COVID-19 and journalists

කීර්ති වර්ණකුලසූරිය වැරදිකරුවෙක්ද?

අජිත් පැරකුම් ජයසිංහ

කීර්ති වර්ණකුලසූරිය සම්බන්ධයෙන් මේ වන විට පැතිරෙන වාර්තා අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ය. එක් වාර්තාවක් උපුටා දක්වමින් මාධ්‍ය සංවිධාන නායකයකු වන සුනන්ද දේශප්‍රිය මෙසේ පවසයි:

ඉඳල හිටල හොඳ නිව්ස් එකක් එනවා! කොවිඩ් ආසාදනයට ලක්ව කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර පිණිස ඇතුළත් කර සිටියදී පැන ගිය දිවයින පුවත්පතේ ආරක්ෂක ලියුම්කරු ලෙස කටයුතු කරන කීර්ති වර්ණකුලුසූරිය නමැත්තා අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි. අන්ත ජාතිවාදී ස්ථාවරයක සිටිමින් සහ අසත්‍ය මෙන්ම නොමග යවන සුලු ප්‍රවෘත්තිද පළ කරන බවට සමාජයේ කථාබහට ලක්ව සිටින කීර්ති වර්ණකුලසූරිය රෝහලෙන් පැන ගිය පසු ඔහු සොයා පොලිස් මෙහෙයුම් දියත් විය.රෝහලෙන් පලා ගිය කීර්ති වර්ණකුලසූරිය ඔහුගේ නිවසට ගොස් දොර ජනෙල් වසාගෙන සැඟව සිටි අතර දුරකතනයේ රැහැන් ඉවත් කර තිබූ නිසා ඔහු ඇමතීමට නොහැකිව පොලීසියට සිදු වූයේ තාප්පයෙන් ඉණිමං තබා පැන වහලයේ උළු ඉවත් කර නිවෙසට ඇතුළු වී ඔහු අල්ලා ගැනීමටයි.

අදාළ ප්‍රවෘත්තිය මෙතැනින්

තවත් ප්‍රවෘත්තියක් මෙතැනින්

කීර්ති වර්ණකුලසූරියගේ මාධ්‍ය භාවිතාව අප ඇති තරම් විවේචනය කර තිබේ. යුද සමයේ සිංහල ජාතිවාදය හා යුදවාදය ඇවිලවීම සඳහා කටයුතු කළ ලියන්නකු වන කීර්ති කිසි සේත්ම බුද්ධිමතකු නොවේ. ඔහුගේ ඉංග්‍රීසි නොදැනුම නිසා ඔහු හාස්‍යයට ලක්විය. එවැනි අයකුට කීර්තිමත් සිංහල පුවත්පතක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වන්නට ලැබීම ලංකාවේ ජනමාධ්‍ය පද්ධතිය සම්බන්ධ ගැටලුවකි. ජනමාධ්‍ය සංවිධාන නායකයකු වන සුනන්ද දේශප්‍රිය ද එයට වගකිව යුතුය. ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන මාධ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් මෙතක් සිදුකළ ව්‍යාපෘති සාර්ථකද? කීර්ති වර්ණකුලසූරියගේ චර්යාව මෙන්ම සුනන්ද දේශප්‍රියගේ මෙම සටහන ද ප්‍රශ්නකාරීය.

කෙසේ වෙතත්, කීර්ති වර්ණකුලසූරිය නම් මාධ්‍යකරුවා මේ මොහොතේ වැදගත් නැත. ඔහු කොවිඩ්-19 ආසාදිතයෙකි. මේ වන විට කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් රෝහල් වාට්ටු පිරී ඉතිරී ඇත. රෝගියකුට රෝහලක අවම පහසුකම්වත් සම්පාදනය කිරීමට බැරි තත්වයක් යටතේ එම රෝගියාට පිටව යන්නට විධිමත් ක්‍රමයක් නොමැති නම්, එම රෝගියා තවදුරටත් රෝගියකු නොව, බලහත්කාරයෙන් රඳවා තබාගන්නා සිරකරුවෙකි. එහෙත්, නිරෝධායන රෙගුලාසි යටතේ මෙම සිරකරුවා නිදහස් කිරීමේ හැකියාවක් රෝහල්වලට නැත.

අධික තදබදය හේතුවෙන් රෝහල් විසින් සුවපත් වන සෑම රෝගියකුම අතරමැදි මධ්‍යස්ථානයකට යැවීමට කටයුතු කරන බව අප මේ පිළිබඳ කළ සොයාබැලීමකදී දැනගත හැකි විය. එහෙත්, ඒ සඳහා ගිලන් රථ ප්‍රමාණවත් නැත. රෝහල් වාට්ටු පිරී ඉතිරී යන්නට එක් හේතුවක් වන්නේ එයයි. කොවිඩ් රෝගීන්ට පෞද්ගලික වාහනයක් තිබේ නම්, රෝහලෙන් අවසර ගෙන එය ගෙන්වාගෙන ගෙදරට යාමට පවා පුළුවන. එහෙත්, ඔවුන්ට මේ වන විට ත්‍රිරෝද රියක්වත් කුලියට ගන්නට බැරිය. කොවිඩ් ආසාදිතයකු ප්‍රවාහනය කරන කවුරු වුණත්, පළමු පෙළ ආශ්‍රිතයකු වන නිසා දින 14ක නිරෝධායනයට ලක්කළ යුතුය.

අප දන්නා තරමින් කීර්ති වර්ණකුලසූරිය මුහුණදෙන්නේ මෙවැනි තත්වයකටයි. ඔහුගේ රෝහලින් පළායාම අද පවතින තත්වය තුළ කිසිදු වැදගත්කමක් නැති දෙයකි. ඔහු නිවසට ගිය අන්දම සොයා බැලීමෙහි පවා දැන් වැදගත්කමක් නැත. ඔහු නිවසට ගොස් තිබෙන බව තහවුරු කරගත්තා නම් ප්‍රමාණවත්ය. එය තහවුරු කරගන්නට පොලිසිය වහලෙන් නිවසට බැස තිබේ. ඇතැම්විට පොලිසියේ කිහිපදෙනෙකු ද සමීප ආශ්‍රිතයන් බවට පත්වන්නට ඇත. ඔවුන් ද නිරෝධායනය කළාද? ඇතැම්විට මෙතන මාධ්‍ය කැමරා සංදර්ශනයක් ක්‍රියාත්මක වන්නටත් ඇත. පොලිසියට මෙන්ම මාධ්‍යවලට ද මෙවැනි කාලයක මීට වඩා වැදගත් වැඩ තිබිය යුතුය.

මේ වන විට රජය වේගයෙන් එන්නත්කරණය සිදුකරයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල කාර්ය මණ්ඩලවලට එන්නත ලබාදීම හැර වෙනත් කළ හැකි දෙයක් නැත. එන්නත් පෝලිම් ඉතා අවිධිමත්ය. මේ දිනවල කොරෝනා පැතිරෙන ප්‍රධාන ආකාරය එන්නත් පෝලිම් විය හැකිය. ඒවායේ මීටරේ පරතරේ තියන්නට ගියොත් කවුරුහරි ඇවිත් සක්ක ගහනවාය. ඒවා බලන්නට පොලිස් නිලධාරියකු යොදන්නට බැරි තරම් පොලිසිය කාර්ය බහුලය. එහෙත්, මාධ්‍යවලට ආතල් දෙන්නට නම් පොලිසියට වෙලාව ඇත

කොවිඩ්-19 රෝගීන්ගේ නම් ගම් සහිතව සඳහන් කරමින්, ඔවුන්ට රෝගය වැළඳුණු ආකාරය ගැන උපකල්පන පවා කරමින් ආණ්ඩුව හා රජයේ නිලධාරින් විසින් මෙන්ම මාධ්‍ය විසින් ද කරනු ලබන ප්‍රචාරයන් ඉතාම නින්දිතය. එසේම, එය මානව හිමිකම් හා පෞද්ගලිකත්වය සම්බන්ධ රෝගී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එනයින් බැලූ කල මෙම සටහන පවා ගැටලුසහගත විය හැකිය. එහෙත්, අප කරන්නේ මේ වන විටත් කර තිබෙන වාර්තාකරණයක ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමයි. කොවිඩ්-19 වාර්තාකරණය සම්බන්ධ ගැටලු පිළිබඳ සංවාදයකින් තොරව එම ගැටලු විසඳාගත නොහැකිය.

කීර්ති වර්ණකුලසූරිය යනු කිසිදු කලෙක වගකීම් සහගත පුරවැසියකු වූයේ නැත. ඔහු වනාහි වගකීම් විරහිත පුරවැසිභාවයේ සංකේතයකි. යුද සමයේ එවැනි අයට සමාජයේ වීරයන් වන්නටත්, බලය ගොඩනගාගන්නටත් හැකි විය. කොවිඩ්-19 සමයේ මෙම මාධ්‍යවේදීන් විසින් කරනු ලැබුවේ ද යුද සමයේ ඔවුන් විසින් කරන ලද කාර්යයමයි. තමන් විසින්ම කපන ලද වලවල තමන්ම වැටීම කොවිඩ්-19 වසංගතය සමග දැකිය හැකි තත්වයකි.

නිරෝධායන නීති කීර්ති වර්ණකුලසූරියට එරෙහිව ක්‍රියාත්මක වෙනවාද යන්න සොයාබැලිය යුතුය. එහෙත්, මෙය ද කිව යුතුය. පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සිටින්නේ මහජනතාවට උපකාර කිරීමට මිස මර්දනයට නොවන බව ද මතක් කර දිය යුතුය. කොවිඩ්-19 ආසාදිතයකු යනු වැරදිකරුවකු හෝ සැකකරුවකු හෝ නොවේ. රෝගය සම්බන්ධයෙන් සමාජයේ නිර්මාණය කර තිබෙන අපකීර්තිය හේතුවෙන් ඔවුහු දැඩි මානසික ආතතියකට ද මුහුණදෙති. එවැනි පසුබිමක් තුළ මෙවැනි දේ සිදුවිය හැකිය.

කීර්ති වර්ණකුලසූරියගෙන් ඇරියස් පියවාගැනීමට වඩා පවතින තත්වය ගැන නැවත සලකාබැලීමට මෙම සිද්ධිය උපයෝගී කරගත යුතුය. ශ්‍රී ලංකා රජය තවමත් කොරෝනා ප්‍රජා ව්‍යාප්තියක් සිදු වී ඇති බව පිළිගන්නේ නැත. එහෙත්, එවැනි ප්‍රජා ව්‍යාප්තියක් සිදුවී තිබෙන බව නිගමනය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබේ. රජය කරන්නේ තොරතුරු වසන් කිරීමකි. ජනතාව රැවටීමකි.

කොවිඩ්-19 මේ වන විට ප්‍රජාව තුළ දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති බව අපේ මතයයි. ඒ අනුව, රෝග ලක්ෂණ අවම හා නැති රෝගීන් දහස් ගණනින් අප අතර සැරිසරනු ලැබේ. ඔවුන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ ප්‍රමාණවත් අන්දමින් කරන්නේ නැත. එපමණක් නොව, හඳුනාගනු ලබන රෝගීන් නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද නැත. මේ වන විට නිරෝධායනය සිදුවන්නේ බොහෝ දුරට ස්වේච්ඡා මට්ටමෙනි.

අපට තේරෙන අන්දමින් නම්, කොවිඩ්-19 සම්බන්ධයෙන් කරනු ලබන බොහෝ ක්‍රියාමාර්ගවල මේ වන විට තේරුමක් නැත. එය හෙම්බිරිස්සාව තරමට පැතිර ගොස් හමාරය. වැඩිදෙනෙකුට එය හෙම්බිරිස්සාවට වැඩි දෙයක් නොවේ. එහෙත්, බහුවිධ රෝගාබාධ ඇති අය හා වැඩිහිටියන් හට එය අවදානම්ය.

මෙහිදී රජය විසින් අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තිය නිවැරදි බව අපේ හැඟීමයි. එනම්, එන්නත්කරණය වේගවත් කිරීම හා රට වැසීමේ ක්‍රියාමාර්ග අවම කිරීමයි. එන්නත්කරණය හා රෝගය වැළඳී සුවපත් වීම යන ක්‍රම දෙකින්ම සමාජය තුළ සමූහ ප්‍රතිශක්තිය ගොඩනැගෙමින් තිබේ. අප පසුකරමින් සිටින්නේ දුෂ්කර අවධියකි. එහෙත්, මේ අඳුරු උමග කෙළවර ආලෝකය හමුවනු ඇත.

කීර්ති වර්ණකුලසූරියලා සේ පිස්සු නොකෙළිමු.

පහත දැක්වෙන ලිපිත් කියවන්න.

ඡායාරූපයට ස්තුතිය මෙතැනට

කොවිඩ් රෝගීන් පාර්ලිමේන්තුවේදී පවා අපකීර්තියට ලක්කිරීම

කොවිඩ්-19 රෝගීන් වැරදිකරුවන් කරන ක්‍රියා වහා නවත්වනු!

කොවිඩ්-19ට වඩා භයානක ඒ පිළිබඳ ඇති සමාජ අපවාදය