– අජිත් පැරකුම් ජයසිංහ,

ඉහත දැක්වෙන්නේ විමලරත්න කුමාරගමගේ අයියනායක කවියේ දැක්වෙන කවි පදයකි. ඡායාරූපයේ සිටින්නේ ආබාධිත, විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. ඊයේ අධිකරණයේදී යකඩ පටි එල්ලා ගත් පුද්ගලයකු ලෙස දිලීප පීරිස් විසින් හඳුන්වනු ලැබුවේ ඔහු ය.

යුද්ධයේදී මා ඇතුළු එවකට වාමාංශික අදහස් දැරූ බොහෝ අය සිටියේ යුද්ධයට විරුද්ධව ය. ඇතැමෙකු වක්‍රව හෝ ඍජුව කොටින්ගේ පාර්ශ්වයට පක්ෂ වූහ. යුද විරෝධය කොටින් විසින් තම වාසියට පාවිච්චි කරන ලදි.

එවකට ජවිපෙ සිටියේ යුද්ධයට පක්ෂව, ශ්‍රී ලංකාවට සහ සිංහල ජනතාවට පක්ෂපාතී ස්ථාවරයක ය.

අප එදත්, අදත් නියෝජනය කරන්නේ යුද්ධයේ පරාජිත සාමයේ පාර්ශ්වයයි. එහෙත්, අප කිසි දාක යුද ජයග්‍රහණයට හෝ යුද්ධය වෙනුවෙන් ජීවිත කැප කළ අයට අවමන් කර නැත. යුද්ධය දෙපාර්ශ්වයම කැමැත්තෙන් තෝරා ගත් තීරණයක් වන අතර, දෙපාර්ශ්වයේම බහුතර ජනතාව එයට සහයෝගය දුන්හ. අප වැනි කිසිවකුට සහයෝගය නො දුන් අය සිටියේ අල්පයකි.

අවසානයේදී වඩා බලවත් හා දක්ෂ පාර්ශ්වය වූ ශ්‍රී ලංකා රාජ්‍ය හමුදාවේ පාර්ශ්වය ජය ගත්තේය. එයින් ශ්‍රී ලංකා රාජ්‍යය තිරසර වූ අතර, ඊලාම්වාදය පරාජය විය. සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳ ගැටලු තිබුණ ද සාමය ස්ථාපිත විය. සරලව කීවොත්, 2009ට පෙර පැවති තැන තැන නිරතුරු බෝම්බ හා වෙඩි තැබීම් සිදු වන තත්වයක් ඉන් පසු පැවතුණේ නැත.

ඒ වෙනුවෙන් ජීවිත කැප කළ මිනිසුන්ට අප ගරු කළ යුතුය. මැරුණ අය නිකම්ම ඩෙඩ් බොඩීස් හෝ ජීවත් වන තුවාල ලද අය නිකම්ම ආබාධිතයන් වන්නේ නැත. ඔවුහු ශ්‍රී ලංකාව නම් උරුමයේ වැදගත් පාර්ශ්වකරුවෝය.

ඔවුන් සාඩම්බරයෙන් පළඳින පදක්කම් නිකම් යකඩ කෑලි නොව, රටක ඉතිහාසයේ වැදගත් සංකේත ය.

තවමත් නිර්භයව කොටින් නියෝජනය කරන අර්චුනා මන්ත්‍රීවරයාගෙන් ඉගෙන ගන්න. ඔහු කිසිදාක සෙබළුන්ට අගෞරව කරන්නේ නැත.

මෙය සිංහල ජනතාවගේ ඉතිහාසයේ දුෂ්කරම අවධියකි. සැඟවී සිටි කොටි වැලි මීයෝ විවිධ ස්වරූපයෙන් රඟති. බහුතර සිංහලයන් එය කෙතරම් දුරට අවබෝධ කරගෙන සිටී ද යන්න අපැහැදිලිය. ශ්‍රී ලංකා රාජ්‍යය මේ මොහොතේ එහි සිංහල මූලිකත්වය අහිමි කරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *