World Mental Health Day

සිඟාකා උපයන මුදල්වලින් වසර හයක් දන්දීමෙන්, අපල දුරු වී, මානසික රෝග සුව වේද?

ඊශා කප්පරගේ

අපේ ගෙදරට පහුගිය දිනක අවුරුදු විස්සක තර දියණියක් සමඟ මවක් පැමිණියා’ ඉතා දුගී පෙනුමක් තිබුණු ඔවුන් ඉල්ලා සිටියේ දානයක් දීම සඳහා ආධාරයක්. දියණියට වසර 18ක සිට අපලයක් ඇති බවත්, එම අපල දුරුවීම සඳහා සිඟාකෑමෙන් එකතුකරගන්නා මුදල්වලින් වසර හයක් එක දිගට දානයක් දිය යුතු බවත් අම්මා පැවසුවා.

Translations by Creative Content Consultants

දියණියගේ රෝගය බැලූ බැල්මට හඳුනාගත් මා දියණියට වෛද්‍ය ප්‍රතිකාර ලබා නුදුන්නේදැයි විමසුවා. අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් බවත්, කළුතර නාගොඩ රෝහලන් ප්‍රතිකාර ලබාගත් බවත් පැවැසූ මව ඉන් සුව නොවූ බව ප්‍රකාශ කළා. මෙය අපලයක් නිසා ඇතිවුන දෙයක් බවත් සිඟා කෑමෙන් දෙන දානයෙන් රෝගය සුව වන බවත් දැන් වෛද්‍ය ප්‍රතිකාර නවත්වා ඇති බවත් මව කීවේ දැඩි විශ්වාසයෙන්.

වසර ගණනාවක් මානසික රෝග වාට්ටුවක සේවය කළ හෙදියක ලෙස මේ දියණිය සම්බන්ධයෙන් කළ යුතු දේ මා මවට පැවසුවත් ඇය ඊට කන් දුන්නේ නැහැ. මේ සඳහා මා ආධාරයක් ලබා නොදුන් නිසා ලෝභකම ලෝබකම යනුවෙන් මුමුණමින් දුව සමඟ පිටත් වූ මව ලංකාවේ මානසික රෝගීන් ගැන ලොකු කතන්දරයක් තමයි කිව්වෙ.

ලංකාවේ මානසික රෝග පිළිබඳ සාක්ෂරතාව ඉතාම අඩුයි. ශරීරයේ අනිත් අවයව වගේ ම මනසත් ලෙඩ වෙන බව අපේ මිනිසුන් තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගත්තත් මනස ලෙඩ වීම මදිකමක් කොට සලකනවා.

මනස ලෙඩ වීම පවුලේ පවුලේ අනෙක් අයත් තේරුම් ගන්නෙත් නැහැ. අතේ පයේ රුදාව ඇති වුණොත් හැමෝම තෙල්ගාලා අතගානවා. පැරසිටමෝල් පෙති දෙකක් දෙනවා. හෙම්බිරිස්සාවක් හැදුණත් කොත්තමල්ලි තම්බල දෙනවා. අර පරීක්ෂණ, මේ පරීක්ෂණ, චැනල් ඔක්කොටම යනවා.

හිත ලෙඩ උනාට කවුරුවත් ගණන් ගන්නේ නෑ.

වැඩිය තරහ යනවා නම්,
නින්ද වැඩිපුර යනවනම්,
නින්ද යන්නෙ නැතිනම්,
අනෙක් අය ගැන සැක නම්,
තනිවෙන්න හිතෙනවා නම්,
මැරෙන්න හිතෙනවා නම්,
පිරිසුදුකම ගැන ඕනවට වඩා කරදරයක් කොට හිතෙනවා නම්,
තමන්ගේ සහකාරිය සහකරුවා ගැන අහේතුකව සැක ඇති වෙනවා නම්,
අනෙක් අය කතා කරන්නේ මම ගැන ය කියලා හිතෙනවා නම්,
සමාජයට මුහුණ දෙන්නට බය නම්,
අනිත් අය එක්ක මුහු වෙන්න බය නම්
කායික හේතුවක් නැතිව ලිංගික අකර්මන්‍යතාවයක් ඇතිනම්,
ලිංගික සම්බන්ධතාවලට අකමැත්තක් ඇතිවී තිබෙනවා නම්,

ඔබට පොඩ්ඩක් හිතන්න පුළුවන් ඔබේ මනසට යම් කිසි ගැටලුවක් ඇති වෙලා තිබෙනවා කියලා.

මේක කියන්න දැන් ලංකාවේ ඕන තරම් තැන් තියෙනවා. හොට් ලයින් එකක් තියෙනවා, මුදල් යන්නේ නැහැ. 1333ටකතා කරලා ඔබේ ගැටලුව කියන්න. එතනින් ඔබට අවශ්‍ය මඟ පෙන්වීම කරාවි. එහෙම නැතිනම්, මානසික රෝග සම්බන්ධ වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න. ලංකාවේ සෑම ප්‍රධාන රෝහලකම මානසික රෝග සායනයක් තියෙනවා. OPD මගින් යොමු කිරීම අවශ්‍ය නැහැ. කෙළින්ම ඒ සායනයට ගොස් ඔබේ ගැටලුව වෛද්‍යවරයෙකුට හෝ හෙදියකට ප්‍රකාශ කරන්න.

ඔබට ගෘහස්ථ හිංසනය පිළිබඳ ගැටලූවක් තිබෙනවා නම් ලංකාවේ ප්‍රධාන රෝහල්වල මිතුරු පියස නමින් ආයතනයක් තිබෙනවා. ඔබට එතනට කෙළින්ම යොමු වන්න පුළුවන්. ඔබේ රහස්‍ භාවය සම්පූර්ණයෙන්ම රැකීමට බැඳී ඇති එම ආයතනයෙන් ඔබට සහනයක් වේවි.

කේන්දර වලට, පූජා වට්ටිවලට, භාරහාරවලට, ග්‍රහ අපලවලට, කළ නොහැකි දේ රෝහලෙන් ඔබට ලබා දේවි .

අද ලෝක මානසික සෞඛ්‍ය දිනයයි .මේ දිනවලදි කෙතරම් කෑගැහුවත් මේ දින කොතරම් උත්සවාකාරයෙන් සැමරුවත් පලක් නැහැ, මිනිසුන් අතරට මේ පණිවුඩ යන්නේ නැතිනම් .