අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk
මේ දැන්වීමේ පරිවර්තක කියන වචනය ලියල තියෙන විධිය වැරදියි. රජය දැන් අවුරුදු පතා දිවුරුම් දුන් භාෂා පර්වර්තක විභාග පවත්වනවා. ඒත්, මේ වන විට කෘත්‍රිම බුද්ධිය නිසා පරිවර්තක කාර්යය ඉතාම සීමිත වෙලා. ඒ සීමිත කොටසේ තියෙන්නෙ විශාල ද්වි හෝ බහු භාෂා අධ්‍යයනයක හා පරිචයක අවශ්‍යතාව. එය ලබා ගන්නට අඛණ්ඩව උත්සාහ කළ යුතුයි. කෘත්‍රිම බුද්ධිය පවා හරියට භාවිතා නො කළොත්, අප අතින් භාෂාව විකෘති වෙනවා.

පරිවර්තන වෙළඳපොළේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන NGOවලට පරිවර්තනවල හෝ තමන්ගේ ලියවිලිවල ගුණාත්මක බව අවශ්‍ය වෙන්නේ ව්‍යාපෘති අරමුදල් වියදම් කිරීමේ ස්වභාවය අනුවයි. බහුතරය වන ගුණාත්මක භාවය අදාළ නැති පිරිස ඒ වැඩේට දැන් වියදම් කරන්නට කැමති නැහැ.
ඒ නිසා රජය පැටවුන් ගස්වා බෝ කරන මේ දිවුරුම් දුන් භාෂා පරිවර්තකවරුන්ට තියෙන ඉල්ලුම අවමයි.
සහතික කිරීමේ අත්සන අවශ්‍ය නීතිමය ලේඛනවලට යම් ඉල්ලුමක් තිබෙනවා. ඒත්, ඒ සමග තිබෙන නීතිමය බැඳීම් නිසා උසාවි යන්නට පවා සිදු වෙන්නට පුළුවන්. ඔප්පු, ගිවිසුම්, විවාහ, මිය ගිය අය සම්බන්ධ ලේඛන ආදිය මෙහිදී විශේෂයි. අකුරක් නෑර ඉතා පරීක්ෂාවෙන් කළ යුතු වැඩක්. ලැබෙන සුළු මුදලට ගන්නා වූ අවදානම ගැන බොහෝ පරිවර්තකයන්ට පුහුණුවක්, දැනුමක්, අවබෝධයක් නැහැ. ඒ ගැන කොහෙත්ම නො දන්නා සේවා ලබා ගන්නා අය හිතන්නේ ගාන වැඩියි කියලායි.
මෑත දවසක අප ළඟට ආ ගනුදෙනුකාරියකගේ සහෝදරයාට කොරියාවේ බැංකුවක අත්හිටුවා ඇති ගිනුම යළි සක්‍රිය කර ගන්නට පරිවර්තන වගයක් අවශ්‍ය වුණා. ඔහු බැංකුවේ සිටිද්දීම අපි එය කර යැව්වා. පැය කීපයකින් ප්රශ්නය විසඳා දුන්නා, ලංකාවේ රජයේ අනුමත ගාස්තුවට. සල්ලිවලට වඩා කෙනෙකුට උදව් කිරීමේ සතුටට. හැබැයි, අපේ පරිස්සම තියාගෙන. බැලුවාම මෙහෙයුම ජාත්යන්තරයි.
මං දැන් අවුරුදු විස්සක් දිවුරුම් දුන් භාෂා පරිවර්තක. අවුරුදු අටක් Creative Content Consultants කියන අන්තර්ගත නිර්මාණ නියෝජිතායතනය පවත්වාගෙන යනවා. නො කළ ලිවීමක් නැති තරම්. Kathandara Bookshop හා ප්‍රකාශන ආයතනය සහ භාෂා පරිවර්තන කාර්යාලයක් අවුරුදු හතරක් තිස්සේ මතුගම නගරයේ පවත්වාගෙන යනවා.
මේ රැකියාවේ අභියෝග දවසින් වැඩි වෙනවා. තව අවුරුදු පහක්වත් වැඩ කළ යුතු නිසා තවමත් දිනපතාම ඉගෙන ගන්නවා.
පරිවර්තන කරන කාට හරි වැදගත් වෙන්නට පුළුවන් නිසායි මේ අදහස බෙදා ගත්තෙ











