PM Modi hugs Sivan, ISRO

ලංකාවෙ රජය හඳට යන්න ගිහින් වැරදුණා නම්

ජිත් පැරකුම් ජයසිංහ

මෙය දේශපාලන උපහාස රචනයකි. අප මෙය මුලින් ලියුවේ ෆේස්බුක්හි ය. එය එහි ජනප්‍රිය වූ නිසා මෙහි ද පළ කරමි. මෙය උපහාස රචනයක් වුව ද, ලංකාවේ ඇත්ත ද මෙයයි. අපට දියුණුව කරා යන්නට බැරි ප්‍රධාන හේතු මෙහි යටිපෙළෙහි තිබේ. ඡායාරූපයෙහි දැක්වෙන්නේ ඉන්දියාවේ චන්ද්‍රයාන් සඳ තරණ මෙහෙයුම ව්‍යර්ථ වූ විට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති සිවන් වැළඳගෙන ඔහු සැනසූ ආකාරයයි. මේ සම්බන්ධ කතාව මෙතනින් කියවන්න. ඉන්දීය සඳ තරණ මෙහෙයුම අසාර්ථක ද? >>

ලංකාවෙ රජය සඳේ උත්තර ධ්‍රැවයට ගොඩබසින්නට සඳලතා-1 වගේ මෙහෙයුමක් කරලා ඒක අසාර්ථක වුණා නම් කොහොම තියෙයි ද?

සජිත් ප්‍රේමදාස: මගේ පියා මට කුඩා කාලයේදී කියාදුන්නා හඳට යන හැටි. තමුන්නාන්සෙලා මා ජනාධිපති පදවියට පත් කරනවා නම් මා හරියට ම හඳේ ඔබ කියන ඕනෑම තැනකට යානයක් ගොඩබස්වා පෙන්වනවා මිත්‍රවරුනි.

රනිල් වික්‍රමසිංහ: හඳට ගොඩබහින්නට යන යානයක් එක්ක සන්නිවේදනය නැතිව ගියාම ගන්න ඕනැ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති සම්පාදනය වෙලා නැහැ. ඒ නිසා මං කියනවා පොල් ගගා ඉන්නෙ නැතුව නව ත්‍රස්ත විරෝධී පනත වහා ඉදිරිපත් කරන්න ය කියලා.

මහින්ද රාජපක්ෂ: ඔය සඳලතා සැලසුම් කළේ මමයි අපේ කාලෙ හාමුදුරුවනේ. අපි ඒක සැලසුම් කළ විදියට කළා නම් මේ වෙනකොට සඳ අපේ. අප සඳේ. යහපාලනය ඇති කරනවා කියල පොරොන්දු වෙලා බලයට ඇවිත් කරපු තරමක් කළේ හඳට යන්න බැරිවෙන වැඩ. එහෙම කරලා දක්ෂිණ ධ්‍රුවයට යනවා වෙනුවට උත්තර ධ්‍රැවයට ගියා. අපේ ආණ්ඩුවක් යටතෙ අපි මේව නිවැරදි කරනවා. අපි සඳේ උත්තර ධ්‍රුවය හා දක්ෂිණ ධ්‍රැවය නැවත මාරු කරනවා.

ගෝඨාභය රාජපක්ෂ: මේ රටේ සෑම දරුවෙකුට ම පළමු ශ්‍රේණියේ සිට ම රොකට් විද්‍යාව ඉගැන්වීමටත්, සෑම තරුණයෙකුට ම ගගනගාමියකු වීමටත් අවශ්‍ය වැඩපිළිවෙල අපේ රජයක් යටතේ සකසන බව පොරොන්දු වෙමින් මා නිහඬ වෙනවා.

අනුර කුමාර දිසානායක: අපි මේක කිව්වා. හඳට යන්න එපා කියල අපි කිව්වා. කෝ ඇහුවද? නෑ. අන්තිමට මොකද වුණේ? යන්න තිබුණෙ හඳට නෙමෙයි. අඟහරු ලෝකෙට. දියුණු රටවල් අඟහරු ලෝකෙට යන්න සැලසුම් හදද්දි කොමිස් ගහන්න ආණ්ඩුව හඳට රොකට් ඇරියා. අපේ ආණ්ඩුවක් යටතෙ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපි තමුන්නාන්සෙලා හැමකෙනෙකුට ම නෙප්චූන් දක්වා යන්නට පුළුවන් පහසුකම් හදනවා.

පුබුදු ජයගොඩ: ඇත්තෙන්ම ගත්තාම මේක හරිම නාස්තිකාර ව්‍යාපෘතියක්. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත අපේ අම්මලා තාත්තලා රෑට කන්න නැතුව හඳ දිහා බලාගෙන හූල්ල හූල්ලා ඉඳිද්දි අසීමිත ධනයක් වියදම් කරලා මේ වගේ ව්‍යාපෘතියක් දියත් කිරීම ගැන අපි රජයට අපේ බලවත් විරෝධය පළකරනවා. අපි කියනවා හඳට රොකට් යවන්න ඉස්සෙල්ලා ගමේ පාරට බස් එකක් දාලා ඉන්න ය කියලා.

අතුරලියේ රතන: මේ සඳලතා ව්‍යාපෘතියට සම්බන්ධව මුස්ලිම් ව්‍යාපාරිකයන් 97දෙනෙකු විවිධ සැපයුම් කරලා තියෙනවා. අපි සොයාගත්තා මූලික ගැටලුව තියෙන්නෙ යානයේ පැලෝපීය නාලයේ බව. මේ සන්නිවේදනය නැති වී යාමෙන් ඔප්පු වෙනවා ශාෆි සිංහල කාන්තාවන් වඳභාවයට පත් කර තිබෙන බව. ඔහුට දඬුවම් කරන ලෙස ඉල්ලලා අපි මාරාන්තික උපවාසයක් දියත් කරනවා.

ෆේ්ස්බුක් ආටිස්ට් ගෘප්: හඳට යන්න ඔච්චර වියදං කරන්න ඕනැ නැහැ. ඩම් දෙකෙන් හඳට යන්න පුළුවන්, කංසා නීතිගත කරනු!

‍ෆේස්බුක් දාර්ශනිකයෙක්: චන්ද්‍රයාගේ අවස්ථිතික ඝූර්ණය දේශපාලනිකව සංලක්ෂණය නොකර පුනරාවර්තනීය කක්ෂයකින් චන්ද්‍රග්‍රහණය කරන්නට යාම කතිපයාධිකාරී ලෙස දෝෂ සහිත බව වනවාතු දේශයේ මහා දාර්ශනික ජැකලොන්ස්කි විසින් ‘කිරිබති පත්‍රිකා’ නම් සිය මනරම් අධ්‍යයනයේ පෙන්වා දී තිබේ. එවැනි ශාස්ත්‍රෝද්ග්‍රහණයකින් තොරව කරන්නට යන මෙවැනි කටයුතු ඛේදවාචකයකින් අවසන් වීම වැළැක්විය නොහැකි ය.

ෆේස්බුක් ජාතික චින්තනවාදියෙක්: නලින් සර් පෙන්නල දීල තියෙනවා සඳ කියලා දෙයක් නැති බව. ඒ වගේ ම රොකට් සයන්ස් කියලා දෙයකුත් නැහැ. ඉතින් නැති සඳකට නැති රොකට් එකක් යවන්න බැහැ.

වෘත්තීය සමිති නායකයෙක්: ඕනැ පුකක් අපි විරුද්ධයි. සඳලතා ව්‍යාපෘතිය දියත් කළ ශ්‍රී ලංකා අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති රෝහිත රාජපක්ෂ ඉල්ලා අස්වෙනු!

අම්මට සිරි! මෛත්‍රී ලොක්ක අමතක වුණා. ඔන්න බලන්න ඒකෙත් හැටි. මෑන්ස්ට ගිය කල. මිනිහා මෙහෙම කියයි

“මම ඔය ගැන කිසිදෙයක් දන්නෙ නැහැ. මං පත්තරෙන් තමයි දැක්කෙ මෙහෙම හඳට යානයක් ගොඩබස්සන්න ගිහින් වැරදිලා ය කියලා. මම මේ ගැන හොයන්න ජනාධිපති කොමිෂමක් පත් කරනවා. ඒකෙදි තව ගොඩක් දේ හෙළි වෙයි. ඔය ටයි කෝට් අඳින, කොළඹ හතේ ගොඩක් අයට එතකොට රිදෙයි.”