change ahead

බල හුවමාරුවක් සිදුකරගත හැකි මග

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2022.04.03

රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ මේ වන විට පක්ෂ දේශපාලනයෙන් තොරව මහජනතාව ස්වේච්ඡාවෙන් පාරට බහින තැන දක්වා වර්ධනය වී තිබේ. දේශපාලන පක්ෂ විසින් මෙහෙයවන ලද උද්ඝෝෂණවලට අවශෝෂණය කරගත නොහැකි වූ මහජන බලවේගයක් ඉදිරියට පැමිණ තිබේ. එම බලවේගයේ ප්‍රධාන සටන් පාඨය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ආණ්ඩුව ඉල්ලා අස්වීමයි. මෙම ස්වේච්ඡා උද්ඝෝෂණ සම්බන්ධයෙන් ඇතැම් ඊනියා බුද්ධිමතුන්ගේ ප්‍රතිචාරය වන්නේ, ජනාධිපති හා ආණ්ඩුව පැන්නීමට වඩා ඊළඟට බලයට පත්වන්නේ කවුරුද යන්න වැදගත් බවයි. එසේම, ස්වේච්ඡා උද්ඝෝෂණවලට නායකත්වයක් පත්කරදීමට උනන්දු වන බුද්ධිමත්තු ද සිටිති. එසේ නැතහොත්, අන්තවාදීන් බලයට පත්වීමේ අවදානමක් ඇති බව ඔවුහු පවසති.

මෙවැනි ආර්ථික දේශපාලනික අර්බුදයකදී බලය හුවමාරු වීමක් සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් තිබේ. විප්ලවයක් හරහා පූර්ණ පරිවර්තනයක් සිදුවීමේ අවස්ථාව ද මෙහි තිබේ. එහිදී වඩා බලවත් දේශපාලන ව්‍යාපාරයට බලය අල්ලාගත හැකිය. සම්පූර්ණ පරිවර්තනයක් වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දක්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිය. එය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙස අර්ථදැක්වීමේ අවදානම ද තිබේ. 2018දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එක්වී පත්කරගන්නා ලද දින 52 ආණ්ඩුව අධිකරණය හමුවේ පවා කුමන්ත්‍රණයක් බව ඔප්පු වූ සිද්ධියකි. එහෙත්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනුණු අතර, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ එක් පාර්ශ්වකරුවෙක් වර්තමාන අගමැතිය. රාජපක්ෂ පවුල බලය අත්හැරීමට ලෙහෙසියෙන් කැමති වේද යන්න අපි නොදනිමු. කෙසේ වෙතත්, දැනට පවත්නා තත්වය තුළ පාලකයින් මහජන ප්‍රශ්න විසඳීමට ද අසමත් වෙමින් දිගින් දිගටම බලයේ එල්ලී සිටීමට උත්සාහ කළහොත් තත්වය සංකීර්ණ විය හැකිය.

විප්ලවීය පරිවර්තනයක් සිදුවන්නේ මහජන කැරැල්ලක් හරහාය. එහි අවදානම් රැසක් තිබේ. මර්දනය, ලේ වැගිරීම්, අරාජිකත්වය සහ බංකොලොත්භාවය ඒ අතර තිබේ. විප්ලවයේ නායකයන් අතට පත්වන්නේ සුන්බුන් ගොඩක් විය හැකිය. එය නැවත ගොඩනැගීම, රජය ප්‍රතිනිර්මාණය, ඒ සඳහා මහජන සහයෝගය දිනාගැනීම, ප්‍රතිවිප්ලව මැඬලීම, ජාත්‍යන්තර පිළිගැනීම නිර්මාණය කරගැනීම ආදිය ඉතා සංකීර්ණය.

දෙවෙනි ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුව හරහා බල හුවමාරුවක් සිදුකරගැනීමයි. එය වඩා සාමකාමී සහ සම්මුති සහගත ක්‍රමයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව හරහාම එය කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇතැයි ‘ඔහු’ සිතන පුද්ගලයා අගමැති ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට පුළුවන. විධිමත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සඳහා අවශ්‍ය පුළුල් බලතල ද ජනාධිපතිවරයාට තිබේ. අවශ්‍ය නම් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වී අගමැතිවරයා ජනාධිපති ධුරයට පත්කිරීමට පවා හැකියාව තිබේ. විධායක ජනාධිපති බලතල භාවිතා නොකරන සංහිඳියාවක් ජනාධිපති හා කැබිනට් මණ්ඩලය අතර නිර්මාණය කරගැනීම මෙම වැඩපිළිවෙල සඳහා අත්‍යවශ්‍යය.

ශ්‍රී ලංකාව මේ මොහොතේ අපේක්ෂා කරන නායකත්වය මෙවැනි ක්‍රමයක් හරහා සම්පාදනය කරගන්නට බැරිකමක් නැත. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් පාර්ලිමේන්තුවේ සිටිති. එහි නායකයන් නොමැති නම් එය රටේ නායකත්ව ගැටලුවකි. එම ගැටලුව විසඳාගැනීම මේ මොහොතේ කළ නොහැකිය. දෙසීය විසිපහම එපා වැනි මුග්ධ සටන්පාඨ ඉවත දමා,මහජන ඡන්දය පදනම් කරගෙන පත්වී සිටින මෙම මන්ත්‍රීන් 225 නායකයන් බවට පරිවර්තනය කරගත යුතුය. එය සිදුකළ යුත්තේ පක්ෂ දේශපාලනය අතික්‍රමණය කරමින් නිර්මාණය කරගනු ලබන පොදුබවක් ඔස්සේය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂවලත්, සිවිල් සමාජයේත් සහයෝගය ලබාදිය හැකිය. මෙම පරිවර්තනය වඩා සාමකාමීය. අඩුවෙන් හානිකරය. පවත්නා ක්‍රමයෙහි දැඩි පරිවර්තනයක් සිදු නොකරන මුත්, එවැනි පරිවර්තනයකට මුලපිරීම සිදුකරයි.

මේ හරහා අනාගත නායකත්වයන් නිර්මාණය කරගැනීමේ අඩිතාලම සකස් කරගත හැකිය. ඉදිරි මැතිවරණවලදී එම නායකත්වය තහවුරු කරගත හැකිය. ඊනියා සර්වපාක්ෂික සමුළුවලට වඩා මේ විසඳුම ප්‍රායෝගික ද විය හැකිය.