අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපතිතුමා හදිසියේ නින්දෙන් අවදි වූවකු සේ එකපාරට ම පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කර ඇති බවක් කියයි. මෙය ඇත්තක් වෙනවා නම් ඇත්තට ම හොඳ ය. එහෙත්, ඇත්තක් බවට පත් කිරීම ලෙහෙසි නැත. පහේ ශිෂ්‍යත්ව විභාගය සමග බැඳුණු ගැටලු රැසක් තිබේ. ඒවා විසඳන්නේ නැතිව විභාගය පමණක් එක පාරට ම අහෝසි කළ නොහැකි ය.

පහේ ශිෂ්‍යත්වය ආරම්භ වන්නේ කන්නන්ගර යුගයේදී ය. ගම්බද දක්ෂ දරුවන් හඳුනාගෙන ඔවුන්ට හය ශ්‍රේණියේ සිට මධ්‍ය මහා විද්‍යාලවල ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව ලබාදීම එහි අරමුණ විය. සයිමන් නවගත්තේගම ලේඛකයා වරක් තමන් පහේ ශිෂ්‍යත්වය සමත් වීම නිසා ජීවිතයේ සිදු වූ වෙනස ගැන සිහිපත් කරමින් අපූරු මතක සටහනක් තැබුවේ ය. ඔහුගේ පියාට හරකුන් සිටින බව කියා ගමේ තරහකාරයකු පෙත්සමක් ගැසූ නිසා කුඩා සයිමන්ගේ ශිෂ්‍යත්වය අහිමි විය. දරුවා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකාගාරයේ නතර කර ඉගැන්වීමට මුදල් හදල් නොතිබුණ පියා දරුවාත් සමග කොළඹ ගොස්, පාන්දරින් ම අගමැති කාර්යාලයේ රැක සිට, අගමැති බණ්ඩාරනායක පැමිණෙන විට දෙපා නමැද තම දුක කී බව එම කතාවේ සඳහන් විය. බණ්ඩාරනායක මහතා එදා තමන්ගේ ශිෂ්‍යත්වය නැවත ලබා නොදුන්නේ නම් ඔහු ඇතැම් විට නවගත්තේගම හේන් කොටමින්, හරකුන් බලා ගනිමින් අදට වඩා සතුටින් සිටින්නට ඉඩ තිබුණු බව සයිමන් නවගත්තේගම ලියුවේ ය.

Sinhala Tamil English Translations and Content Writing

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරනවා නම් දැන් සීමිත සංඛ්‍යාවක් දක්ෂ, දුප්පත් දරුවන් පිරිසකට හෝ ලැබෙන ශිෂ්‍යාධාරය ලබා දීම කෙසේ කරනවා ද යන ප්‍රශ්නයට විසඳුමක් තිබිය යුතු ය. එහෙත්, වර්තමානයේ පහේ ශිෂ්‍යත්ව විභාගයේ තිබෙන තරගකාරී ස්වභාවය හා ටියුෂන් යොමුව දෙස බැලූ විට ඇත්තට ම දක්ෂ, දුප්පත් සිසුන්ට ශිෂ්‍යාධාර ලබා දීම සඳහා සිසුන් තෝරාගැනීමට පහේ ශිෂ්‍යත්ව විභාගය යෝග්‍ය නැති බව ඉතා පැහැදිලි ය.

ටෝකිං ඉකොනොමික්ස් වෙබ් අඩවියට පහේ ශිෂ්‍යත්වය පිළිබඳ ලිපියක් ලියමින් අශානි අබේසේකර 2017 ඔක්තෝබරයේදී පෙන්වා දුන් පරිදි සමත් වීමේ ලකුණු මට්ටම පසු කරන සිසුන් අතරින් ශිෂ්‍යාධාර ලැබෙන්නේ 36%කට පමණයි. එම සංඛ්‍යාව විභාගයට පෙනී සිටින සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 3.6%ක් බව ඇය පෙන්වා දෙනවා. මෙම ශිෂ්‍යාධාර ලැබීමට නම් එම වකවානුවේදී පවුලේ වාර්ෂික ආදායම රු. 50,000ට වඩා අඩු විය යුතුයි. එතරම් අඩු වාර්ෂික ආදායමක් ඇති පවුල් පණ පිටින් ඉන්නවා ද යන්න ගැටලුවකි.

සමත් වීම පිණිස 80%ක් තරම් ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතු තවත් විභාගයක් ලෝකයේ කොහේවත් තිබේදැයි නො දනිමි. මේ විභාගය පැවැත්වෙන්නේ යන්තමින් දස හැවිරිදි වියේ පසුවන දරුවන්ටයි. එයින් ඔවුන්ගේ මනසට කරන හානිය කෙතරම් ද? ඉතින් ශිෂ්‍යත්ව විභාගය නැති කරන්නට බැරි ද? බැරි වන්නට තවත් හේතුවක් තිබේ.

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී වැඩි අවස්ථා හිමි වන්නේ ඉහළ ආදායම් තීරුවට ය. නාගරික දේපළ හිමිකම, ආදි ශිෂ්‍ය සම්බන්ධතා ආදිය ඇත්තේ ඔවුන්ට ය. පළමු ශ්‍රේණියෙන් ඉහළ පෙළේ යයි සම්මත පාසලකට දරුවන් ඇතුළත් කරගැනීමට බැරි වූ මව්පියන්ට ඊළඟ අවස්ථාව ඇත්තේ පහේ ශිෂ්‍යත්වයෙහි ය. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ වන විට දැඩි තරගකාරී විභාගයකි. එයින් වැඩිපුර සිසුන් සමත් වන්නේ ද ජනප්‍රිය පාසල්වලින් ය. ගුණාත්මක අතින් වඩා හොඳ අධ්‍යාපනයක් හා ටියුෂන් ආදිය ලබාගැනීමේ හැකියාව එසේ වීමට හේතුවයි. අවසානයේදී පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථාව ලබා ගන්නා සාතිශය බහුතරය වන්නේ ද ඉහළ ආදායම්ලාභී පවුල්වල දරුවෝ ය.

ඒ අතර ඉහත උපුටා දක්වන ලද ටෝකිං ඉකොනොමික්ස් වෙබ් අඩවියේ ලිපිය විසින් පෙන්වා දෙන පරිදි රටේ ම ජාතික පාසල්වල 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් අතරින් පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් එම අවස්ථාව ලබාගන්නා සිසුන් ප්‍රතිශතය 20%ක් පමණි. අනෙක් සිසුන් එම පාසලේ පහ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා නිතැතින් ම හය ශ්‍රේණියට සමත් වන අයයි.

උසස් පෙළ විභාගය ඉහළින් ම සමත් වී රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම ලබාගැනීම සඳහා ඉගෙන ගන්නා පාසල හා ලබා ගත හැකි ටියුෂන් අධ්‍යාපනය වැදගත් වේ. එහිදී වැඩි අවස්ථා ප්‍ර‍මාණයක් නිතැතින් ම හිමි වන්නේ ඉහළ පෙළේ පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ට ය. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු ඉහළ ආදායම්ලාභී පවුල්වල අයයි.

නිදහස් අධ්‍යාපනය ලෙස හැඳින්වෙන, රජය මගින් නොමිළේ ලබා දෙන පොදු අධ්‍යාපන ක්‍ර‍මය තුළ අඩු ආදායම්ලාභීන් කෙතරම් විෂමතාවකට ලක් වෙනවා ද යන්න ඉහත කරුණුවලින් මනාව පැහැදිලි වේ. පළමු ශ්‍රේණියෙන් ම ජනප්‍රිය හා වඩා හොඳ පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වන දරුවකුට රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට අවස්ථාවක් ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ජනප්‍රිය නැති, ගුණාත්මක වශයෙන් උසස් නොවූ පාසලක ඉගෙනගෙන පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වන්නේ අසාමාන්‍ය දක්ෂතා ඇති දරුවන් පමණි. එවැනි පාසල්වලින් උසස් පෙළ සමත්ව වෛද්‍ය, ඉංජිනේරු වැනි ඉහළ ඉල්ලුමක් ඇති උපාධි පාඨමාලාවනට සිසුන් තේරෙන්නේ ඉතා කලාතුරකිනි.

ශිෂ්‍යත්ව විභාගය අසමත් වන 90%ටත් වැඩි ප්‍රතිශතයක් වන දරුවන් ගැන රජය අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය ය. අවශ්‍ය වන්නේ ඔවුන්ට ගුණාත්මක අතින් ඉහළ පාසල් ලබා දීමයි. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමේ අත්‍යවශ්‍යභාවය නැති කරන්නට නම් සියලු පාසල්වල අධ්‍යාපන පහසුකම් නැංවිය යුතු ය. ඉහළ මට්ටමේ අධ්‍යාපන පහසුකම් ඇති පාසල් සංඛ්‍යාව වැඩි කළ යුතු ය. ගුණාත්මක ප්‍රාථමික අධ්‍යාපනයක් ගමේ පාසලෙන් ලබා ගන්නටත්, ඉන් අනතුරුව නුදුරින් තිබෙන හොඳ මට්ටමේ ද්විතීයක පාසලකට දරුවන් ඇතුළත් කරන්නටත් මව්පියන්ට හැකියාව තිබිය යුතු ය. මේ පාසල්වල අවම වශයෙන් ඉඩකඩ ඇති පංති කාමර, සාමාන්‍ය විද්‍යාගාර, ක්‍රීඩා පිට්ටනි, පුස්තකාල වැනි පහසුකම්වත් තිබිය යුතු ය. 

උසස් පෙළට සිසුන් ඇතුළත් කිරීමේදී නැවතත් අසාධාරණයක් සිදු වේ. එම පාසලේ ම සාමාන්‍ය පෙළ ගණිතය අසමත් සිසුන්ට පවා උසස් පෙළ කරන්නට හැකියාව තිබියදී, වෙනත් පාසලක උසස් අන්දමින් සාමාන්‍ය පෙළ සමත් සිසුන්ටත් ජනප්‍රිය පාසලක උසස් පෙළ පංතියට ඇතුළත් වීමේ අවස්ථාව ලැබෙන්නේ නැත. උසස් පෙළ පංති පමණක් පැවැත්වෙන කළුතර ගුරුළු‍ගෝමී විදුහල වැනි පාසල් කලාප මට්ටමින් සංවර්ධනය කිරීම වැදගත් වන්නේ එබැවිනි. 

ක්‍රීඩාවලට දක්ෂ සිසුන්ට අවස්ථාව නො ලැබීම මෙම පාසල් පද්ධතියේ පවතින තවත් බරපතල ගැටලුවකි. දිස්ත්‍රික්කයකට එකක් පමණක් තිබෙන ක්‍රීඩා පාසල් මෙම ගැටලුවට විසඳුමක් නො වේ. අනෙක් පැත්තෙන් මේ ක්‍රීඩා පාසල් අධ්‍යාපනය අතින් ද ඉහළ ම පාසල් ය. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය හා තක්ෂිලා විද්‍යාලය උදාහරණ වේ. මලල ක්‍රීඩා හා වෙනත් ක්‍රීඩාවලට දක්ෂ දරුවන් රැසකට එම ක්‍රීඩාවන්ගෙන් ඉදිරියට යාමේ අවස්ථාව ඇහිරී තිබෙන්නේ ඔවුන් ඉගෙනුම ලබන පාසල්වල ක්‍රීඩා පහසුකම් අවම වීම හා ඒ කෙරෙහි අවධානය අඩු වීම නිසා ය. ඇතැම් ක්‍රීඩා පැවැත්වෙන්නේ දිවයිනේ ම පාසල් කීපයක පමණි. අධ්‍යාපන කලාපයකට එකක් හෝ ක්‍රීඩා පාසල් අවශ්‍ය ය. 

ශිෂ්‍යත්ව විභාගය නම් වල් පැළය ලංකා පොළවේ මුල් ඇද තිබෙන ගැඹුර දෙස බැලූ විට එය උදුරා දැමීම සඳහා පරම්පරා ගණනක් අවශ්‍ය වන්නට පුළුවන. මන්ද, එය අධ්‍යාපන විෂමතා හමුවේ තොරොම්බල් කරන ඊනියා විසඳුමක් වන හෙයිනි. එය ද දැන් පැවැත්වෙන සුපර් ස්ටාර් තරග වැනි ය. ලක්ෂ ගණනක් අතරින් කිහිප දෙනෙකුට පමණක් සාර්ථකත්වය අත් කර දෙමින් තවත් ලක්ෂ ගණනක් තරගයට ආකර්ශනය කර ගනියි. ඒ පසුපස දැවැන්ත ටියුෂන් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වේ. කළ හැකිව තිබෙන්නේ  ශිෂ්‍යත්ව විභාගය කෙරෙහි අවධාරණය අවම කිරීමයි. ඒ සඳහා සෑම දරුවකුට ම ගුණාත්මක ද්විතීයක අධ්‍යාපනයක් තහවුරු කර දිය යුතු ය. 

පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්නෙට සරල විසඳුම් නැත. සියලු පාසල්වලට හොඳ පහසුකම් සැපයිය යුතු ය. ප්‍රාථමික, ද්විතීයක ලෙස පාසල් වෙන් කළ යුතු ය. ප්‍රාථමික පාසල් හොඳ ද්විතීයක පාසලක් සමග සම්බන්ධ කළ යුතු ය. පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පදිංචි ස්ථානයේ සිට පාසලට ඇති දුර පමණක් සැලකිල්ලට ගත යුතු ය. ආදිශිෂ්‍ය පදනම වැනි විකාර අහෝසි කළ යුතු ය. එසේම, වටිනාකම එකතු කළ අධ්‍යාපනයක් ගන්නට අවශ්‍ය අයට මුදල් ගෙවා එය ලබා ගැනීමට තිබෙන අයිතියට ගරු කළ යුතු අතර සියලු පෞද්ගලික පාසල් රජයේ නියාමනයට ලක් කළ යුතු ය. ඒවාට යන දරුවන්ටත් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දිය යුතු ය. රජයේ විශ්වවිද්‍යාලවල ඉඩ නොලැබෙන අයට රජයේ නියාමනය සහිත ගුණාත්මක පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමේ අයිතියට ගරු කළ යුතු ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.