උපුල් කුමාරප්පෙරුම

සෑම රැකියාවකටම පිලිගැනීමක් තිබිය යුතුය. සෑම පුද්ගලයෙකුම සමාන තලයේ රැකියාවන් කරන්නේ නැත. එහෙත් සෑම පුද්ගලයෙකුම කරන රැකියාව සමාජයේ පැවැත්මට වැදගත් වනු ඇත. එය රැකියාවක් වශයෙන් සමාජයේ පවතින්නේත් , එය රැකියාවක් වශයෙන් සමාජය පිලිගන්නේත් ඒ නිසාය.

ලෝකයේ බොහෝ රටවල රැකියාවකින් සිදු කරන සේවය යන කාරණය මත එම රැකියාව කරන්නා සමාජයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පිලිගැනීමක් ඇත. එයට වෘත්තිමය තත්වයක් එක්කොට ඇත. එම කාරණය නිසාම බොහෝ දියුණු සමාජයන්හි තමන්ගේ රැකියාව එම රැකියාව කරන්නාට අභිමානයක් ගෙන දෙන්නක් වෙයි.

Sinhala Tamil English Translations and Content Writing

ලංකාව විෂයෙහි ලා ගත් කල තම රැකියාව සම්බන්ධයෙන් බොහෝ රැකියා කරන්නන් තෘප්තිමත් නැත. රැකියාව සම්බන්ධයෙන් අභිමානයක්, ආඩම්බරයක් නැත. එය එසේ වී ඇත්තේ රජය සහ සමාජය යන ආයතනයන් දෙකම සමහර රැකියා සම්බන්ධයෙන් සමාජය තුල ඇති කර ඇති ආකල්පයන් හේතුවෙනි. උදාහරණයක් ලෙස ගතහොත් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් සමාජය තුල ඇති කියවීම ඔහුගේ අධ්‍යාපනය මත තීරණය වී ඇත. පොලිස් නිලධාරියා අට පාස් මෝඩයෙකු කර ඇත්තේ සමාජයයි. එසේම පොදු ප්‍රවාහනයේ රියදුරන්, කොන්දොස්තරවරුන් සියල්ල නූගත් හැබිචෝල් සමාජ කොටසක් කර ඇත්තේ සමාජයයි. පාරේ කුණු එකතු කරන්නා අව වරප්‍රසාදිත ජන කොටසක් බවට පත් කර ඇත්තේ සමාජයයි.

සමාජය විසින් එක් එක් වෘත්තින් සම්බන්ධයෙන් දෙනු ලබන අර්ථ නිරූපණයන් රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය නිසා තවත් තහවුරු වීම හැර එම වෘත්තිකයන් හට වඩාත් සාධාරණ පිළිගැනීමක් ඇති නොවේ.

ලංකාවේ රාජ්‍ය සේවයේ සමහර වෘත්තීන්ට කාකි නිල ඇඳුම හඳුන්වා දුන්නේ ඉංග්‍රීසින්‍ විසිනි. කම්කරුවන්, බස් කොන්දොස්තරවරුන්, පොලිස් නිලධාරින්, බන්ධනාගාර නිලධාරින් වැනි සියලු දෙනා කාකි නිල ඇඳුමක හිමිකරුවන් වන්නේ ඒ නිසාය. කාකි යනු වැඩි කලක් ඔරොත්තු දෙන බාල රෙදි වර්ගයකි. අප අද ද මේ සියලු දෙනාට අන්දවන්නේ ඒ බාල රෙද්දෙන් මැසූ නිල ඇඳුමය. ලෝකයේ බොහෝ රටවල පොලිස් නිල ඇඳුමට ටයි පටියක් ඇත. එය නවීන ය. සියලු දෙයින් සමන්විත ය. එම ඇඳුම විසින්ම එය දරන්නාගේ තේජාන්විතභාවය, පෞරුෂය ගොඩනගා ඇත. තමාගේ නිල ඇඳුමට තමන් ගරු කළ යුතු තත්වයක් ඇති කර ඇත. සමාජය ගරු කළ යුතු තත්වයක් ඇති කර ඇත. අප තවමත් මෙවැනි කාරණයක් ගැන සිතන්නට හෝ පෙළඹී නැත.

බස් රථ රියදුරෙකු සතු වගකීම සම්බන්ධයෙන් කවුරුන් හෝ ගැඹුරින් සිතා ඇත්ද? ඔහු අත එක් වරෙක රැඳී ඇති ජීවිත සංඛ්‍යාව ගැන කවුරුන් හෝ සිතා ඇත්ද? එවැනි වගකීමක් දරන්නෙකු ගැන පෙරළා සමාජය දෙනු ලබන පිලිගැනීම කුමක්ද? එක්වර ජීවිත පනහක් හැටක් සම්බන්ධ වගකීම දරන්නෙකු ප්‍රමාණවත් වැටුපක් නොමැතිව හෙට දින ගෙන්නට ඇති ණය මුදල හෝ ගෙවල් කුලිය ගෙවන්නට මුදල් සොයා ගන්නා අන්දම සිතමින් බස් රථයක් ධාවනය කරයි නම්, එම පුද්ගලයා තම වගකීම හරි ආකාරයෙන් ඉටු කරයිද? එසේම එම පුද්ගලයාට තම වගකීම ඒ ආකාරයෙන් ඉටු කරන්නට සමත් වටපිටාවක් රාජ්‍යය විසින් සකස් කර දී ඇත්ද?

සමාජය වඩා සක්‍රීය සමාජයක් කරන්නට අවශ්‍ය නම් මේ සියල්ල වෙනස් විය යුතුය. අද බොහෝ රැකියාවන් තුල වෘත්තීය ගරුත්වය නැති වී ඇත්තේ එම ගරුත්වය ආරක්ෂා කර ගත හැකි පරිසරයක් රාජ්‍යය විසින් නිර්මාණය කොට නැති නිසාය. නගර සභාවේ පිරිසිදු කරන්නා වැටුපෙන්, ඇඳුමෙන්, පිළිගැනීමෙන් යාචකයෙකු කොට ඇත. එනිසා ඔහු වෙනස් ලෙසකින් සිතන්නේ නැත. බස් රියදුරා ද, කොන්දොස්තර ද එසේම ය. සමහරෙක් සමාජ පිළල වි ඇත්තේ ඒ නිසාය. පොලිස් නිලධාරියාගේ ලජ්ජාව නැති වී ඇත්තේ සමාජය විසින් ඔහු තල්ලු කර ඇති ස්ථානය නිසා ය. රාජ්‍යය විසින් ඔහුට දෙනු ලබන වටිනාකමේ ප්‍රමාණය නිසා ය. වෘත්තිකයාට වෘත්තිකභාවය ගැන අදහසක් නොදෙන නිසා ය. මෙහි සඳහන් කර ඇත්තේ උදාහරණ කිහිපයකි. තව බොහෝ උදාහරණ ඇත. සමාජය සහ රාජ්‍යය විසින් තම තමන්ගේ ආකල්පයන් වෙනස් කර නොගන්නා තෙක් සමාජයෙන් මේ බෙදීම් ඉවත් කල නොහැකි ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.