ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවට රජයට බලපෑම වැඩි වෙමින් තිබේ. විශේෂයෙන්ම, තවත් අවුරුදු දෙකකින් පමණ යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් බදු සහන සඳහා නැවත අයදුම් කරන්නට පෙර, ඒ සඳහා අවශ්‍ය කොන්දේසි සැපිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම වැදගත් වේ. 2016දී ශ්‍රී ලංකාව ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබාගැනීමට අයදුම් කිරීමේදී පවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට එකඟ වුණා.
යහපාලන රජය නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් සකස් කළ මුත් එය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට අවශ්‍ය පියවර ගැනුණේ නැහැ. 2019දී බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් නවත්වා දැමුවා. 2022දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව නැවතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර වෙනත් පනතක් හඳුන්වා දීමට උත්සාහ කළා.
වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම සිටි ස්ථාවරය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කළ යුතු බවයි. ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා තිබෙන නීති ප්‍රමාණවත් බව ඔවුන්ගේ ස්ථාවරය වුණා. එහෙත්, බලයට පත් වීමෙන් පසු ඔවුන් තමයි මෑත ඉතිහාසයේ ඉතාම තිරශ්චීන ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරන පාලකයන් බවට පත් වී සිටින්නේ.
කෙසේ වෙතත්, ජීඑස්පී ප්ලස් වෙනුවෙන් යළි අයදුම් කළ යුතුව තිබෙනවා. රජය දැන් අලුත් පනතක් කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පසුගිය 2දා පැවසුවේ ඒ නිසා විය හැකියි.
මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු පවසන ආකාරයට ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳව මෙම සතියේ අනිද්දා පුවත්පතේ යම් විස්තරයක් පළ වී තිබුණා. පහත දැක්වෙන තොරතුරු උපුටා ගත්තේ එයිනුයි.
යාපනය චුන්නාකම්හි මනෝහරන් ගජේන්දිරන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ ෆේස්බුක් ගිනුමේ ප්‍රභාකරන්ගේ ඡායාරූප හා වීඩියෝ තිබීම නිසාය.
මරදාාන පදිංචි කැලුම් හර්ෂණ 2024 නොවැම්බර් 3 අත්අඩංගුවට ගෙන නිදහස් කරන ලදි.
ගාල්ල, කිරිබාවිට ජනත් චතුරංග 2024 නොවැම්බර් 30 දින අත්අඩංගුවට ගන්නා ලදි.
2024 දෙසැම්බර් 1 දින කැලුම් හර්ෂණ ජයසුමන අත්අඩංගුවට ගන්නා ලදි.
අරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බිලාල් මුහම්මද් හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන දින 90ක් රඳවා තබාගන්නා ලදි.
ඊශ්‍රායලයට එරෙහිව ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් මොහොමඩ් රෂ්ඩි නම් 20 හැවිරිදි තරුණයකු ද දින 90ක් රඳවා ගැනීමට රැඳවුම් නියෝග ලබාගෙන, පසුව, 2025 අප්‍රේල් 7 දින අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කර ඇප පිට නිදහස් කර ඇත.
ජාතික හැඳුනුම්පත නොමැතිකම නිසා 2024 ඔක්තෝබර් 23 දින දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද 21 හැවිරිදි මොහොමඩ් සුහීල් ෂුවේද් පසුදින අධිකරණයෙන් නිදහස් කිරීමෙන් අනතුරුව නැවත අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ඇත.
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට කටයුතු කළ යුතු බව පසුගියදා ශ්‍රී ලංකාවේ චාරිකාවක් සිදු කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ද පැවසුවා.