Condom cartoon

ඒඩ්ස් මාරාන්තිකද? නැත

අජිත් පැරකුම් ජයසිංහ

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් හා පළාත්වල ලිංගාශ්‍රිත රෝග බලධාරීන් විසින් පවත්වනු ලබන මාධ්‍ය දැනුවත් කිරීම් හැමවිටම මාධ්‍යවලට රස කෑමක් වන බව පෙනේ. පුවත්පත් විසින් මාධ්‍ය දැනුවත් කිරීමේ යම් යම් කොටස් ඉස්මතු කරමින් පෙන්වනු ලැබේ.

2022 වසරේ ගතවූ මාස 09 තුළ HIV ආසාදිතයින් 429දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් පෙන්වා දෙනු ලැබුවේ HIVවී ආසාදිතයන් හමුවීමේ වැඩිවීමක් ඇති බව පෙන්වාදීමටයි. 2021 මුළු වසරේදීම අලුතෙන් හඳුනාගන්නා ලද ආසාදිතයින් ගණන 410කි. එබැවින් අලුත් ආසාදිතයන් හඳුනාගැනීමේ කැපීපෙනෙන වර්ධනයක් තිබෙන බැවින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ඒ කෙරෙහි සමාජයේ අවධානය යොමුකිරීමට උත්සාහ කිරීම සාධාරණය.

වයස අවුරුදු 18ත් 30ත් අතර HIV ආසාදිතයින් වාර්තාවීම දෙගුණයකින් වැඩිවී තිබෙන බව හා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩි ව්‍යාප්තියක් ඇති බවත් පෙන්වාදෙන ලදී.

එහෙත් HIV ආසාදිත භික්ෂූන් ගණන, විශ්වවිද්‍යාල සිසුන් සහ පාසල් සිසුන් ගණන වැනි කරුණු කෙරෙහි පුවත්පත් හා විශේෂයෙන් සමාජ මාධ්‍ය විසින් අවධානය යොමුකරන ලද බව පෙනේ. එසේම, මාධ්‍ය මෙය විහිළුවක් බවට පත්කළ අතර රෝගීන් කෙරෙහි පිළිකුල නිර්මාණය කිරීමට හා සමාජය තුළ බිය පැතිරවීමට කටයුතු කළහ.

HIV පැතිරෙන්නට පටන් ගත් කාලයේ එය පිළිබඳ සුලබව භාවිතා වුණ ප්‍රචාරණ පාඨයක් වූයේ ‘ඒඩ්ස් මාරාන්තිකයි’ යන්නයි. ඇතැමෙක් මෙය විහිළුවට ගෙන බිත්තිවල ලියුවේ තවත් කෑල්ලක් එකතු කරමිනි.

‘ඒඩ්ස් මාරාන්තිකයි. මැකුවොත් හිරේ.’ එය මැකුවොත් හිරේ යන බව මතුපිටින් පෙනුණ ද ඇත්තට ම එහි තිබෙන්නේ මැකුවොත් හිරේ යන යෙදුමේ පද පෙරළියකි.

එදා HIV ආසාදිතයන් කාලයත් සමග ඒඩ්ස් තත්වයට පත්වී මරණයට පත් වූ හ. එහෙත්, අද වන විට, HIV මරණ තර්ජනය වෛද්‍ය විද්‍යාව විසින් බොහෝ දුරට පරාජය කර හමාර ය.

HIV තවදුරටත් මාරාන්තික රෝගයක් නො වන බව UNAIDS හිටපු දේශීය අධ්‍යක්ෂ වෛද්‍ය දයානාත් රණතුංග අවධාරණය කරයි. දැන් HIV ප්‍ර‍තිකාරක ඖෂධ පෙර මෙන් පෙති, කරල් ගොඩක් නො වන බවත්, දිනකට එක් පෙත්තක් පමණක් බවත්, එහි අතුරු ආබාධ ද අඩු බවත් ඔහු පෙන්වා දෙයි. එබැවින්, දැන් HIV ආසාදිතයකුටත් දියවැඩියා, අධි රුධිර පීඩන ආදී රෝගියකු ජීවත් වනවා සේ ම වෛද්‍ය සත්කාර හා ඖෂධ සමග දිගු කලක් ජීවත් විය හැකි බව ඔහු පවසයි.

HIV පැතිරෙන්නේ ක්‍ර‍ම හතරකින් පමණක් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි. එම ක්‍ර‍ම හතර වන්නේ:

  • අනාරක්ෂිත ලිංගික හැසිරීම්
  • රුධිර පාරවිලයනය
  • ජීවාණුහරණය නොකළ එන්නත් කටු හවුලේ භාවිතය
  • ආසාදිත මවකගේ මව්කිරි බීම

ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට HIV සහ සිෆිලිස් ආසාදනය වීම වළක්වන ලද රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.

කිසියම් අයකු HIV ආසාදිතයකු වුවත් කුමක් කරන්න ද? ඒ අපේ ම මිනිසෙකි. රෝගියකු වීම වරදක් ද? එම රෝගියාගේ මානව හිමිකම්වලට අත තබන්නට කිසිවෙකුට අයිතියක් නැත

HIV වළක්වාගැනීම අපහසු නැත. එහෙත් කිසියම් හේතුවක් නිසා HIVආසාදනයට ලක් වී සිටින ජනතාවට සමාජයෙන් අගතියක් සිදු නො වීමට වග බලා ගැනීම ද ඉතා වැදගත් ය.