media cameras

අජිත් පැරකුම් ජයසිංහ

2022 වසර ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් වැදගත් වන හේතු කීපයක් මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන පසුගියදා පැවැත්වුණ වැඩසටහනකදී පෙන්වා දුන්නා. සිලෝන් රටේ පළමු පුවත්පත වූ කලම්බු ජර්නල් ආරම්භ කර අවුරුදු 190ක් පිරෙන්නේ 2022ටයි. 1982 ආරම්භ වූ ජාතික රූපවාහිනියට අවුරුදු 40ක් පිරෙනවා. පළමු පෞද්ගලික රේඩියෝ විකාශනය ආරම්භ වී අවරුදු 30ක් පිරෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් පළමු වරට පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා හඳුන්වාදී අවුරුදු 20ක් පිරෙන්නේත් 2022 වසරේදීයි.

මේ වන විට ඩොලර් හිඟය හා මුද්‍රණ කඩදාසි, තීන්ත, ප්‍රවාහන වියදම් ආදිය ඉහළයාම නිසා පුවත්පත් පළකිරීමේ වියදම අධික ලෙස ඉහළගොස් පුවත්පත් කර්මාන්තය දැවැන්ත අර්බුදයකට ලක්වී තිබෙනවා. පුවත්පතක සත්‍ය මුද්‍රණ වියදම එහි අලෙවි මිලට වඩා කිහිපගුණයක් වැඩි විය හැකියි.

පුවත්පත් කර්මාන්තය පමණක් නොව, රූපවාහිනී, රේඩියෝ ආදියටත් වෙළඳ ප්‍රචාරණය අත්‍යවශ්‍යයි. පසුගිය කාලයේ විශාල වශයෙන් වෙළඳ ප්‍රචාරණයේ යෙදුණු කිරිපිටි සමාගම් ආදිය දැන් දැන්වීම් පළකරන්නේ නැහැ. කිරිපිටි පැකට්ටුවක් මිලදීගන්නට මුදලාලි සමග යාලුකමක් අවශ්‍ය වකවානුවක කිරිපිටිවලට මොන වෙළඳ ප්‍රචාරණයක්ද? මේ අතර, වෙළඳ ප්‍රචාරණය සඳහා වඩා නම්‍යශීලී හා නිර්මාණාත්මක ස්වරූප, ගූගල්, යූටියුබ්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය අවකාශයන් විසින් හඳුන්වාදී තිබෙනවා. මෙම ජාත්‍යන්තර සමාගම් විසින් අලුත් දැන්වීම් ආදායම් ද හඳුන්වාදී තිබෙනවා. එහෙත්, ලාංකීය දැන්වීම්කරුවන් මගින් පිටරටට යන මුදල් සම්බන්ධයෙන් කිසිදු බදු අයකිරීමක් සිදුනොවීම හිටපු මාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ නොසතුටට හේතු වී තිබුණා.

මාධ්‍ය හා නීතිය සංසදය විසින් පසුගියදා සංවිධානය කර තිබුණු මාධ්‍ය නියාමනය පිළිබඳ කතිකාවක් සඳහා මාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම ද සහභාගී වුණා. මාධ්‍ය නියාමනය සඳහා නීති හා ව්‍යූහයන් සම්පාදනය එම උද්දේශන ව්‍යාපාරයේ අරමුණයි. අප විසින් ඉහත දක්වන ලද වෙළඳ ප්‍රචාරණය පිළිබඳ කාරණයෙන්ම නියාමනයේ සංකීර්ණත්වය හඳුනාගත හැකියි. ලංකාවට ඕනෑනම්, ෆේස්බුක්, ගූගල්, යූටියුබ් වැනි දැන්වීම් සඳහා රටින් පිටට මුදල් යන එක නැවැත්විය හැකියි. එහෙත්, විදේශ රටවල් ද ලංකාවේ දැන්වීම්කරුවන්ට මුදල් ගෙවන එක නතර කළහොත් යූටියුබ් මගින් මාධ්‍ය ආයතන ලබන ආදායමට කුමක් වේද? ප්‍රධාන මාධ්‍ය ආයතනවල යූටියුබ් දැන්වීම් ආදායම තවමත් ප්‍රධානම ආදායම් මාර්ගය නොවන බව මෙම කතිකාවට සහභාගී වූ දෙරණ ආයතනයේ විධායක නිලධාරිවරයකු හා විකාශකයන්ගේ සංසදයේ ලේකම් වන ලක්සිරි වික්‍රමගේ පැවසුවා. එහෙත්, එම සභාවේ සිටි ළහිරු මුදලිගේ නියෝජනය කරන හරි ටීවී ආයතනයට යූටියුබ් ආදායම ඉතා වැදගත්.

ප්‍රවෘත්ති මාධ්‍ය නියාමනය කිරීම සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කිරීම පිණිස ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වූ බහුපාර්ශ්වීය කණ්ඩායම විසින් 2017දී ද උත්සාහයක් දැරුවා. ගෝලීය සමාජයක ජාතික මට්ටමේ නියාමනයක් යනු පහසු හා එතරම් ප්‍රායෝගික කාර්යයක් නොවෙයි. දේශීයව නියාමනය කළ හැක්කේ දේශීයව ප්‍රකාශනය වන මාධ්‍ය පමණයි. අනෙක් ඒවා ඕනෑ නම් බ්ලොක් කළ හැකියි. ටැමිල්නෙට් වෙබ් අඩවිය කාලයක් තිස්සේ එසේ බ්ලොක් කරන ලදී. ඊට පෙර එහි සංස්කාරක සිවරාම් හෙවත් තරකි කොළඹදී ඝාතනය කළා. එහෙත් දැන් එහි තහනම ඉවත් කර තිබෙනවා. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ද ප්‍රහාරයක් එල්ලවූ අතර, දැන් එය විදේශ රටක සිට ගොසිප් හෙවත් ඕපාදූප මට්ටමේ වෙබ් අඩවියක් ලෙස පවත්වාගෙන යනවා. එය ලංකාවේ බ්ලොක් කර ඇත. බ්ලොක් කරන ලද වෙබ් අඩවි බැලීම ඉතා සරල තාක්ෂණික වැඩක්. ඒ අනුව, එසේ බ්ලොක් කිරීම යනු බාධා කිරීමක් පමණයි.

අද වන විට ඕනෑම කෙනෙකුට සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කරගෙන, මහන්සි වී හෝ උපාය මගින් සැලකිය යුතු පාඨක පදනමක් නිර්මාණය කරගත හැකියි. උදාහරණයක් ලෙස ටික්ටොක්හි කිරි සමන් ලෙස හැඳින්වුණ සමාජ මාධ්‍ය ක්‍රියාකරුට ලක්ෂ දෙකකට අධික ග්‍රාහක පදනමක් තිබෙනවා. රට තුළ සිට හෝ රටින් පිටත සිට හෝ ව්‍යාජ අනන්‍යතාවලින් හෝ පවත්වාගෙන යන ෆේස්බුක්, වට්සැප්, ඉන්සටග්‍රෑම්, යූටියුබ් ආදී මාධ්‍ය අවකාශ නියාමනය කිරීම අතිශය දුෂ්කරයි

එහෙත්, මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි. ඒ නියාමනයට හසුවන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා සීමිත නව මාධ්‍ය ප්‍රමාණයක් පමණක් විය හැකියි. පසුගිය දිනෙක සිදුවූ එක්තරා මාරාන්තික හදිසි අනතුරක සීසීටීවී දර්ශන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද පෙන්වූවා. එය ආචාරධාර්මිකව වරදක්. එහෙත්, ඔවුන් ඒවා පෙන්නුවත්, නැතත්, ස්මාට් ජංගම දුරකථනයක් හිමි ඕනෑම කෙනෙකුට අද වන විට එම දර්ශන බලාගත හැකියි. ඒ නිසා තම ග්‍රාහකයන් රඳවා තබාගැනීම සඳහා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද ඒවා පෙන්විය යුතු බවට තර්ක කළ හැකියි. එතනම එහි විරුද්ධාභාසය ද තිබෙනවා. එවැනි දර්ශන පෙන්වන ආචාරධාර්මික නොවන මාධ්‍ය අවකාශ තිබෙද්දී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද ඒ මට්ටමට වැටෙන්නේ කුමටද? ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම ඔවුන්ට ඊට වඩා වටින්නේ නැද්ද?

මාධ්‍ය නියාමනය පිළිබඳ අප සිතිය යුත්තේ එහෙමයි. නියාමනය මගින් බෙන්ච්මාක් කිරීමක් හෙවත් සංසන්දනය සඳහා ප්‍රමිතියක් නිර්මාණය කළ හැකියි. උදාහරණයක් විදියට රජයට පුළුවන් තමන්ගේ මාධ්‍ය ආයතනවලින් මේ සැසඳුම් නියාමනය ආරම්භ කරන්නට. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නියාමනය කිරීමට නීති සම්පාදනය කිරීමත් එක්කම, දැන්වීම් පළකිරීම නියාමනය කිරීමටත් ඒ නීති අදාළ කරනවා නම්, මාධ්‍ය නියාමනයට එය උත්ප්‍රේරකයක් විය හැකියි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: