝජනයකට ලක් වූ කෙනෙක්. ඇය අපයෝජනයට ලක් කරන පාසල් වියේ ළමයින් පිරිස ඇතැම් විට ඔවුන් කරන අපරාධයේ තරම තේරුම් ගෙන නැතුවා විය හැකියි. පොදු ප්‍ර‍වාහනයේ කාන්තා හිංසනයට ද දූෂණය පිළිබඳ අපරාධ නීති යටතේ ම දණ්ඩනයට ලක් කළ හැකියි. ඇගේ කතාව මෙහෙමයි: “මා බසයට නැග පසුපස ම ආසනයේ වාඩි වුණා. ටික වේලාවකට පසු, ගැටවර වියේ තරුණයන් හතරදෙනෙකු බසයට ගොඩවුණා. මා පසුපස ආසනයේ තනිව සිටිනවා දුටු ඔවුන් මා අසලට ආවා. මට කිසිම දෙයක් හිතුණේ නැහැ. මා ඔවුන් ගණන් නොගෙන කවුළුවෙන් පිටත බලා සිටියා. මට තේරෙන්නටත් කලින් ඔවුන් මා වටකරගත්තා. එක් පිරිමි ළමයෙක් මාව උරහිසින් අල්ලා ආසනයට තද කරගත්තා. තවෙකෙකු මගේ පාසල් නිල ඇඳුම තුළට අත දැම්මා. අනෙක් දෙන්නා මගේ ඇඟ උඩ නැගලා වගේයි හිටියේ. මාව සම්පූර්ණයෙන් ම ගල්ගැහුණා. සිදු වන දේ තේරුම් ගන්නට බැරි ව ඉන්නකොට මට දැනුණා ඒ අත මගේ කලවා මිරිකනවා. මම පොරබදන්නට පටන් ගත්තා. ඔවුන් මාව තවත් පසුපසට තල්ලු කළා. එකපාරට ම මම හයියෙන් කෑගැහුවා. ඔවුන් වහා එතැනින් ඉවත් ව බසයෙන් බැස ගියා. මට ඉතිරි වුණේ අඬන එක විතරයි.”

පොදු ප්‍ර‍වාහන බසයේ අධිපතිවරයා තමයි කොන්දොස්තරවරයා. පොදු ප්‍ර‍වාහනයේ සිදු වන ලිංගික හිංසනයන් වළක්වන්නට වැදගත් ම මැදිහත්වීම කළ හැකි පුද්ගලයෙකු තමයි කොන්දොස්තරවරයා. අභිරාමිගේ කතාවෙන් ඔහු මැදිහත් නොවීම නිසා මුහුණ දෙන්නට සිදු වූ තත්වයක් විස්තර කෙරුණා. ඇය මෙසේ කීවා. “එදා මගේ ළඟ වාඩි වෙලා ආ මිනිහා මගෙන් විවිධ ප්‍ර‍ශ්න ඇහුවා. ටික වෙලාවකට පස්සෙ මට දැනුණා මිනිහා මට ළං වෙලා මාව ස්පර්ශ කරන්නට හදන බව. මම වහා ම ප්‍ර‍තිචාර දැක්වූවේ නැහැ. මට ඕනැ වුණා මිනිහා ඇත්තට ම මට හිංසාවක් කරනවා ද කියන එක තහවුරු කරගන්න. මිනිහා ළං වෙන්නේ සෙනග තෙරපෙන නිසා නොවන බව තහවුරු කරගන්නට උවමනා වුණා. ටික වේලාවකට පස්සෙ මට තේරුණා ඔහු හිතලම බව එසේ කරන්නෙ. මම ඔහුට කිව්වා ඔහුගේ අත ඉවතට ගන්නට ය කියා. ඔහු එසේ කළා. ඒපාර ඔහු නිදා වැටෙමින් මගේ උරහිසට හේත්තු වෙන්නට පටන් ගත්තා. මට තේරුණා ඔහු බොරුවක් කරන බව. මම කීවා එහාට වෙන්නට ය කියා. ඔහු ඇහුවෙ නැහැ. බසය මඳකට නැවැත්වූ වේලාවක මා මේ ගැන කොන්දොස්තරවරයාට කීවා. එය පැය නවයක බස් ගමනක්. මම කොන්දොස්තරවරයාට කීවා ඒ මිනිහාව වෙනත් අසුනකට යවන්නට ය කියා. ඒත්, කොන්දොස්තරවරයාගේ ප්‍ර‍තිචාරය වුණේ ‘මේක පොදු බස් එකක්. ඔයාට සැපට යන්න ඕනැ නම් තමන්ගෙ ම වාහනයක යන්න’ කියායි.”

පොදු ප්‍ර‍වාහනයේ සිදු වන ලිංගික හිංසනයන් වළක්වාගැනීමට බැරි වී තිබෙන ප්‍ර‍ධාන හේතුවක් තමයි වින්දිතයන්ට එය ඉවසා දරාගන්නැයි සමාජයෙන් සිදු වන බලපෑම. සාරාගේ කතාව එයට නිදසුනක්. “මා මගේ මාමා හා නැන්දා සමග බසයක ගමනක් යමින් සිටියා. බසයට නගිනකොට ම කොන්දොස්තර මගේ තට්ටම් ඇල්ලුවා. මට තේරුණේ නැහැ කොහොම ප්‍ර‍තිචාර දැක්විය යුතු ද කියලා. එය මට ඉතා අලුත් දෙයක් වුණා. මා ඒ ගැන මගේ මාමාට කිව්වා. ඔහු කීවේ මෙහෙමයි. ‘මේ ගැන මෙතන ආරාවුලක් ඇති කරගන්නට ඕනැ නැහැ. ඒ නිසා මොකවත් කියන්න එපා.’ මා ඒ ගැන නැන්දාට කීවාම ඇය කීවේ මෙහෙමයි: ‘හැම තිස්සෙම අල්පෙනෙත්තක් ළඟ තියාගන්න. එහෙම කරන අයට අල්පෙනෙත්තෙන් අනින්න. මොකුත් කියන්න යන්න එපා.’ හැමෝම මට කිව්වෙ මොකවත් කියන්න එපා කියලායි.”

වින්දිතයන් කතර කරන විට පවා අවට සිටින අය එයට මැදිහත් නොවීමත් ඉතාම නරක තත්වයක්. ජනනිගේ කතාවේ ඒ ගැන කියැවුණා. ““එතකොට මගේ වයස අවුරුදු 14යි. මා පාසල ඇරී මගේ යහළුවකු සමග බසයක ගමන් කරමින් සිටියා. වැඩිහිටි මිනිහෙක් අප පසුපසින් සිටගත්තා. ඔහු අප සමග කතා කරන්නට හැදුවා. අපි ගණන් ගන්නේ නැතුව හිටියා. ඉන් පසු ඔහු එක එක අසභ්‍ය කතා කෙඳිරුවා. ඔහු අපේ සිරුරේ ඇතිල්ලෙමින් ඔහුගේ ලිංගික අවයවය මගේ ඇඟේ ස්පර්ශ කරන්නට පටන් ගත්තා. මාව බියෙන් ගල්ගැහුණා. මට ඉවතට යන්නට හෝ ඔහුට විරුද්ධව යමක් කරන්නට හෝ බැරි වුණා. මාව තුෂ්නිම්භූත වුණා. මගේ යාළුවා මට සිදු වන දේ තේරුම් ගත්තා. ඒත් ඇයටත් කිසිවක් කරන්නට බැරි වුණා. මෙය ටික වෙලාවක් සිදු වුණා. මෙය දුටු එක් කාන්තාවක් මට ඇගේ ආසනය දුන්නා. අර මිනිහා බසයෙන් බැස ගියා. අවට සිටි කිසි කෙනෙකු මැදිහත් වුණේ නැහැ. ඒ ඇති වුණ කම්පනය දවස් ගණනාවක් යනකල් ම තිබුණා.”

ශියාලිනීගේ කතාවත් එවැනි එකක්. ” මට මුලින් ඔහු ගැන අවධානයක් තිබුණෙ නැහැ. ඒත් පස්සෙ වැටහුණා ඔහු සිය අතින් මගේ කලව ස්පර්ශ කරන බව. මම කම්පනයට පත් වුණා. සිදු වන දේ තේරුම් ගන්න තත්පර කීපයක් ගත වුණා. ඒ තමයි මාව ශාරීරිකව හිංසනයට ලක් කරන ලද පළමු වතාව. කොහොම ප්‍ර‍තිචාර දක්වන්න ද කියලා මට තේරුණේ නැහැ. මට හොඳටම කේන්ති ගියා. මම ඔහුගෙන් ඇහුවා, “මොනවද තමුසෙ කරන්නෙ?” කියලා. ඔහු නිකම් ම සොරි කිව්වා. මම මගේ වතුර බෝතලෙන් ඔහුට ගැහුවා. විශ්වාස කරන්නත් අමාරුයි. බස් කොන්දොස්තර හෝ රියදුරා හෝ මගීන් කිසිකෙනෙකු මට උදව් කළේ නැහැ. ඒ මිනිහා සිටි තැන වාඩි වී සිටි කාන්තාවක් සියල්ල දැක්කා. ඒත් කටවත් ඇරියෙ නැහැ.”

පොදු ප්‍ර‍වාහනයේ සිදු වන ලිංගික හිංසනයන් විශේෂයෙන් ම කාන්තාවන්ගේ ජීවිත ගුණයට (quality of life) දැඩිව බලපානවා. එය ඔවුන්ගේ අධ්‍යාපනයට, රැකියාවලට, දෛනික කටයුතුවලට බාධා කරමින් ඔවුන්ගේ පූර්ණ ක්‍රියාකාරිත්වයට බලපානවා. සස්මිනි ඒ පිළිබඳ සඳහන් කළේ මෙහෙමයි: “හැමදාම මා ගෙදරින් පිට වෙනකොට මගේ අම්මා ‘පරිස්සමෙන් බස් එකේ යන්න,’ යි කියනවා. සෙනග පිරුණු බසයක යන විට, වැරදි පුද්ගලයකු අසල අසුන් ගත්තොත් මොනවා හරි සිදු වෙයි කියා බියකින් තමයි දවස පටන් ගන්නට වන්නේ. බසයේ සෙනග අධික නම්, ඇතැම් විට මා ඊළඟ බසය එනතෙක් පැය දෙකක් බලා ඉන්නවා. ඇතැම් අය හිතාමතා ම අපේ සිරුරු ස්පර්ශ කරනවා. සෙනග පිරුණු බස්රියක ගිහින් කිසිවකුට අහම්බෙන් වගේ මගේ කලවා හෝ තට්ටම් ස්පර්ශ කරන්නට දෙන අවදානම ගන්නට මා කැමති නැහැ. මම හැමතිස්සෙම ඒ ගැන හිතනවා. එය මගේ දෛනික කටයුතුවලට බාධාවක්. දැනුවත්ව හෝ නොදැනුවත්ව හිංසනයට ලක් වීමට බියෙන් ජීවත් වන බොහෝ දෙනෙකු අතරින් මා එක්කෙනෙකු පමණයි.”

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයේ එක් ස්වරූපයක් වන පොදු ප්‍ර‍වාහනයේ කාන්තා හිංසනය පිළිගත නොහැකි දෙයක්. කිසිදු ගැහැණු ළමයකු හෝ කාන්තාවක හෝ එවැනි හිංසනයක් නිහඬව දරා ගත යුතු නොවේ. මේ ගැන අප හඬ අවදි කළ යුතුයි. මැදිහත් විය යුතුයි. අප ම වෙනස නිර්මාණය කළ යුතුයි.

අරුත්බර, රසවත් තොරතුරු නිරතුරු දැනගන්න අපේ සමාජ මාධ්‍ය පිටු එක්ක එක් වන්න.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.