ප්‍රියන්ජිත් ආලෝක බණ්ඩාර

මේ මැයි මාසය. 83 කළු ජූලිය මතක් කරගන්න තියෙන්නේ තව මාසයයි. 83 කළු ජූලිය අපට නැවතත් සිහි ගන්වන සිද්ධීන් සිදු වෙමින් පවතිනවා. 1983 වෙනකොට මගේ වයස අවුරුදු 7 යි. මම හිටියේ නිකවැරටිය ආසනේ, වාසිවැව කියන ගමේ. ඒ කාලේ හද්දා කැලේ.

අපේ ගමේ වැවක් උඩහ තිබුණු අනුන්ගේ කැලෑ ඉඩමක පදිංචි වෙලා හිටියා දෙමළ පවුලක්. ඒහි සිටි වැඩිහිටි දෙමල කාන්තාවට අපි කීවේ ආච්චි කියලා. එයා අපට බොහෝම ආදරෙයි. කැලේ තියෙන ගෙඩි ජාති සාරි පොටේ හංගාගෙන ඇවිත් අපට දෙනවා මතකයි.

සිංහල අයගේ ගෙවල් වල කුලී වැඩ කරලා ඔවුන් ජීවත් වුණා. ඔවුන්ට හිටියා අවුරුදු 12 හා 13 විතර වෙන ගෑණු දරුවෙක් හා පිරිමි දරුවෙක්. ඒ දෙන්නා ගියේ දිව්ල්ලෑගොඩ විද්‍යාලයට. ඔන්න 83 ප්‍රශ්නේ ආවා. එල්.ටී.ටී.ඊ. කියලා කිසිම දෙයක් අර දෙමළ පවුල දැනගෙන හිටියේ නෑ.

ගමේ හිටපු අයි.ආර්.සී ටයිප් තරුණයෝ ටික ගිහින් නිකවැරටිය, වාරියපොල, මහව වගේ ආසන්න නගරවල හිටපු දෙමළ ව්‍යාපාරිකයින්ගේ නිවෙස්වලට හා ව්‍යාපාරික ස්ථානවලට පහර දෙන්න වුනා. ඒ අය ඒ නිවෙස් හා ව්‍යාපාරික ස්ථානවල තිබුණු දෙමළ අයගේ බඩු මුට්ටු පැහැර ගෙන තමන්ගේ ගෙවල්වලට අරන් ආවා.

නැශනල් පැනසොනික් රේඩියෝ, පැට්‍රෝල් මැක්ස් ලාම්පු හා තවත් බොහෝ දේවල් ගමේ ගෙවල් වල මෑතක් වෙන තුරු තිබුණා මම දැකලා තියෙනවා.

ගමේ හිටිය චන්ඩි ටික එතනින් නැවතුනේ නෑ. අර ගමේ හිටිය අහිංසක දෙමළ අයගේ පැලට ගිහින් ඒ පැලේ තිබුණු හාල් තුනපහ පවා හොරකම් කළා. හොරකම් කරලා පැලට ගිනි තිබ්බා. වයසක ජොඩුවයි ගෑනු ළමයයි අඳුරන සිංහල ගෙදරක හැංගුනා.

ගමේ ඉඳන් හැතැප්ම තුනක් විතර දුරින් තමයි දිවුල්ලෑගොඩ ඉස්කෝලේ තියෙන්නේ. පිරිමි ළමයා ඉස්කෝලේ ඇරිලා ලංගම බස් එකේ ගෙදර එන ගමන් හිටියා. ගෙදරට කරදර වෙලා කියලා ළමයට ආරංචි වෙලා එයා කලබල වෙලා බය වෙලා ඉදලා තියෙනවා.

තමන් බහින බස් හෝල්ට් එකට කලින් තිඛෙන හංදියේ මගුල් ගෙදරක යන්න බස් එක එනකන් සැලකිය යුතු පිරිසක් හිටියා. ඒ සෙනගට බය වුණු ළමයා බස් එකෙන් පනින්න ගිහින් වැටිලා බස් එකේ රෝදෙට අහු වෙලා මැරුණා.

අම්මයි, තාත්තයි, ගැහැණු ළමයයි කොහේ ගියාද අපි දන්නේ නෑ. සමහර විට ඔවුන් දැන් ජීවතුන් අතර නැතිව ඇති. ජාතිවාදී කලබලයක් ඇති වුනාම විපතට පත්වෙන අයගෙන් 90% ක් අහිංසක අය. ඒක 83 ත් එහෙමයි. අදත් එහෙමයි.

ඔය තමන්ගේ ලේ කකියනවා කියලා කෑ ගහන එක මිනිහෙක්වත්, දේශපාලනයේ තිඛෙන සියුම් ජාත්‍යන්තර සැලසුම් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. මනුෂ්‍යත්වය පිළිබද කිසි දෙයක් දන්නේ නෑ. අසූ තුනේ ප්‍රශ්නෙන් පස්සේ අවුරුදු 30 ක් පමණ රට කාලකණ්ණි තත්වයකට පත් වුනා. එහි ප්‍රතිපල අදටත් අපි අත් විදිනවා. නමුත් එදා ඒ ව්‍යසනේ ඇති කරපු කිසිම අයි.ආර්.සී.කාරයෙක්, ජාතිවාදියෙක් ඒ අවුරුදු තිහේ වගකීම ගත්තේ නෑ.

අනික් එක මේ ලේ කකියන අය ගොඩාක් 71, 83, 89 අත්දැකීම් ගැන අවබෝධයක් නැති අය. ගොඩාක් අය 80 ගණන්වලින් පස්සේ මෙලොව එළිය දුටු අය. මේ අයට මේ රටේ අනාගතය තීන්දු කරන්න අපි ඉඩ දෙනවද කියලා හිතන්න ඕනේ.

සිද්ධියක අතීත, වර්තමාන, අනාගත තත්ත්වයන් සිළිබද සිතන්න තරම් දුරදිග සිතා බැලිය හැකි ඥානයක් ඔය ලේ කකියන අයට නෑ කියන එකයි මගේ හැගීම.

එදාට වැඩිය අද ඒ පිරිස වැඩි වෙලා තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් කියන තුන්ගොල්ලගේම මේ කියන අන්තවාදී ලේ කකියන වගකීම් විරහිත කොටස් ඉන්නවා. ඒ නිසා සිංහල, දෙමළ, මුස්ලිම් කියන තුන්ගොල්ලන්ගේම බුද්ධිමත් කොටස් වහාම ඉදිරියට පැමිණ මේ අයි,ආර්.සී. කාරයින්ව දමනය කළ යුතුයි.

අනික් කාරනේ තමයි එකෙක් ඇවිල්ලා කාට හරි කරදරයක් කළොත් ඒ අයටත් තරහා යනවා. ඒ අයත් තමන්ගේ ආරක්ෂාවට සටන් කරනවා. පාස්කු ප්‍රහාරයට උත්තර හොයන්න අයි.ආර්.සී. සෙට් එකට බාර දුන්නොත්. මුස්ලිම් අය එකතු වෙලා ආපහු ගහනවා. අවසානේ ඒක විශාල ජනවාර්ගික හා ආගමික ගැටුමක් බවට පත් වෙනවා. වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා කවුදෝ කියලා තියනවා. ඒක හරි ඇති මගේ හිතේ.

වැරැද්දක් කරපු කෙනෙකුට ජාති, ආගම්, තරාතිරම් නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තමයි විධිමත් හා සාර්ථක ක්‍රමය. සිංහලයෙකුට සිංහලයෙකු ගැහුවහම, මුස්ලිම් කෙනෙකුට මුස්ලිම් කෙනෙකු ගැහුවහම, දෙමළ කෙනෙකුට දෙමළ කෙනෙකු ගැහුවහම විතරක් නෙමේ සිංහලයෙකෙුට මුස්ලිම් අයෙකු ගැහුවහමත් අර නීතියම තමයි. නමුත් එතකොට අපි වෙන එකක් බලාපොරොත්තු වෙනවානම් අපියි සිහලයට වෙනමත්, මුස්ලිම් අයට වෙනමත් නීතියක් ඉල්ලන්නේ.

මුස්ලිම් ව්‍යාප්තවාදය වැළැක්වීම සඳහා ද ජාතිවාදී ව්‍යසන රට තුළ ඇති වීම වැළැක්වීම සඳහා ද රටේ බුද්ධිමත් පිරිස් එක්ව දේශපාලකයන්ගේ සිට මුහුණුපොත් තරුණයින් දක්වා වන ජාතිවාදය වපුරන සිංහල, මුස්ලිම්, දෙමළ සියලූ දෙනා මර්දනය කළ යුතුයි.

හැබැයි ඊට පස්සේ අපට මේ 225 න් රට බේරගන්නේ කොහොමද කියන කාරණේත් ලොකුවට හිතන්න වෙලා තියෙනවා. ඒකට නම් අර අයි.ආර්.සී. ලේ කකියන සෙට් එක පාවිච්චි කළාට පව් නෑ. (priyanjthab@gmail.com)

කවරයේ ඡායාරූපය මීගමුවේ ඇඳිරි නීතිය වෙලාවේ 2019 මැයි 5 දින ගන්නා ලද්දකි. ටැමිල්වින් වෙබ් අඩවියෙනි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: