අජිත් පැරකුම් ජයසිංහ

මේ දවස්වල වායුගෝලයේ ආර්ද්‍රතාව ඉහළ මට්ටමක තිබෙන නිසා දවල්ට විතරක් නෙමෙයි රෑටත් දාඩිය දානවා. උදේට බස් එකට කෝච්චියට නගින අය අතරින් ඇතැමෙකුගෙන් දැඩි දුර්ගන්ධයක් හමනවා. හවසට නම් වෙන කරන්නට දෙයක් නැහැ කියතැහැකි, වැඩ කරලා එන මිනිසුන් නේද කියලා. ඒත් උදේට?

Sinhala Tamil English Translations and Content Writing

ලංකාවෙ මිනිසුන් ස්වස්ථතාව පිළිබඳ සැලකිලිමත් වෙන ප්‍රමාණය මදි. පිරිසිදුව ඉන්න ධනවතෙකු වෙන්නට ඕනැ නැහැ. පිරිසිදුකම බුද්ධිමත්කමත් එක්ක සම්බන්ධ දෙයක්. විලාසිතා කරන්න. ලස්සනට ඉන්න. හැබැයි අපිරිසිදුකම විලාසිතාවක් කරගන්න එපා.

“දිනක් ඇඳි ඇඳුම් නැවත අඳින්න එපා. ඒවා සෝදා වේලාගන්න. යට ඇඳුම් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. දිනපතා නාන්න. විලවුන් ගල්වන්න. උදේට ඇඟ සෝදා ඇඳුම් අඳින්න. මෙයින් ශරීරයේ අව පැහැවීම්, සමේ රෝග, වන දද, කුෂ්ඨ ඇතිවීමේ ඉඩ අඩු වෙනවා. ප්‍රසන්න පෙනුමක් ලැබෙනවා. ශරීරයට ප්‍රසන්න පෙනුමක් ලැබෙනකොට එය මනසටත් බලපානවා. ඔබ දකින අනෙක් අයගේ මනසත් ප්‍රබෝධවත් වෙනවා. මේවා පොඩි කාලේ සිට ම ළමයින්ට පුරුදු කරන්න. එතකොට ඒවා ජීවිතයේ අංග බවට පත් වෙනවා.” ඊශා කප්පරගේ කියනවා.

ශ්‍රී ලාංකිකයන් ශරීර දුර්ගන්ධය ගැන සැලකිලිමත් වෙනවා අඩුයි. ඝර්ම කලාපීය දහදිය දමන රටක ජීවත් වන මිනිසුන් වන අපට සුවඳ විලවුන් සංස්කෘතියක් නැතිකම පිළිබඳ ප්‍රශ්නය අපේ මිත්‍රයකු වන මසීර් අහමඩ් වරක් සාකච්ඡා කළා. මසීර්ගේ ව්‍යාපාරය සුවඳ විකුණන එක. ධනවත් මුස්ලිම් ජනයා අතර නම් උසස් සුවඳ විලවුන් සංස්කෘතියක් තිබෙන බවයි ඔහු පවසන්නේ.

දහදිය ගඳ නැති කරන, ඩියෝඩ්‍රන්ට් / ඇන්ටි පර්ස්පිරන්ට් වර්ග ජීවන විලාසිතාවේ කොටසක් විය යුතු බවයි අජිත් අලවත්තගේ අදහස. එමගින් අපව නැවුම්ව ප්‍රබෝධවත්ව තබනවා. එසේ ම මුඛ දුර්ගන්ධය ගැනත් ඔහු අපේ අවධානය යොමු කළා. “අපෙන් කීදෙනෙකු පුරුද්දක් ලෙස මුඛය සුවඳවත් කරන දේ පාවිච්චි කරනවා ද?” ඔහු අහනවා මේවා සුඛෝපභෝගී දේ නෙමෙයි.

මුඛ දුර්ගන්ධය හා පානය කරන වතුර ප්‍රමාණය අතරත් සම්බන්ධයක් තිබෙනවා. බස්වල, දුම්රියවල දුර ගමන් යන විට බෝතලයක වතුර ගෙන යාම හොඳ දෙයක්. බස්වල නිදා වැටුණාම එහෙම, මුඛයේ ඇති වන දුර්ගන්ධය කෙනෙකු හමු වී කතා කරන විට දැනෙන්නට පුළුවන්. දිනකට දෙවරක්වත් කෑම කෑමෙන් පසු දත් මැදීම හොඳ දෙයක් වුණත්, තවමත් රෑට දත් නොමැද නින්දට යන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. මුඛ සෞඛ්‍යයේ ගැටලු නිසා වයසට යන විට බොහෝ අයට දත් අහිමි වෙනවා. දත් නැති මහළු විය අවාසනාවන්ත තත්වයක්.

ලංකාවෙ මිනිසුන් වැඩිපුර කෑම කන්නෙ අතින් නිසා බොහෝ විට ඔවුන්ගේ අත් ඉඳුල් ගඳයි. කෑමට පෙර විතරක් නෙමෙයි, කෑමට පසුත් සබන් දමා අත සේදීමේ පුරුද්දක් ඇති කරගත යුතුයි. වැසිකිළි යාමෙන් පසු ගුදය පිරිසිදු කරගැනීමත් අතින්, වතුරෙන් කරන නිසා ඒ අත සබන් දමා හරියට සේදුවේ නැතිනම් එයත් ගඳගසන්නටත්, විෂබීජ පතුරුවන්නටත් ඉඩ තිබෙනවා.

අපේ අය ගුද මාර්ගය ගැන සැලකිලිමත් වන ප්‍රමාණය වැසිකිළිවලින් නිරූපණය වෙනවා. යමෙකු වැසිකිළියට සලකන ආකාරයත්, ගුදයට සලකන ආකාරයත් සමානයි. ඇතැම් අය ගුදය හෝදන්නට පාවිච්චි කරන්නේ අපිරිසිදු වතුර පොඩ්ඩක් විතරයි. දිය කරලා ගාගන්නවා වගේ. මුත්‍රා කරලා මුත්‍රා මාර්ගයේ අග සෝදා පිරිසිදු කරගැනීමත් හොඳ පුරුද්දක්

කොණ්ඩා රැවුල් වවනවා නම් ඒවා පිරිසිදුව නඩත්තු කරගත යුතුයි. කොණ්ඩා, රැවුල්, නියපොතු වවාගෙන අපිරිසිදුවට ඉන්න මිනිහෙකු විප්ලවවාදියකුගේ ප්‍රතිරූපය ලෙස නිර්මාණය වීම බරපතල වරදක්. මෙය සිදු වුණේ වාමාංශික රැඩිකල් පක්ෂ බිහි වුණ මුල් කාලෙ. පූර්ණකාලීන තපස් දේශපාලනය විප්ලවයේ මූලික අවශ්‍යතාවක් ලෙස සැලකුණු යුගයක. දැන් ඒවා වෙනස් වෙලා. ඒ ලක්ෂණ දැන් සම්බන්ධ වෙන්නෙ යම් මානසික ගැටලු එක්ක විතරයි.

පාවහන් නොදැමීමත් මේ වගේ ම තත්වයක්. මේක ලියන්න හිතුණෙ අද උදේ වුණ සිද්ධියක් නිසා. ප්‍රාථමික ක්‍රීඩා පුහුණුවලට යන නිසා බිරිඳ දුවට මේ සපත්තු කුට්ටම අරන් දීලා තිබුණා. අද උදේ ඇය ඒක දාන්න බැහැ ය කීවා. එක ටීචර් කෙනෙක් හිනා වුණාලු මෙන්න මෙයා සපත්තු දාලා ය කියලා. තව එක්කෙනෙක් ඇහුවලු ඕව දාගෙන දුවන්න පුළුවන් ද කියලා. තව එක්කෙනෙක් කිව්වලු ඕක ගලවන්න කියලා. සර් නම් මොකුත් කිව්වෙ නැහැලු. ටීචර්ලා ඉතින් සාරි ඇඳලා හයි හීල්සුත් දාලනෙ ක්‍රීඩා පුරුදු කරන්නෙ.  කකුල් කියන්නෙත් ශරීරයේ ම කොටසක්. ඒ නිසා ඒවා ලස්සනට, පිරිසිදුව තියාගන්නට ඕනැ. පහසුවෙන් තුවාල වෙන්නට පුළුවන් නිසා ආරක්ෂා කරගන්නට ඕනැ. ඒකට තමයි පාවහන් අවශ්‍ය.

තව දෙයක් තමයි අව් කණ්ණාඩි. ලංකාවෙ අව්ව සැරයි. විශේෂයෙන් මේ දවස්වල අපට ඉර මුදුන් වෙනවා. හිරු එළියෙ පාරජම්බුල කිරණ තියෙනවා. ඒවා ඇස්වලට හානි කරන්නට පුළුවන්. දැන් හුඟදෙනෙකුට වැඩිහිටි වියට එළඹෙනකොට ඇසේ සුද ඉවත් කරන්නටත් වෙනවානේ. අව් කණ්ණාඩි පැළඳීමෙන් ඇස් ආරක්ෂා කරගන්නට පුළුවන්. ඒක නිකම් ම මෝස්තරයක් විදියට ගන්න එපා. එහෙම දාන එක හෙළා දකින්න එපා.

“විශිෂ්ඨ වීමට පෙර ශිෂ්ඨ වෙමු,” යි අජිත් අලවත්ත පවසනවා. එය ඉතා දේශපාලනික අදහසක් බවයි අප කියන්නේ. පිරිසිදුව, පිළිවෙලට, ලස්සනට ඉන්න එක මිනිස් වටිනාකමක්. හැබැයි, මෙතන අදහස් කරන්නෙ ආන්තික පිරිසිදුකම, පිළිවෙල නෙමෙයි. පිරිසිදුව ඉන්නට සමාජය යොමු කරන එක දේශපාලනික වැඩක්. දේශපාලනය තියෙන්නෙ න්‍යාය දර්ශනවල විතරක් නෙමෙයි. සමාජවාදය කියන්නෙ ජීවන විලාසයක් කියා අප කියන්නෙ ඒකයි. ඒ වගේ ම එය අද මෙතැන පවා හැම තැනක ම තිබෙන අඛණ්ඩ අරගලයක්.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.