Presidents House

අජිත් පැරකුම් ජයසිංහ

අධිකරණයෙන් බඳින ලද ඉනිමං භාවිතා කරමින් කොළඹට එක්රැස් වූ ලක්ෂයක පමණ උපරිමයක් විය හැකි මොබ් එකක් විසින් පහරදී ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති නිල නිවස සහ රනිල් වික්‍රමසිංහගේ හා ඔහුගේ සොයුරු චන්න වික්‍රමසිංහගේ නිවාස අර්ධ වශයෙන් විනාශ කර, පොදු දේපළ අල්ලාගැනීමෙන් අනතුරුව එම ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන විකාරරූපී තත්වය හා රට පුරා නිර්මාණය වී තිබෙන නීතියෙන් තොර අරාජික තත්වය මේ වනවිට එය නිර්මාණය කිරීමට මුල්වූ ඇතැම් පාර්ශ්වවල පවා දැඩි අවධානයට ලක්වී තිබේ.

අරගලයේ උරුමකරුවන් ලෙස පෙනීසිටින ඕමල්පේ සෝභිත හිමි, කාදිනල් හිමිගේ විවිධ නියෝජිතයන් ආදියෙන් සමන්විත පිරිස ජුලි 12දා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අරගලකරුවන් ලෙස ඔවුන් හඳුන්වන පිරිස ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමග එම ස්ථානවලින් ඉවත්ව වී යා යුතු බව ද, ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු බව ද, ව්‍යවස්ථාවට පිටින් කරනු ලබන පාලනයන් පිළිනොගන්නා බව ද පැවසූහ.

අරගලයට සම්බන්ධ විවිධ කොටස් ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය යටපත් කිරීමට අදහස් කරමින් නිකුත් කරනු ලබන නිවේදන සම්බන්ධයෙන් තම අවධානය යොමුවී තිබෙන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද ජුලි 12දා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. රටේ යහපත වෙනුවෙන් රටේ කටයුතු ව්‍යවස්ථානුකූලව පවත්වාගෙන යායුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

විධිමත් බල හුවමාරුවක් සහ නීතියේ පාලනයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අඛණ්ඩව ගරුකිරීමේ වැදගත්කම ද නීතීඥ සංගමය පෙන්වා දෙයි.

මේ වන විට නීති විරෝධී අත්පත් කරගැනීමකට ලක්වී තිබෙන පොදු දේපළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ ඒවා අත්පත් කරගෙන සිටින අය ඒවා නිසි බලධාරීන්ට නිවැරදි ආකාරයට භාරදීමට වගබලාගත යුතු බව සහ ලේඛන හා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති දේ ඇතුළු වෙනත් දේවල ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්ය.

වර්තමාන ආර්ථික හා දේශපාලනික අස්ථාවරත්වයට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව හා නීතිමය ක්‍රියාවලිය ඔස්සේ බව ද, වෙනස්කම් වෙනුවෙන් කරනු ලබන උද්දේශනයන් මගින් අධිකරණ පරිපාලනය යටපත් නොවිය යුතු බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

නිර්මාණය වෙමින් තිබෙන තත්වය මෙහෙම ගියොත් විනිශ්චයකාරවරුන්ගේ නිවාස ද ගිනිතියන තැනකට වැඩි කලක් යාමට පෙර රට තල්ලු වීමේ ඉඩක් තිබේ.

“නමවෙනිදයින් පස්සෙ තියෙන්නෙ අලුත් සම්මුතියක්. ඒ සම්මුතියට මේ පොලිස්පතියි, මේ පිරිසයි එකඟවෙන්න ඕනැ. නැතිනම් ඔය පොලිස්පතිලගෙ, දේශබන්ධුලගෙ ගෙවල් තියෙන තැනුත් මේ ජනතාව දන්නවා,” යි පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හා ‘අරගලය’ ලෙස හැඳින්වෙන ක්‍රියාකාරීත්වයට සම්බන්ධ නීතීඥ නුවන් බෝපගේ ඊයේ පැවසීය.

එහෙත්, ‘අරගලය’ ලෙස හැඳින්වෙන ක්‍රියාකාරීත්වය විවිධ පාර්ශ්වවල බල උවමනාවන් සඳහා කඩේ යවාගැනීමේ ප්‍රයත්නයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වය ද එතරම් කැමැත්තක් නොදක්වන බව අද සවස අරගලකරුවන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර රැස්වීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මෙසේ පැවසීය:

“බලය හදාගන්න කුමන්ත්‍රණ කරන්න සතියක් අරගෙන දැන් අපට ඇවිල්ලා කියනවා රනිල් යයිද දන්නෙ නැහැ අපට මේක බේරල දෙන්න කියලා. මේ ප්‍රශ්නය උඩුදුවන්න දෙන්න එපා. උඹල මොනවහරි කරල ඒ ප්‍රශනය බේරගනිල්ලා. ජන අරගලයම පාවිච්චි කර කර මේක කරන්න හදන්න එපා. පාර්ලිමේන්තුව ඇතුළෙ මොනව හරි කරන්න පුළුවන්නෙ. ඒ නිසා පාර්ලිමේන්තුවෙ ඉන්න කණ්ඩායම් ඔක්කොටම අපි කියනවා තවත් මේ රටේ ජනතාවගෙ විලාපයත්, කඳුළත්, ප්‍රශ්නත් එක්ක සෙල්ලං කරන්න එපා කියලා. ඔයගොල්ලො ඒ ප්‍රශ්නෙ බේරගෙන ඉවරයක් කරන්න.”

මේ පිළිබඳ අපගේ ෆේස්බුක් සටහනට ප්‍රතිචාරයක් දක්වමින් අරගලයේ ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර මෙසේ පැවසීය: “පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඉන්නවා තමයි. ඒත්, ඔහු කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්. ඔහු එතැනට පැමිණියේ කම්කරු අරගල මධ්‍යස්ථානයට ලැබුණු ආරාධනයක් මත. වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ ඉඳිමින් විරෝධතාවල ලොකු දායකත්වයක් කළා. ජුලි 9 ලොකු වැඩක් කළා. ඔහු ‘අපට කියන්න එපා’ කියන එකෙන් අදහස් කළේ පොදුවේ අරගල කරපු අයට කියන්න එපා කියලයි. ඒක කීවේ එතැනදීම අදහස් දක්වමින් ‘රනිල් අස් වෙන්නේ නැති වේවි, ඒ ගැන යමක් කරන්න’ කියා කියපු රවුෆ් හකීම්, ශානක්‍යන් ඇතුළු පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට.”

පෙරේදා කුමාර් ගුනරත්නම් පුවත්පත් සාකච්ඡාවකදී පළකළ පහත දැක්වෙන අදහස සමග සිදුවන්නට යන තත්වය කෙරෙහි සමාජයේ දැඩි අවධානය යොමුවී ඇති බව පෙනේ:

“ජනතාව අතර ගොඩනැගී තියෙන සම්මුතිය තමයි අලුත් නීතිය. නව ජනතාවාදී ව්‍යවස්ථාවකට අදාළ සම්මුතිය ජනතාව අතර තිබෙනවා. කවුරු ආණ්ඩු පත්කරගත්තත් අරගලයේ අපේක්ෂාවන් සමග සම්මුතියකට පැමිණිය යුතුයි. පාර්ලිමේන්තු ක්‍රමයට සමාන්තරව ජන අරගල සභා ක්‍රමයක් පාර්ලිමේන්තුවට පිටතින් ගොඩනැගිය යුතුයි.”

ඔහු වැඩිදුරටත් පහත දැක්වෙන කරුණු ද පැවසීය: “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්විය හැකි, ජාතික ප්‍රශ්නය මුළුමනින්ම විසඳන, අධ්‍යාපන සෞඛ්‍ය අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස සලකන, තේරී පත්වූ නියෝජිතයන් යළි කැඳවීමේ බලය හිමි, ජනතාවට ජනමතවිචාරණ කැඳවිය හැකි නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනතාවට සහන සලසන්න. බදු ක්‍රමය සංශෝධනය කරන්න. ධනවතුන්ගෙන් වැඩියෙන් බදුගන්න. සොරකම් කළ ධනය ආපසු ලබාගන්න. ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න.”

3 thoughts on “කැලේ පැන්න හැමෝටම ආපහු ව්‍යවස්ථාව මතක් වෙයි

  1. පාලකයන් විසින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අර්බුදයට ලක්කර ඇති රටක තරුණ පරපුර විසින් විධායක ජනාධිපතිවරයා අවිහිංසාවාදී මාවතකින් බලයෙන් පහකිරීම ලෝකයට අලුත් අත්දැකීමකි. එය වඩාත් උද්වේගකර වන්නේ ජනතාව ලක්ෂ ගණනින් ගණනින් රටේ අගනුවර කරා පැමිණ පැය තුනකටත් වඩා කෙටි කාලයකදී ජනාධිපති මන්දිරය අල්ලාගත් සිදුවීමක් ඉතිහාසයේ මින් පෙර වාර්තා වී නැති නිසාය.

    අරගලය පැය 3කටත් වඩා අඩු කාලයකදී ජයග්‍රහණය කර ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති නිල නිවෙස වූ අරලියගහ මන්දිරය අත්පත් කරගන්නට අරගලකරුවෝ සමත් වූහ. මේ තත්ත්වය නැවතත් විස්තර කළේ අරගලයේ ඓතිහාසික බව හා ජාත්‍යන්තර වටිනාකම අවධාරණය කරනු පිණිසය.

    කෙසේ වුවද මේ මොහොතේත් රට පාලනය කරන්නේ පැරැණි පාලන තන්ත්‍රය විසිනි. අද 13 වැනිදා ජනාධිපතිවරයා තනතුර අත්හරින බව කථානායක සහ අගමැති විසින් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇති නමුත් ඒවා සියල්ල හුදු ප්‍රකාශ පමණකි. ජනාධිපතිවරයාගේ අස්සන සහිත නිල ප්‍රකාශයක් මේ දක්වා ආණ්ඩුව විසින් එළිදක්වා නැත.

    පසුගිය 9 වැනිදාට පසු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතුරුදන්ව සිටී. අරගලකරුවන් ජනපති මැඳුර සිය ග්‍රහණයට ගත් දින සිට ජනාධිපති ජනතාව ආමන්ත්‍රණය කර නැත. රට අර්බුදකාරී තත්ත්වයක තිබියදී ජනපති කැබිනට් මණ්ඩලය රැස්කර නැත. අතිශය හාස්‍යජනක ලෙස අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ යෝජනා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීම නිසා පක්ෂ නායකයන් විසින් ඒවා ප්‍රතික්ෂේප කර ඇත.

    රටේ මූල්‍ය පරිහානියක් ඇතිකොට පුරවැසියන් පෝලිම්වල මැරී වැටෙන තත්ත්වයට වගකිව යුතු හිටපු අගමැති, හිටපු මුදල් ඇමැති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ඇතුළු පිරිස්වලට රටින් බැහැර වීමට ඉඩ නොදිය යුතු බවට, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එවැනි පසුබිමක මේ ගත වෙමින් තිබෙන්නේ ඉතාමත් තීරණාත්මක අවදානම් සහගත නිමේෂයකි.

    පීඩාවට පත් බහුජන සමූහයාට රජවරු සිංහාසනයෙන් ඇද දැමිය හැකිය. ජනතා බලය අන් කිසිවකට දෙවැනි නොවේ. එහෙත් අයුක්තියට, අසාධාරණයට සහ පීඩාවට එරෙහිව නැඟී සිටි ජනතාවට තමන් ලබාගත් ජයග්‍රහණය මහපොළොව මත ක්‍රියාත්මක කරන්නට නම් අරගලය උදෙසා දැරූ වෙහෙසට නොදෙවැනි වගකීමකින් ජයග්‍රහණය රැක ගත යුතුව තිබේ.

    අරගලය රටේ ජනතාව හැඳින්වූයේ ආදරයේ අරගලය වශයෙනි. එතෙක් මෙතෙක් ලංකාවේ සිදුවූ කිසිදු ජනතා නැඟිටීමකට හෝ හර්තාලයකට මෙවන් ආදරයක් හිමිකර ගත හැකි වූයේ නැත. ඒ බව අරගලකරුවන්ට වඩා හොඳින් දන්නේ රටේ පාලක පක්ෂය වූ රාජපක්ෂ පවුල හා ඔවුන් වටා ගොනු වූ ව්‍යාපාරික පන්තියයි.

    අරගලයේ ජයග්‍රහණය බිඳ දැමීම සඳහා ඇති එකම විකල්පය වන්නේ ජනතාව අරගලය කෙරෙහි බිඳවීමය. මේ දිනවල බලය අහිමි වන පන්තියේ සියලු සාකච්ඡා, කුමන්ත්‍රණ දියත් වන්නේ අරගලය සහ රටේ ජනතාව අතර පැහැදිලි බෙදුම් ඉරක් නිර්මාණය කරනු පිණිසය. බලය පිරිහුණු පාලකයන්ට අවශ්‍ය වන්නේ අරගලය ජනතාවගෙන් හුදෙකලා කරන්නටය. ඒ සඳහා ගනු ලැබූ බොහෝ පියවර පසුගිය දිනවල දක්නට ලැබිණි.

    අරගලයේ පාර්ශ්ව අතර ගැටුම් ඇතිකිරීම, අරගලකරුවන් විසින් ජාතික සම්පත් විනාශ කරන බවට මතයක් ගොඩනැඟීම, අරගලකරුවන් වගකීම් දැරිය නොහැකි පිරිසක් බවට ජනතාවට ඒත්තු ගැන්වීම, ආණ්ඩුවේ සහ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන කණ්ඩායම්වල වුවමනාව වී තිබේ. ඒ සඳහා විවිධ කණ්ඩායම් සංවිධානාත්මකව අරගලකරුවන් අතරට කාන්දු කිරීම දැනටමත් සිදු කර තිබේ. ලද ජයග්‍රහණ යථාර්ථයක් කරන්නට නම් ඉතාමත් දැඩි වගකීමකින් යුතුව ක්‍රියා කරන්නට අරගලයට සිදුවනු ඇත.

    ජනාධිපති මන්දිරයේ භාණ්ඩවලට සිදුවූ හානි සහ හොරකම් පිළිබඳව, අරලියගහ මන්දිරයේ සිදුවූ හානි පිළිබඳව, දිගින් දිගටම වාර්තා කරන්නට ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා උත්සුක වන ඇතැම් ආයතන ක්‍රියාකරමින් සිටී. ආණ්ඩුව ඇති කළ පීඩනය නිසාම ජනතාව සිවුදිගින් මහ සමුදුරක් සේ කොළඹට ගලා ආ අන්දම අපි දුටුවෙමු. බලය අහිමි වූ ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ඒ මහා ගංගාව ආපසු හරවන්නටය. ඒ සඳහා කිසිදු ආකාරයක අත්වැලක් වන්නට අරගලය ඉඩ නොතැබිය යුතුය.

    • පැරා වගේ කුලි ලියන්නන් කරන්නෙත් ඒ දේම තමයි
      තමයි

  2. Manik ge Kalu diya daharehi botaleruwaage puthage sihinaya prathinirmanaya wana bawa mea yugayedi sak sudak se pehedili nowanneada ?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: