Ranil Wickramasinghe and Mangala Samaraweera

අදම කළ යුතු දේ මොකක්ද?

අජිත් පැරකුම් ජයසිංහ

ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දෙන ආණ්ඩුව අසමත් වී තිබෙන තරමේ හැටියට සහ එහි ජනප්‍රියත්වය පිරිහී තිබෙන මට්ටමේ හැටියට ඔවුන් කළ යුතුව තිබෙන්නේ පවුලේ ආරක්ෂාව සඳහා සම්මුතියක් නිර්මාණය කරගැනීමයි.

හදිසි නීතිය, හමුදා යොදා මර්දනය කරන්නට යාම අතිශය අවදානම්ය. හමුදා, පොලිසිවල ද සිටින්නේ මහජනතාවයි. වීදි බැස සිටින්නේ, පෝලිම්වල මියයන්නේ ඔවුන්ගේ පවුල් සාමාජිකයිනුයි.

හමුදා ආණ්ඩු පිහිටුවන්නට යාමෙන් හා ලේ වැගිරීමෙන් සිදුවන්නේ ආණ්ඩුවට සුළු හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් තිබේ නම් එයද නැතිවී රටට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර ආධාර නැතිව යාම හා අන්තිමේදී හමුදා පොලිසිවලට පවා වැටුප් ගෙවාගන්නට බැරි තත්වයට රට පත්වීමයි.

මර්දනය මගින් අරාජිකත්වය තව තවත් වර්ධනය වී සිවිල් යුද තත්වයක් නිර්මාණය වන්නට පවා ඉඩ තිබේ.

ජනාධිපති හා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුය. එය ප්‍රමාද කිරීමෙන් විප්ලවීය තත්වයක් නිර්මාණය වී ඔවුන්ට දැඩි අනාරක්ෂිතභාවයක් ඇතිවිය හැකිය.

මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ස්ථාවර විසඳුමක් නොවේ. ස්ථාවර විසඳුමකට මාර්ගය සකස්කරගැනීමේ පියවරකි.

ශ්‍රී ලංකාවට පිටතින් ඩොලර් බිලියන හතරක, පහක මුදල් ගෙනආ හැකි නායකයකු අවශ්‍යය. බැසිල් රාජපක්ෂ ද එයට මුලපුරා තිබේ. ඒ කොටි සංවිධානයට අනුබද්ධ සංවිධානවල තිබෙන අරමුදල් ගෙන ඒමට ඩයස්පෝරාව සමග සම්මුතියකට පැමිණීමට උත්සාහ කිරීමෙනි. එහිදී එම සංවිධානවල තහනම ඉවත්කිරීම අවශ්‍යය. ශ්‍රී ලංකාවේ තහනම ඉවත්වීමත් සමග විදේශ රටවල ද තහනම ඉවත්වනු ඇත. එතනින් එහාට අප දන්නේ නැත. හොර ඩීල් හැර වෙන දෙයක් බැසිල්ට හරියට කරන්නට පුළුවන්දැයි අප දන්නේ නැත.

රාජපක්ෂ පවුලේ සල්ලි ද රටින් පිට සඟවා තිබෙනවා විය හැකිය. එසේ තිබෙනවා නම්, බැසිල්ලා ඒවා රටට ආපසු ගෙන එනවා නම්, අඩු තරමේ ඔවුන්ට කළ වැරදි වෙනුවෙන් වන්දි ගෙවීමක් හෝ කළ හැකිය. ජනවාරි මාසයේ පියවූ බැඳුම්කර මුදල් ඔවුන්ගේ ව්‍යාජ සමාගම්වල ආයෝජන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කළ ප්‍රකාශයකින් අනුමාන කරගත හැකි විය. එය පිළිබඳ විමර්ශනයක් කළේ නැත. ලංකාවේ මහජන මුදල් සොරකම් කර, පිටරට සඟවා, ඒ මුදල් ලංකාවටම පොළියට දී, මේ රටේ මිනිසුන්ට කන්නට තිබෙන සල්ලිවලින් ආණ්ඩුව ලවා ණය ගෙවාගෙන අධික ලාභයක් ලබාගෙන ඒ මුදලුත් පිටරට සඟවන එවුන්ගේ අධමකමෙහි තරම මිනිය නොහැකිය. මේ මුදල් කවදා හෝ අප ආපසු ලබාගත යුතුය.

ඉන්දියාව යම් යම් උපකාර කර තිබෙනමුත්, ලංකාවට අවශ්‍ය මේ මොහොතේ අවශ්‍ය ඇපය ලබාදෙන්නට අදිමදි කරන බවක් පෙනේ. ඉන්දියාවට අවශ්‍ය නම් එය කරන්නට බැරිකමක් නැත. අදානි වැනි ව්‍යාපාරිකයන් හරහා ලංකාවට විදේශ ආයෝජන පොම්ප කරන්නට බැරිකමක් නැත. ඉන්දියාව එසේ කරන්නේ නැත. රාජපක්ෂලාට ඉන්දියාව එසේ කිරීම සඳහා පොළඹවාගැනීමට බැරිවී තිබේ.

චීනය ද ලංකාවට අත පොවන්නේ අත පුච්චා නොගැනීමට පරිස්සම් වෙමිනි. තම දේශ සීමාවේ පිහිටි රටක් නොවන, ඉන්දියාවේ පාමුල පිහිටි ශ්‍රී ලංකාවට ඔවුන් මැදිහත් වන්නේ ව්‍යාපාරික සීමා තුළ බව පැහැදිලිව පෙනේ. චීනය පස්සෙන් යන සියලුදෙනා ඒ ගැන දැනගෙන සිටිය යුතුය.

ලංකාව ගොඩදමන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්සත් ජාතීන් දුවන්නේ ඇමරිකාව, යුරෝපය වැනි රාජ්‍යයන්ගේ මූල්‍ය ශක්තියෙන් බව අමතක නොකළ යුතුය. ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇපවුවහොත්, මෙම ආර්ථික අර්බුදය කෙටි කලකින් සමනය කරගැනීමට හැකිවනු ඇත. විසඳුම ලෙස දැකිය හැක්කේ එයයි.

එහෙත්, ලංකාවට කොන්දේසි විරහිතව ණය ලැබෙන්නේ නැත. පළමු කොන්දේසිය වන්නේ ණය ගෙවන්නට පුළුවන් ආකාරයට ආර්ථිකය හැඩගස්වාගැනීමයි. ඒ සඳහා ලංකා ආණ්ඩුව ආදායම් වර්ධනය කරගත යුතුය. වියදම් අවම කරගත යුතුය. නිකං කකා සංදර්ශන පවත්වමින් ඉන්න හමුදා හා දේශපාලකයන් ඇතුළු දැවැන්ත රාජ්‍ය අංශයක් නඩත්තු කරමින්, තව තවත් රජයේ රස්සා දෙමින්, නාස්ති කරමින්, දූෂණයේ යෙදෙමින් මේ ක්‍රමය පවත්වාගෙන යන්නට බැරිය. එය වෙනස් කළ යුතුය. සැබෑ විප්ලවය ඇත්තේ එතැනයි.

ඊනියා වාමාංශිකයන්ගේ සමාජවාදී සිහින ව්‍යාජයන් බව දැන් දැන් පැහැදිලි වෙමින් තිබේ. ආණ්ඩු බලය ගන්නට ඔවුන් පසුබට වන්නේ ඒ නිසාය. තමන්ට කරන්නට බැරි බව දන්නා ඔවුන් එය කියන්නේ නැත. ඒ වෙනුවට තව තවත් බොරු කියමින් මහජනයා රවටති.

අර්බුදය ක්ෂණිකව සමනය කළ හැකි නායකයකු යටතේ තාවකාලික ආණ්ඩුවක් පිහිටුවාගත යුතුය. එය භාරකාර ආණ්ඩුවක් වුව ද කම් නැත. සර්ව පක්ෂ වීම එතරම් වැදගත්කමක් නැති වුව ද, එසේ වුව ද කම් නැත. අර්බුදය සමනය කරගත් වහා අලුත් ආණ්ඩුවක් පත්කරගැනීමේ අවස්ථාව මහජනතාවට ලබාදිය යුතුය.

ඡායාරූපයේ සිටින්නේ මෙවැනි අවස්ථාවකදී වැදගත් විය හැකිව සිටි ජාත්‍යන්තර පිළිගැනීමක් තිබුණු නායකයෙකි. එහෙත්, ඔහු දැන් ජීවතුන් අතර නැත. ජීවතුන් අතර සිටින ජාත්‍යන්තර පිළිගැනීම අතින් ඉදිරියෙන් සිටින අනෙකා රනිල්ය. රනිල්ලා මහින්දලා යාළුවො මල්ලි නිසා මේ වෙලාවේ සාමකාමී බල හුවමාරුවකට එයින් මග සැකසේ. විප්ලව කරන්නට අදහසක් නැතිනම්, ජවිපෙ එයට ඉඩදෙන්න. සජිත්ලා, චම්පිකලා, සරත් ෆොන්සේකලා ද තමන්ට බැරි දෙය මේ මොහොතේ කරන්නට පුළුවන් කෙනෙකුට සහාය දිය යුතුය. බල අරගල පසුව කළ හැකිය. තාවකාලික ආණ්ඩුවකින් පසු මැතිවරණවලින් තම තමන්ගේ ඇරියස් පියවාගත හැකිය.