සොබාදහමේ අපූරු නිර්මාණයක් වන මාලදිවයින, ලොව පුරා කිමිදුම්කරුවන්ගේ පාරාදීසයකි. එහෙත් ඒ නිල්වන් සාගරය යට සැඟවුණු අඳුරු සහ අවදානම් සහගත රහස් ද බොහෝය. ජෙනෝවා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වූ මොනිකා මොන්ටෙෆැල්කෝන්, ඇයගේ දියණිය ජෝර්ජියා, සාගර ජීව විද්‍යාඥ ෆෙඩරිකෝ, පර්යේෂක මුරියෙල් සහ ඔවුන්ගේ කිමිදුම් උපදේශකයා වූ ජියන්ලුකා යන පළපුරුදු ඉතාලි ජාතික කිමිදුම්කරුවන් පස්දෙනා මාලදිවයිනට පැමිණියේ ද එවන් සොඳුරු අත්දැකීමක් මෙන්ම විද්‍යාත්මක ගවේෂණයක් ද අපේක්ෂාවෙනි. සංචාරක ආයතනයකට අයත් “Duke of York” යාත්‍රාවෙන් පැමිණි ඔවුන්ගෙන් මහාචාර්යවරියගේ සහ පර්යේෂකවරියගේ මූලික අරමුණ වූයේ දේශගුණික විපර්යාස සහ නිවර්තන ජෛව විවිධත්වය පිළිබඳව පර්යේෂණ කිරීමයි.
කෙසේ වෙතත්, ඔවුන්ගේ ගමනේ ඉරණම වෙනස් වූයේ කිසිවෙකුත් නොසිතූ අයුරිනි. සිය නිල පර්යේෂණ කටයුතුවලින් බැහැරව, ඔවුහු පෞද්ගලිකවම Vaavu Atoll ප්‍රදේශයේ පිහිටි අතිශය සංකීර්ණ දිය යට ගුහා පද්ධතියක් ගවේෂණය කිරීමට තීරණය කළහ. මාලදිවයිනේ නීතියට අනුව විනෝදාත්මක කිමිදුම් සඳහා උපරිම සීමාව මීටර් තිහක් වුවද, මෙම කණ්ඩායම මීටර් පනහක් තරම් වූ දැඩි අවදානම් ගැඹුරකට ගමන් කළහ. ඛේදවාචකය නම්, මෙවැනි අතිශය ගැඹුරු සහ අඳුරු ගුහා තුළට යාමට අවශ්‍ය විශේෂිත තාක්ෂණික උපකරණ වෙනුවට ඔවුන් සතුව තිබුණේ සාමාන්‍ය කිමිදුම් උපකරණ පමණක් වීමයි. සාගර දිය අගල් ආශ්‍රිතව පිහිටා ඇති මෙවැනි ගුහාවල වැලි සහ මඩ ක්ෂණිකව අවුස්සී යාමෙන් දෘශ්‍යතාව සම්පූර්ණයෙන්ම නැති වී යාමේ දැඩි අවදානමක් පවතී.

මෙම අඳුරු ගුහාව තුළදී ඔවුන්ට කුමක් සිදුවූයේද යන්න තවමත් අභිරහසකි. උපදේශක ජියන්ලුකාගේ නිසල සිරුර ගුහා ද්වාරය අසල තිබී සොයාගත් අතර, අනෙක් සිව්දෙනා ගුහාවේ ගැඹුරු අඳුර තුළ අතරමං වී ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ප්‍රබල දියවැල් සහ ශුන්‍ය දෘශ්‍යතාව හමුවේ ඔවුන් දැඩි අසරණභාවයකට පත්වන්නට ඇත.
අනතුර සැලවීමත් සමඟම මාලදිවයින් බලධාරීන් දැවැන්ත මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේය. අයහපත් කාලගුණය සහ ගුහාවේ ඇති භයානක ස්වභාවය හමුවේ එය ජීවිතයත් මරණයත් අතර සටනක් විය. මෙම මෙහෙයුමට එක්වූ දේශීය කිමිදුම්කරුවන් අතර සිටි මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ වීරෝදාර සෙබළෙකු වූ මොහොමඩ් මහූදි, අධික පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයකට ගොදුරු වී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය. වෙනත් ජීවිත බේරාගැනීමට ගොස් සිය ජීවිතය පූජා කළ ඔහුගේ වියෝවත් සමඟම, සමස්ත මෙහෙයුමම තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන්ට සිදුවිය. පසුව ජනාධිපතිවරයාගේ ද සහභාගීත්වයෙන් යුතුව හමුදා ගෞරව මැද ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරිණි.
දැන් සියල්ලන්ගේම දෙනෙත් යොමුව ඇත්තේ මීළඟට කුමක් සිදුවේද යන්න දෙසටයි. ගුහාවේ ඇති අධික අවදානම හේතුවෙන් සාමාන්‍ය කිමිදුම්කරුවන් යෙදවීම වෙනුවට, ෆින්ලන්ත ජාතික ගුහා කිමිදුම් විශේෂඥයින් තිදෙනෙකුගේ සහාය ලබාගැනීමට බලධාරීන් තීරණය කළහ. මේ අතරතුර, ඛේදවාචකයට හේතුව සෙවීමේ පරීක්ෂණ අවසන් වන තුරු අදාළ සංචාරක යාත්‍රාවේ මෙහෙයුම් බලපත්‍රය ද අත්හිටුවා තිබේ.
පසුව වාර්තා වූ ආකාරයට ඉතිරි මළ සිරුරු හතර ගැඹුරු මුහුදු ගුහාවක ඇතුළේ ඇති බව කිමිදුම්කරුවන් විසින් මැයි 18 දින සොයාගෙන තිබේ. මීළඟට ඇත්තේ ඒවා ගොඩබිමට රැගෙන ඒමේ අති දුෂ්කර කාර්යයයි.












