අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

මාලිමාවෙ දේශපාලකයන්ගෙ නම් සමරු ඵලකවල තියෙන එක ගැන සමහරු හිනාවෙනවා. ඔවුන් අතීතයේදී ඒවාට එරෙහිව කතා කළ එකනෙ හේතුව. මේ හිනා වීම් සමගම මේ බොළඳ නායකයොත් කලබල වෙලා. ඔවුන්ගේ අනුගාමිකයන් ඊටත් වඩා කලබල වෙලා. ජනාධිපතිතුමාගෙ සමාජ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මේ ගැන හෑල්ලක් ලියලා තිබුණා, වැඩේ වැරදියි කියලා, ඒක විවේචනය කළාය කියලා සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකුට බැනලා. පුරවැසියන්ට බනින්නට මහජන මුදල්, තනතුරු භාවිතා කරන එක නම් සමරු ඵලක ගහනවාට වඩා දූෂණයක්.

සමරු ඵලක භාවිතාවට ආවෙ ඉතිහාසයේ දිගුවක් විදියට. අතීතයේ පැවති සමරු ඵලක සම්ප්‍රදාය තමයි සෙල්ලිපි කියලා ඔය අපට ඉතිරි වෙලා තියෙන්නෙ. ඒවා වර්තමානයේ අපට හමුවන පුරාවිද්‍යාත්මක සාක්ෂි.

යම් විවෘත කිරීමක් කරපු දිනය, විවෘත කළේ කාගෙ අතින්ද කියන කරුණු වගේම, එම විවෘත කිරීමට ලක්වුණ ඉදිකිරීමට මුල් වූ පුද්ගලයන්ගේ නම්, ඒ හා සම්බන්ධ තීරණ ගත් ආකාරය පවා සමරු ඵලකයේ ඇතුළත් වීම වරදක් නෙමෙයි. ඒකට හේතුව, යම් කාලයකදී ඒවා පුරාවිද්‍යාත්මක සාක්ෂි බවට පත්වන නිසා.

පසුගිය කාලයේ ඇතැම් දේශපාලනඥයන්, බලෙන් ඉතිහාසගත වීම සඳහා මේ පොදු සම්පත් අපහරණය කළා. අතීතයේදීත් සමහර විට එහෙම වෙන්න ඇති.

සමරු ඵලකවල අපේ නම් දාන්නෙ නැහැ වගේ මෝඩ ප්‍රතිපත්ති අනුගමනය කරන්නට යන්න එපා. දේශපාලකයන් වුණාම ජනප්‍රිය ගොබ්බ අදහස්වලින් පොඩ්ඩක් එහාට හිතන්නට පුරුදු වෙන්න.

හැත්තෑ ගණන්වල සමගි පෙරමුණු කාලෙ හදපු කලවැල්ලාව පාලමේ පිංතූරෙකුත් මෙතන තියෙනවා. ඒකෙන් අපට ප්‍රයෝජනයක් තියෙනවද කල්පනා කරන්න. ඔය පාලම විවෘත කළේ කවදාද, කවුරුද, ඒක හැදුණෙ කොහොමද වගේ විස්තර ඔතන තිබුණ නම් හොයාගන්නට හරි ලේසියි නේද? දැන් ඒවා හොයාගන්න ලේසියෙන් පුළුවන්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *