Easter Sunday attack

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු

අජිත් පැරකුම් ජයසිංහ

මුස්ලිම් සමාජයට සහරාන් කෙනෙකු හදන්නට තරම් සහ ක්‍රිස්තියානින්ට පහර දෙන්නට තරම් සාධාරණ හේතු තිබුණේ නැත. මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් ලාංකීය සමාජයේ පැවතියද එය පාස්කු ප්‍රහාර වැනි ආන්තික ප්‍රචණ්ඩත්වයකට යොමුවීමට තරම් මට්ටමක තිබුණේ නැත. බොහෝ සමාජවල ආගමික අන්තවාදය තිබේ. එහෙත්, ආගමික අන්තවාදයේ වඩාත්ම පහසුවෙන් ඇවිළෙනසුලු ගිනි පුළිඟු ඇත්තේ මුස්ලිම් සමාජයේ විය හැකිය. එහෙයින් පසුගිය කාලයේ ප්‍රවර්ධනය කරන ලද අන්තවාදය සම්බන්ධයෙන් සමස්ත මුස්ලිම් සමාජය වගකිව යුතුය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වඩාත්ම නිවැරදි ප්‍රකාශය ඉන් පසු එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් කරන ලදැයි මම සිතමි. එනම්, ගහන බව දැනගෙන සිටියත්, මෙවැනි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි නොසිතූ බවයි. ඇත්තෙන්ම, එවැනි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි කලින් අනුමාන කළ කිසිවෙකු සිටිත්ද? මෙතැනදී ‘එවැනි ප්‍රහාරයක්‘ යන වචනය අවධාරණය කළ යුතුය. ප්‍රහාරයක් ගල් ගැසීමේ සිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දක්වා ඕනෑම එකක් විය හැකිය. මෙහි තිබුණේ විය හැකි ආන්තිකම දෙයයි. එසේම, ප්‍රහාරවල උන්මත්තක ස්වභාවය අනුව ඕනෑම ක්‍රිස්තියානි පල්ලියක් ඉලක්ක විය හැකිව තිබිණි. මේවා නිවැරදිව අනුමාන කළ කිසිවෙකු සිටිත්ද?

එවැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීමට කිසිදු සාධාරණ හේතුවක් සොයාගත නොහැකිය. එය තනිකරම ආගමික උන්මත්තකවාදයකි. අමුම අමු ත්‍රස්තවාදයකි. මර්දනය හැර අන් කිසිදු විසඳුමක් නැති ප්‍රශ්නයකි.

එවැනි ත්‍රස්තවාදයන් හඹාගෙන ගොස් මර්දනය නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව, පොලිසිය හා සෙසු ආරක්ෂක අංශ තවමත් වැරදි බව මම විශ්වාස කරමි. ත්‍රස්ත විරෝධී නීති ඒ වෙනුවෙන් උපරිම වශයෙන් භාවිතා කළ යුතුය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි නොකළ යුත්තේ ද මෙවැනි උන්මත්තක ත්‍රස්තවාදයන් පවතින නිසාය.

මේ වන විට, පාස්කු ප්‍රහාරකයන් සමග වක්‍ර සම්බන්ධකම් තිබුණු අය පවා වීරයන් හා ගැලවුම්කරුවන් වී ඇති බව පෙනේ. එසේ වී තිබෙන්නේ හඹාගෙන ගොස් මර්දනය නොකිරීම නිසා ද විය හැකිය.

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ඒවාට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ කිසිවකු තවම දඬුවම් ලබා නැත. තවම දඬුවම් ලබා ඇත්තේ ප්‍රහාරය වළක්වා නොගත් බවට චෝදනා ලද අය පමණය. එම දඬුවම් සාධාරණය. වගකීම් භාරගත්තා නම් වගවිය යුතුය. බලයට, තනතුරුවලට තිබෙන කෑදරකම හැර වගකීම් ඉටුකිරීමේ ප්‍රමාණවත් වෘත්තිකභාවය නැති අයට මෙම නඩු තීන්දුව දැඩි අනතුරු ඇඟවීමකි. තනතුරු ලාභ වාසනාවක් ලෙස සලකන ලංකාවේ මිනිසුන් ඒ හා බැඳුණු අවාසනාවන් හඳුනාගත යුතුය.

නියම කරන ලද වන්දි ගෙවීමට මෙම නිලධාරීන් සතුව වත්කම් තිබේ නම්, ඒවා උපයාගත් ආකාරය ද කෙතරම් සාධාරණදැයි සොයාබැලීම ද වටී.

නඩු තීන්දුව නිසා වින්දිතයන්ට යම්කිසි මූල්‍යමය හානිපූරණයක් සිදු වේ. එහෙත්, කුමන හානිපූරණයකින්වත් ප්‍රියයන් අහිමි වීමේ වේදනාවට වන්දි ගෙවිය නොහැකිය.

මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ නිලධාරීන් සමග ඇති තරහ නිසා බොහෝ අය දැන් අමන්දානන්දයට පත්වී ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය කම්පනය මෙන්ම ව්‍යාජ දේශපාලන රංගනයන් ද තිබුණු බව අපි පසුගිය ජනාධිපතිවරණයෙන් කූටප්‍රාප්ත වූ දේශපාලනය තුළ දුටුවෙමු. එය දැන් අවසන් වී ඇතැයි නොසිතන්න.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවකු ගැන ඒ දිනවල කතා කෙරිණි. ඒ මහමොළකරුවා තවම හඳුනාගෙන නැත.

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය පදනම් කරගෙන ආගමික-වාර්ගික දේශපාලනයේ යෙදෙන මහමොළකරුවන් නම් සිටින බව ඉතා පැහැදිලිය.

ශ්‍රී ලංකාවත්, එහි අධිපති බලවේගත් බිඳදැමීමේ වාර්ගික-ආගමික හා ජාත්‍යන්තර දේශපාලනයත්, පාස්කු ප්‍රහාර සම්බන්ධ ව්‍යාජ දේශපාලන අනුකම්පාවත් අතර සමීප සම්බන්ධයක් තිබේ. ඒ ගැන අවධියෙන් සිටීම වැදගත් වනු ඇත.