Reunion

ලාංකිකයන්ට යන්න හිතෙන රීයුනියන් රට

ලාංකිකයන් කොයි තරම් ජාතිවාදී වුණත්, විශේෂයෙන් ම සිංහලුන් ලංකාව ලෝකෙන් උතුම් රට යයි කීවත්, ධනවත් දුප්පත් බොහෝ අය බලාගෙන ඉන්නෙ අවස්ථාව ලද සැණින් වෙනත් කොහේට හෝ යන්නටයි.

Translations

දුප්පත් මිනිසුන් බොහෝ විට යන්නේ වැඩි ආදායමක් ලැබෙන රැකියාවක්, වඩා සුවපහසු ජීවිතයක් හා දරුවන්ට සුරක්ෂිත අනාගතයක් සොයාගෙනයි. ලංකාවේ පවතින තත්වය අනුව ඒ සිතුවිල්ලේ වරදක් නැතැයි තර්ක කරන්නටත් පුළුවන්. විශේෂයෙන් ම යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාවට සිය ජීවිත නැවත ගොඩනගාගැනීම සඳහා තිබෙන දුෂ්කරතා හා රජයෙන් උපකාරයක් නොමැතිකම හේතුවෙන් ඔවුන් ජීවිතය වෙනස් කරගැනීමට පහසු මාර්ගයක් ලෙස තම ඥාතීන් සිටින ඇමරිකාව, කැනඩාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට යාමට උත්සාහ කරනවා.

ඕස්ට්‍රේලියාව සරණාගතයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටත්, ඔවුන් ආපසු හරවා එවීමට හා දූපතක රඳවා තැබීමටත් පියවර ගැනීම නිසා දැන් ලාංකිකයන් සරණාගතභාවය සොයා යාමට අලුත් රටක් සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ තමයි, ප්‍රංශයට අයත් ලා රීයුනියන් දූපත.

වර්ග කිලෝමීටර් 2500ක් පමණ වන, ලක්ෂ අටහමාරක් පමණ ජනගහනයක් වාසය කරන ලා රීයුනියන් දූපත පිහිටා තිබෙන්නේ ලංකාවට බටහිර දෙසින් ඉන්දියන් සාගරයේ මැඩගස්කරය හා මුරිසිය අතරයි. ලෝක උරුමයක් ලෙස ද සැලකෙන, සක්‍රිය Piton de la Fournaise ගිනිකන්ද පිහිටා තිබෙන්නේ මෙරටයි. ප්‍රංශයෙන් ලැබෙන මුදල්වලට අමතරව උක් වගාව හා සංචාරක කර්මාන්තය තමයි එහි ප්‍රධාන ආදායම් මාර්ග. රටේ ජනගහනයෙන් පහෙන් පංගුවක් ජීවත් වන්නේ එහි අගනුවර වන ශාන්ත ඩෙනිස් නගරයේයි.

වසර 2018, 2019 කාලයේදී රීයුනියන් දූපත වෙත ශ්‍රී ලාංකික සරණාගතයන් 291ක් පැමිණි බව www.fairplanet.org වාර්තා කරනවා. මානව පුද්ගල ජාවාරම්වල යෙදෙන ව්‍යාපාරිකයන් මෙසේ බෝට්ටුවලින් මෙරටට පුද්ගලයකු රැගෙන යාමට ඩොලර් 2,800ක් අය කරන බව එහි සඳහන් වෙනවා. 2016-2018 කාලයේදී ලා රීයුනියන් දූපතේ බලධාරීන්ට ලැබුණු සරණාගත අයදුම්පත් අතරින් බහුතරය ලාංකිකයන්ගෙනුයි.

රීයුනියන් ද දැන් තම සංක්‍රමණික ප්‍රතිපත්ති දැඩි කර තිබෙනවා. පසුගිය 2019 වසරේ පෙබරවාරියේ ශ්‍රී ලාංකිකයන් 64දෙනෙකුගේ සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේප කර ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු එවා තිබෙනවා.

ලාංකිකයන් රුපියල් ලක්ෂ පහක් පමණ ගෙවා කිලෝමීටර් 4,000ක පමණ අවදානම් ගමනක් සති තුනක් තිස්සේ බෝට්ටුවෙන් යමින් රීයුනියන් වෙත යන්නේ එහිදී ඔවුන්ට දේශපාලන රැකවරණ ලැබුණොත්, පසු කලෙක ඔවුන්ට ප්‍රංශ පුරවැසිභාවය ලබාගත හැකි බැවින් විය හැකියි.

ඇයි ලාංකිකයන් මේ රට ම දේශපාලන රැකවරණ සඳහා තෝරාගන්නෙ? එයට ප්‍රධාන හේතුවක් තමයි, ක්‍රිස්තියානි බහුතරයක් සිටින, බහුජාතික රටක් වන එහි හින්දු, මුස්ලිම් ඇතුළු සෙසු ආගම්වලට හා ජාතීන්ට තිබෙන විවෘතකම. මේ රට ජනාවාස කර තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ම ප්‍රංශය විසින් 17වන සියවසේදීයි. ඒ වහලුන්ගෙන් සහ කෝපි වගාව සඳහා ගෙන එන ලද ශ්‍රමිකයන්ගෙන්.

ලංකාවේ මේ වන විට සිටින ජනාධිපතිවරයා පවා තමන්ගේ හා දරුවන්ගේ සුබසිද්ධිය පිණිස රට දමා ගොස් දේශපාලන බලය වෙනුවෙන් ආපසු පැමිණි අයෙකි. මිනිසුන්ට රට හැර යන්නට සිදු වන කාලකණ්ණිකමේ තරම ඔහු හොඳින් දන්නවා විය යුතු ය. ලංකාව මිනිසුන්ට ඉන්න හිතෙන රටක් කිරීම සඳහා ඔහු වැඩ කළ යුතු ය.

ඡායාරූපයේ තවත් ලාංකික සරණාගතයකු සමග දකුණේ සිටින්නේ බාලප්පු වඩුගේ ප්‍රසාද් ඉන්දික ඩිලාන් මෙන්ඩිස් (35) ය.