පිරිමින්ට ‘වඳ පෙති’

2018 මාර්තුවේ අම්පාරෙන් මුස්ලිම් විරෝධී ජාතිවාදී කෝලාහල පටන් ගැනුණේ කොත්තු රොටියක තිබුණු පිටි ගුලියක් වඳ පෙති ය කියලා වරදවා වටහා ගැනීමෙන්. වෛද්‍ය විශේෂඥයන් පවා ඒ මොහොතේ පැහැදිලි කළේ එවැනි වඳ පෙති කියා ජාතියක් නැති ය කියායි.

කාන්තාවන්ට ප්‍රතිසන්ධි විරෝධක පෙති තිබෙනවා. ඒවා නිසි ආකාරයට ගැනීමෙන් ගැබ්ගැනීම් වළක්වා ගන්නට පුළුවන්. ඒවා හඳුන්වා දී දැන් අවුරුදු 60ක් පමණ වෙනවා. එහෙත්, පිරිමින්ට එහෙම පෙති තිබුණෙ නැහැ.

කාන්තාවන් ඩිම්බ නිෂ්පාදනය කරන්නේ මසකට එකයි. ඒත්, පිරිමින් තත්පරයට ශුක්‍රාණු 1000ක් පමණ නිෂ්පාදනය කරනවා. ඒ නිසා ඒ ප්‍රතිසන්ධි හැකියාවට බාධා කිරීම ලෙහෙසි නැහැ. එහෙම ඖෂධවල අතුරු ආබාධ භයානක විය හැකියි. මුල් යුගයේ කාන්තා ප්‍රතිසන්ධිවිරෝධකවලත් අතුරු ආබාධ රැසක් තිබුණා.

ඒත්, ලයිව් සයන්ස් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඔන්න දැන් පිරිමින්ටත් ප්‍රතිසන්ධි විරෝධක පෙත්තක් හඳුන්වා දෙන්නට මූලික අත්හදාබැලීම් කර තිබෙනවා. එය පළමු වරට මිනිසුන් සමග ද අත්හදා බලා තිබෙනවා.

මෙම පෙත්තෙන් කරන්නේ ප්‍රෙජෙස්ටින් හෝමෝන මට්ටම අඩු කිරීමයි. එවිට ශුක්‍රාණු නිපදවීම නතර වෙනවා. හැබැයි, එහෙම කළාම ටෙස්ටස්ටරෝන් හෝමෝන මට්ටමත් අඩු වෙනවා. එවිට අධි රුධිර පීඩනය, රුධිර කැටි ඇති වීම, නෂ්ටකාමය, කාංසාව වැනි ප්‍රශ්න ඇති වන්නට පුළුවන්. මෙම පෙත්තෙන් අත්හදා බලන්නේ ප්‍රොජෙස්ටින් මට්ටම අඩු කරමින් ටෙස්ටස්ටරෝන් මට්ටම ප්‍රශස්ථ පරිදි පවත්වාගෙන යාමයි.

මේ පෙත්ත සම්බන්ධයෙන් තවමත් අත්හදා බලා තිබෙන්නේ ක්ෂණික අතුරු ආබාධ පමණයි. එහි ප්‍රතිසන්ධි විරෝධක හැකියාව පරීක්ෂා කළ හැක්කේ දින 90කට පමණ පසුවයි. එමගින් ශුක්‍රාණු නිෂ්පාදනය අවම කරන්නේ දින 60-90 පමණ කාලයකදීයි.

එහි දීර්ඝකාලීන භාවිතයේ අතුරු ආබාධ පිළිබඳ මීයන් සහ වඳුරන් ආශ්‍රයෙන් දැන් පරීක්ෂණ කෙරෙනවා. එහි සාර්ථකත්වය මත පසුව මිනිසුන් යොදාගෙනත් පරීක්ෂණ කෙරේවි.

අනාගතයේ මෙය එන්නතක් ලෙස සංවර්ධනය කිරීම තමයි මෙම විද්‍යාඥ කණ්ඩායමේ අරමුණ.

මේවා වෙළඳපොළට එන්නට තව කාලයක් ගත වේවි. ඒ වගේ ම, කොත්තු රොටිවලට දාලා මේවායින් පිරිමින් වඳභාවයට පත් කරන්නට බැරි තරම් ශුක්‍රාණු නිෂ්පාදනය කිරීමේ හැකියාවක් පිරිමින්ට තිබෙන බවත් අමතක කරන්න එපා. ඒ නිසා බොරුවට කලබල වෙන්න එපා. සත්‍යය දැනගන්න.

මුල් ලිපිය මෙතැනින්