Logu Thrasthawadaya

අජිත් පැරකුම් ජයසිංහ

හිරු කණ්ඩායමේ වැඩ කරන සමයේ පවා ඇතැමෙක් මා හඳුන්වනු ලැබුවේ ‘ජාතිවාදියකු’ ලෙසිනි. එහෙත්, එදාත් මගේ දේශපාලන කියවීම වූයේ අතිශය පැහැදිලි එකකි. එනම්, සිංහලයන් වන අප දේශපාලනිකව වැඩ කළ යුත්තේ ‘දෙමළ විමුක්ති අරගලය’ වෙනුවෙන් නො ව, එකී දෙමළ විමුක්ති අරගලය හමුවේ ‘සිංහලයන්ගේ වගකීම’ කුමක් ද යන්න සම්බන්ධයෙන් බවය. මේ දයලෙක්තික (Dialectical) දැක්ම මත පිහිටා, නව සිංහල ජාතිකවාදයක් පිළිබඳ කතිකාවතක් ගොඩනැඟීම සඳහා මම හිරු පුවත්පතට ‘නව සිංහලය’ නමින් කොලමක් ද රචනා කළෙමි.

Creative Content Consultants
For all content creations, translations, editing, proofreading and typesetting in Sinhala, English and Tamil, call 077 1229191/ 077 1734470 / [email protected] / www.praja.lk/content-lanka/

එම වකවානුව වන විට දෙමළ ඊලාම් අරගලය යනු අතිශය ශක්තිමත් ව්‍යාපාරයකි. මගේ උත්සාහය වූයේ ඔවුන් සමඟ සම්මුතියකට එමින් බලය බෙදීමේ විසඳුමක් කරා යාමටත්, ඒ ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමටත්ය. එහෙත්, දකුණේ සිංහල සමාජයට මෙන්ම, උතුරු-නැඟෙනහිර දෙමළ සමාජයට ද ඒ මොහොතේ සම්මුතියකට වඩා අවශ්‍ය වූයේ යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමටයි. අවසානයේදී ඓතිහාසික බලවේගවල ගැටුම කෙළවර වූයේ සිංහල පාර්ශ්වය යුද්ධය ජය ගැනීමෙනි.

සිංහල පාර්ශ්වය යුද්ධය ජය ගැනීම යනු, හුදෙක් ඊළම පරාජය කිරීමක් පමණක් නො ව, ‘ශ්‍රී ලංකා රාජ්‍යය’ නැවත තහවුරු වීමකි. එහෙත්, මෙහිදී අප ‘ශ්‍රී ලංකාව යනු කුමක් ද?’ කියා යළිත් විමසා බැලිය යුතුය. එය වනාහි 1948දී නිදහස ලැබූ ලංකාව, 1956 පෙරළිය සහ 1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා හැඩගැසුණු, 1987 ඉන්දියානු ආක්‍රමණය හමුවේ බලහත්කාරයෙන් පටවන ලද 13 වැනි ව්‍යවස්ථාවෙන් යම් පමණකට තනුක වුණු ‘සිංහල-බෞද්ධ මූලික රාජ්‍යයකි’. වඩාත් ගැඹුරින් විග්‍රහ කරන්නේ නම්, එය සිංහල-බෞද්ධ-ගොවිගම-විෂම ලිංගික පිරිමි ප්‍රභූ මූලිකත්වයෙන් යුත් රාජ්‍යයකි. ශ්‍රී ලංකාව යනු එයයි.

යුද ජයග්‍රහණයෙන් පසු, මෙම රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ ඓතිහාසික හැකියාව පැවතුණේ සිංහල ප්‍රභූන්ටය. එහෙත්, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ප්‍රභූ නායකත්වය උත්සාහ කළේ රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් නො කර, ආර්ථික සංවර්ධනය ඔස්සේ සුළුතර ජාතිවාදය දිය කර හැරීමටයි.

මෙය අසාර්ථක වූවා යැයි කෙනකුට තර්ක කළ හැකිය. එහෙත්, වෙනම රාජ්‍යයක් නොනිල අන්දමින් පවත්වාගෙන ගිය දෙමළ ඊලාම්වාදීන්ට අද අත් වී තිබෙන දේශපාලනික අසරණ ඉරණම දෙස අප බැලිය යුතුය. එසේම, ඕලුවිල් ප්‍රකාශය ඔස්සේ දියුණු බලය බෙදීමක් දේශපාලනිකව අපේක්ෂා කළ මුස්ලිම් ප්‍රජාව ‘ඊබ්‍රාහිම්කරණය’ (සහරාන්ලාගේ අන්තවාදී ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් බවට පත් වීම) ඔස්සේ අද අත් කරගෙන තිබෙන පරාජය දෙස ද බැලිය යුතුය. මේ තත්ත්වයන් නිරීක්ෂණය කරන විට, රාජපක්ෂ උපායමාර්ගය මුළුමනින්ම වැරදි ද යන ප්‍රශ්නය මතු වේ.

මේ සියල්ල එසේ වෙද්දී, 2015 ‘යහපාලනය’ තුළින් ශ්‍රී ලංකා රාජ්‍යයේ මෝරා යන්නට පටන් ගත් අරාජිකවාදය, 2019 පාස්කු ප්‍රහාරය, 2022 ආර්ථික බංකොලොත්භාවය සහ 2024 ජවිපෙ ජයග්‍රහණය ඔස්සේ මේ වන විට රාජ්‍ය දේහය පුරාම උඩු දුවා ඇත.

මෙහිදී 2022 ‘අරගලය’ අතිශය තීරණාත්මක සන්ධිස්ථානයකි. එයින් පාර්ශ්ව දෙකක් ඉතා බලවත් විය. ඉන් එකක් නම්, ජනතා විමුක්ති පෙරමුණේ ‘වාම රාජ්‍ය බලවාදයයි’. එනම්, කුමන හෝ ආකාරයකින් තම වාම කල්ලිය අතට බලය ගැනීමේ හා රඳවා ගැනීමේ ඒකාධිපතිවාදයයි. අනෙක් පාර්ශ්වය නම් ‘අරාජිකවාදයයි’. අරාජිකවාදය යනු පවතින රාජ්‍ය ව්‍යුහය, ආයතන පද්ධතිය සහ නීතිය කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය මුළුමනින්ම බිඳ දමා, කිසිදු අධිකාරියක් නො පිළිගන්නා, පාලනය කළ නොහැකි අවුල් ජාලයක් නිර්මාණය කිරීමයි.

අද වන විට මෙම ශ්‍රී ලංකාව අරාජික කිරීමේ ව්‍යාපෘතියේ නායකත්වය ඉතා පැහැදිලිවම හඳුනා ගත හැකිය. ඒ වනාහි ‘මැල්කම්’ය. අපට දේශපාලන න්‍යායක් ලෙස මෙය මැල්කම්ගේ ‘ලෝගු ත්‍රස්තවාදය’ ලෙස අර්ථකථනය කළ හැකිය.

සාම්ප්‍රදායික කිතුනුවා සහ ලෝගු ත්‍රස්තවාදියා වෙන් කර හඳුනා ගැනීම

කිසිදු ආකාරයක ආගමික වෛරයක් හෝ අගතියක් මෙහි නැත. මන්ද, ‘ලෝගු ත්‍රස්තවාදය’ යනු කිසිසේත්ම ලාංකේය සාම්ප්‍රදායික කිතුනු ප්‍රජාව හෝ ක්‍රිස්තියානි දහම නියෝජනය කරන්නක් නො වන බැවිනි. සාම්ප්‍රදායික කිතුනු ප්‍රජාව යනු ඉතිහාසය මුළුල්ලේම මෙරට බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් භක්තිකයන් සමඟ අතිශය සාමකාමීව, අන්‍යෝන්‍ය ගෞරවයෙන් සහ සහජීවනයෙන් ජීවත් වූ ශ්‍රේෂ්ඨ පුරවැසි කොට්ඨාසයකි. ඔවුහු අපගේ සමාජ දේහයේ අභිමානවත් කොටස්කරුවෝ වෙති. ඔවුන් ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැඟීමට මිස දිය කර දමා අරාජිකත්වය ගොඩනැඟීමට කටයුතු කර නැත.

එහෙත් ‘ලෝගු ත්‍රස්තවාදය’ යනු පූජක ලෝගුවට මුවා වී ක්‍රියාත්මක වන පැහැදිලි දේශපාලන ව්‍යාපෘතියකි. ඔවුන් දෘෂ්ටිවාදීමය වශයෙන් පෙනී සිටින්නේ යළිත් මේ රට ‘පුරුතුගීසිකරණය’ (Portuguese-ization) කිරීමක් හෙවත් ඓතිහාසික ආගමික බලහත්කාරයක් වෙනුවෙනි. එහෙත් 21 වැනි සියවසේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය තුළ එවැනි සෘජු ආධිපත්‍යයක් ගොඩනැඟීම ප්‍රායෝගික නො වන බව ඔවුහු දනිති. එබැවින් ඔවුන්ගේ විකල්ප උපායමාර්ගය වන්නේ, ශ්‍රී ලංකා රාජ්‍යය අරාජික කිරීමේ විභවය සහිත සියලුම සුළුතර ජාතික, ආගමික සහ ලිංගික අන්තවාදීන් තම දේශපාලන කුඩය යටතට ගොනු කිරීමයි. සැබැවින්ම මෙම ව්‍යාපෘතිය නියෝජනය කරන්නේ ශ්‍රී ලාංකීය කිතුනුවාගේ හෘද සාක්ෂිය නො ව, රාජ්‍යය දුර්වල කිරීමට මාන බලන ජාත්‍යන්තර උවමනාවන්ගේ ඩොලර් ව්‍යාපෘතීන්ය.

සතුරා පරිකල්පනය කිරීමේ අවශ්‍යතාව

මෙම ලෝගු ත්‍රස්තවාදය අප දේශපාලනික වශයෙන් දෘෂ්ටිවාදීමය ගැටුමකට ලක් කොට, පරාජය කළ යුත්තේ ඇයි? ජර්මානු දාර්ශනික කාල් ෂ්මිට් (Carl Schmitt) පෙන්වා දුන් පරිදි දේශපාලනයේ හරය රඳා පවතින්නේ මිතුරා සහ සතුරා අතර ඇති බෙදුම් රේඛාව මතය. “දේශපාලනික ක්‍රියාවන් සහ අභිලාෂයන් ඌනනය කළ හැකි එනම් ගොනු කළ හැකි නිශ්චිත දේශපාලනික බෙදුම් රේඛාව වන්නේ මිතුරා සහ සතුරා අතර වන බෙදීමයි.” ෂ්මිට් පෙන්වා දෙන්නේ දේශපාලනික සතුරා යනු අප පෞද්ගලිකව වෛර කරන පුද්ගලයකු (Private enemy / ලතින් බසින් inimicus) නො වන බවයි. දේශපාලනික සතුරා යනු ‘පොදු සතුරෙකි’ (Public enemy / hostis). එනම්, ඔබගේ සාමූහික අනන්‍යතාවට (ජාතියකට, ආගමකට, හෝ දේශපාලන ව්‍යාපාරයකට) තර්ජනයක් වන වෙනත් සාමූහික කණ්ඩායමකි. ඔබ පෞද්ගලිකව එම කණ්ඩායමේ සාමාජිකයන්ට වෛර නො කළත්, දේශපාලනික වශයෙන් ඔවුහු ඔබේ සතුරන් වෙති.

ප්‍රභාකරන්ගෙන් පසු සිංහලයන්ට දේශපාලනිකව අභියෝග කළ හැකි බලවත් (formidable) සතුරකු හමු වූයේ නැත. දශක ගණනාවක් පුරා සිංහල ජාතිකවාදය හැඩගැසුණේත්, පෝෂණය වූයේත් ප්‍රබල සතුරකුට එරෙහිව කළ අරගලය තුළිනි. එවැන්නකු නොමැති වීම, සිංහල සමාජය නිද්‍රාශීලී වීමටත්, අරමුණක් නොමැතිව තමන් තුළම ගැටෙමින් ඛණ්ඩනය වීමටත් ප්‍රධාන හේතුවක් විය.

ෂ්මිට්ට අනුව සමාජය තුළ ආර්ථික, සදාචාරාත්මක, සහ සෞන්දර්යාත්මක වැනි විවිධ බෙදීම් ඇත. (උදා: ආර්ථික වශයෙන් ලාභය සහ පාඩුව, සදාචාරාත්මක වශයෙන් හොඳ සහ නරක). නමුත් ‘දේශපාලනය’ ආරම්භ වන්නේ යම් කණ්ඩායමක් “අප” (මිතුරන්) සහ “ඔවුන්” (සතුරන්) ලෙස ධ්‍රැවීකරණය වන මොහොතේදීය. සමාජයක් තුළ පැහැදිලි සතුරකු නිර්මාණය වී නොමැති නම්, එහි දේශපාලනයක් ද ක්‍රියාත්මක නොවේ. ඇත්තේ හුදු පරිපාලනයක් පමණි.

සතුරා ලෙස අර්ථකථනය වන්නේ අන් කවරකුවත් නො ව, තම කණ්ඩායමේ භෞතික සහ සංස්කෘතික පැවැත්මට (Existence) තර්ජනයක් එල්ල කළ හැකි සහ තමන්ගේ ජීවන ක්‍රමය වෙනස් කිරීමට බලපෑම් කළ හැකි ‘අන්‍යයා’ (The Other)ය. එබැවින් මෙම මිතුරු-සතුරු ගැටුම හුදු වාද විවාදයකින් ඔබ්බට ගිය, තම පැවැත්ම තහවුරු කර ගැනීමේ ඓතිහාසික අරගලයකි. අවශ්‍ය වූ විට සතුරාට එරෙහිව සටන් කිරීමට පවා කණ්ඩායම සූදානම් විය යුතුය. ෂ්මිට්ගේ න්‍යායට අනුව, ජාතියක් හෝ දේශපාලන ව්‍යාපාරයක් ශක්තිමත් ලෙස එකමුතු වන්නේම තමන්ට එරෙහිව සිටින ‘සතුරා’ කවු දැයි නිවැරදිව හඳුනා ගැනීමෙනි.

හේගල්ගේ (Hegel) දයලෙක්තික න්‍යායට අනුව ඉතිහාසය ඉදිරියට ගමන් කරන්නේ ‘තර්කය’ (Thesis) සහ ‘ප්‍රතිතර්කය’ (Antithesis) අතර ගැටුමෙන් උපදින ‘සංස්ලේෂණය’ (Synthesis) හරහාය. ඒ අනුව, මැල්කම්ගේ මෙම නව අරාජිකවාදී ලෝගු දේශපාලනයට එරෙහිව කරන අරගලය යනු ප්‍රචණ්ඩත්වයක් නො ව, දෘෂ්ටිවාදීමය හා ප්‍රජාතන්ත්‍රවාදී සටනකි. එය මේ මොහොතේ සිංහලයාගේ අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍යය.

සතුරා යනු භෞතිකව විනාශ කළ යුතු අයකු නො ව, දේශපාලනිකව පරිකල්පනය කොට රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අප උත්තේජනය කරන ඓතිහාසික බලවේගයයි. සතුරාට එරෙහි දෘෂ්ටිවාදී අරගලය ශක්තිමත් කළ යුතුය. සිංහල සමාජයට අරාජිකත්වයෙන් මිදී ඉදිරියට යා හැක්කේ මේ ප්‍රබුද්ධ ගැටුම ඔස්සේ පමණි. ශ්‍රී ලංකා රාජ්‍යයේ මීළඟ පරිණාමය උදෙසා එය අතිශය වැදගත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *