Over garlanding politicians

දේශපාලන නායකත්වය අර්බුදය මැද පුරවැසියා

අජිත් පැරකුම් ජයසිංහ

වෙන පාරක යන බස් මැනිං මාකට් පැත්තෙන් යන්නට හරවා, මහා විශාල සංවර්ධනයක් සිදුකළාක් මෙන් මාධ්‍ය සංදර්ශනයක් දමන්නට ගිය ඇමති නාලක ගොඩහේවා මගීන්ගෙන් බැණුම් අසාගත් අවස්ථාව සුලු සිද්ධියක් වුවත්, එය දේශපාලනිකව ඉතා වැදගත්ය.

එයට හේතුව වන්නේ පුරවැසියන් ලෙස අප දේශපාලකයන්ගේ මෙවැනි විගඩම්වලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ ආදර්ශයක් එම බුද්ධිමත්, එඩිතර මගී ජනතාව විසින් විදහා දැක්වූ නිසාය. ඒ නන්නාඳුනන මගීන්ට පුරවැසි අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය. දේශපාලකයන් සම්බන්ධයෙන් පුරවැසියන් කටයුතු කළ යුතු ආකාරය විමසා බැලීමට මෙය අවස්ථාවකි.

දේශපාලකයන් බොහෝ විට ප්‍රසිද්ධ ස්ථානවලට යන්නේ අනවසර ජන රාශියක් හෙවත් මොබ් එකක් ලෙසයි. තමන් උත්සවශ්‍රීයකාරකයන් හෙවත් සෙලිබ්‍රිටීස් ලෙස ඔවුන් විසින්ම ප්‍රවර්ධනය කරගනු ලැබේ. ඒ සඳහා ඔවුන්ගේ ආරක්ෂකයන්, සේවකයන් වැනි ඇතැම්විට රජයෙන් වැටුප් ලබන අය ද, සෙසු දාසයන් ද, වාසි බලාගෙන ඇසුරු කරන අන්තේවාසිකයන් ද, ලොක්කන් ඇසුරුකිරීම මහා භාග්‍යයක් කොට සලකන සාමාන්‍ය මිනිසුන් ද උපයෝගී කරගනු ලැබේ.

ඔවුන්ගේ මෙම චර්යාවන්ට පුරවැසියන් වන අප ද උඩගෙඩි දෙන්නෙමු. දේශපාලකයන් සමග සෙල්ෆි ගසා ෆේස්බුක් දැමීම එවැනි එක් ක්‍රියාවකි. විවාහ මංගල්‍යයන්ගේ සාක්ෂියට අත්සන් කරන්නට දේශපාලකයන්ට ආරාධනා කිරීම තවත් එවැනි ජවනිකාවකි.

මහජන සේවය වෙනුවෙන් සුවිශේෂ කාර්යයක් කරන කිසිදු දේශපාලකයකු ලංකාවේ මහජන නියෝජිතයන් අතර ඇති බවක් මට නිච්චි නැත. ඉතා කලාතුරකින් ඉන්නවා විය හැකිය. මහජන නියෝජිතයන් කරන සේවයට ප්‍රමාණවත් තරමින් හෝ ඊටත් වඩා අප වැටුප් හා වරප්‍රසාද ලබාදී තිබේ. අතුරලියේ රතන හිමි වැනි අය පඩි මදි බවක් අඟවනු ඇසේ. පඩි මදි නම් වෙන රස්සාවක් සොයාගැනීමට ඔවුන්ට නිදහස තිබේ.

චම්පික රණවක සම්බන්ධ රිය අනතුරු නඩුවේදී ඔහු වරදකරු වුණත්, නිවැරදිකරු වුණත්, එහි එක් වැදගත්කමක් තිබේ. එනම්, දේශපාලකයකු නීතියට ඉහළින් ගොස් තිබේද යන්න විභාග කිරීමයි. එය සියලු දේශපාලකයන්ට පාඩමකි. දේශපාලන අනුග්‍රහයෙන් නඩු විසඳාගැනීමේ ක්‍රමයට වැඩි ආයුෂක් නැත. ඇතැම්විට, මේ ගෙවෙන්නේ එහි අවසාන යුගය විය හැකිය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට එල්ල වූ බව කියන බිත්තර ප්‍රහාරය සම්බන්ධයෙන් ද කිව යුත්තක් තිබේ. බිත්තර ප්‍රහාරයක් යනු බෝම්බ ප්‍රහාරයක් වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවක් නොවේ. ප්‍රහාරකයන් ශාරීරික හා මානසික හිංසනයට ලක්කිරීම හා ඔවුන්ගේ ඡායාරූප, වීඩියෝ ආදිය ප්‍රදර්ශනය කිරීම තුළ බිත්තර ප්‍රහාරයට වඩා ප්‍රචණ්ඩත්වයක්, හිංසනයක් තිබිය හැකිය. එම පුද්ගලයන් බිත්තර ප්‍රහාර එල්ලකරන ආකාරය අප දැක්කේ නැත. ඔවුන් වරදකරුවන් වී ද නැත. මෙම සිද්ධිය පූර්ණ ලෙස විමර්ශනය කළ යුතුය.

මාධ්‍යයකට ප්‍රකාශයක් ලබාදෙමින් සිටි අනුර කුමාර දිසානායකගේ පිටට බැසිල් තට්ටුවක් දැමීම ඇත්ත වශයෙන්ම සරල, සැහැල්ලු විහිළුවකි. ඕනෑනම් එය බිත්තර ප්‍රහාරයටත් වඩා කුමන්ත්‍රණයක් ලෙස අර්ථ නිරූපණය කරන්නටත් තිබිණි. එහෙත්, එය එසේ නොවන බව විහිළුවේ පාර්ශ්වකරුවෝ දනිති. සාමාන්‍ය ජනතාව ප්‍රශ්න විසඳාගන්නා ආකාරය දේශපාලන නායකයන් ප්‍රශ්න විසඳාගන්නා ආකාරයට වඩා කොහොමත් වෙනස්ය.

ඒ සමගම මෙයත් කිව යුතුය. අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, චම්පික රණවක වැනි විරුද්ධ පක්ෂයේ සිටින ඊනියා උත්සවශ්‍රීයකාරකයන් ද පුරවැසියන් ඉදිරියේ නාලක ගොඩහේවාට වැඩිය ලොකු අය නොවන බව ඔවුන් අවබෝධ කරගත යුතුය. ඇතැමුන්ට අවබෝධ කරදීමේ අවශ්‍යතාවක් ද පෙනෙන්නට තිබේ. හැම චර්යාවකදීම ඔවුන් පරිස්සම් විය යුතුය. තමන් වටා සිටින අන්තේවාසිකයන් කළමනාකරණය කරගත යුතුය.

ආණ්ඩු පක්ෂයේ හෝ විරුද්ධ පක්ෂයේ කිසිදු දේශපාලකයකු අනවශ්‍ය උත්සවශ්‍රීයකාරකයකු බවට පත්කරන්නට පුරවැසියන් කටයුතු කළ යුතු නැත. පුරවැසියන් වන අප ඔවුන් විසින් සංවිධානය කරගන්නා උත්සවශ්‍රීයන්ට කිසිසේත් සහභාගී නොවිය යුතුය. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ නාලක ගොඩහේවාට බස් මගීන් ප්‍රතිචාර දැක්වූ ආකාරයටය.

ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින දේශපාලනික නායකත්වය අර්බුදය හා පුරවැසියන් වන අප මුහුණදී තිබෙන නායකත්වයක් නොමැතිකමේ අර්බුදය හමුවේ පුරවැසියන් වන අපට නායකයන් නිර්මාණය කරගැනීමට සිදුවී තිබේ. එහිදී පුරවැසි වගකීම හඳුනාගත් පුරවැසි නායකයන්ට සුවිශේෂ වගකීමක් තිබේ. එනම්, දේශපාලන නායකත්වය නිර්මාණය කිරීමේ කර්තව්‍යයට ධනාත්මක ලෙස මැදිහත්වීමයි. එහිදී, නායකයන්ට උවමනාවට වඩා බටර් ගෑම මෙන්ම නායකයන් දැඩි ලෙස පිළිකුලට ලක්කිරීම ද පුරවැසියන් හා මාධ්‍ය පැත්තෙන් සිදුකරනු ලබන වරදකි. ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හා චම්පික රණවක වැනි නායකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ මිතුරන් හා සතුරන් විසින් ආන්තික ලෙස මේවා කරනු දැකිය හැකිය. පුරවැසියන් එහිදී කටයුතු කළයුත්තේ මැදහත් සිතින් විමර්ශනශීලීවය. පුරවැසි වගකීම නව නායකත්වයක් නිර්මාණය කරගැනීමයි. ඒ සඳහා නායකයන් හුරතල් කිරීම වෙනුවට නායකයන්ට නායකත්වය සැපයිය යුතුව තිබේ. නායකයන් අලුතින් නිර්මාණය කරගැනීම පහසු නැත. ඒ නිසා සිටින නායකයන් වෙනස් කරගැනීම වෙනුවෙන් මහන්සි වීම නරක නැත. ඒ සඳහා මැදිහත් විය යුත්තේ සාධනීය විවේචන සහිතවයි. නිර්දය ප්‍රහාරවලින් නොවේ.

පසුගිය දිනෙක විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වුණ මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න කළ වැදගත් ප්‍රකාශයකින් සටහන නිමා කළ යුතු යයි සිතමි: “ජනාධිපති කවුදැයි පොර අල්ලනවාට වඩා ඉදිරි මැතිවරණ වෙනුවෙන් විපක්ෂයේ පක්ෂවල වට මේස සාකච්ඡාවක් අවශ්‍ය කර තිබේ. ඊළඟ ජනාධිපතිවරයා රාජිතද, සජිත්ද, පාඨලීද, අනුරද කියා ජනතාවට වැඩක් නැති බව මේ සියලු දෙනා තේරුම් ගත යුතුය. හිසරදයට කොට්ටය මාරු කරනවා වෙනුවට දුර්දාන්ත ආණ්ඩුව පලවා හැර ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සියලු දෙනා එක් ස්ථානයක සිට සාකච්ඡා ආරම්භ කළ යුතුව ඇත.”

ඒ තත්වයට දේශපාලකයන් තල්ලු කරන්නට නම් පුරවැසියන් නායකත්ව අපේක්ෂකයන්ගේ අන්ධ භක්තිකයන් නොවී මැදහත්ව කටයුතු කළ යුතුය.