femdom

කාන්තාවන් පිරිසක් භික්ෂුවකට ලිංගික හිංසා කිරීමේ ෆෙම්ඩම් වාර්තාවේ ඇත්ත

අජිත් පැරකුම් ජයසිංහ

කාන්තාවන් පිරිසක් තරුණ භික්ෂුවකට ලිංගික හිංසා සිදුකළ බවට කාමුක ප්‍රවෘත්තියක් ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය රස කරමින් වාර්තා කර තිබුණා. එය ගැන සමාජ මාධ්‍ය කතාබහවලදි කාන්තාවන් පවා පිරිමින්ගෙන් ඒ ගමට යන්නට ආසා නැද්ද වැනි දේ විහිළුවට අසා තිබුණා.

කාන්තාවන් සමූහයක් සමග ලිංගිකව හැසිරීම පිරිමි කාම ෆැන්ටසි අතරින් එකක්. ඒ වගේම, කාන්තා ආධිපත්‍යයෙන් යුත් ලිංගික චර්යාවනුත් එහෙම ෆැන්ටසියක්. එයට ගැලපෙන කාමුක වීඩියෝ කැටගරියක් තියෙනවා. එයට කියන්නෙ femdom කියලයි. එය පිරිමින් විසින් කරන හිංසාවන් සහිත BDSM කැටගරියේම ස්ත්‍රී ස්වරූපය. මේවා ගැන මං විස්තර කරන්නට ඕනැ නැහැ. අදාළ කීවර්ඩ්ස් දාලා සොයාබලා දැනගන්න.

කෙසේ වෙතත්, අර සිද්ධිය එහෙම මගුලක් නෙමෙයි හලෝ. කතාව මෙහෙමයි:

සිද්ධිය වෙන්නෙ මොන්නෑකුලම ඉහළ වීරදඩාන ගමේ. පන්සලේ වැඩ සිටි භික්ෂුවකට ලිංගික හිරිහැර කරන ලද බවට පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් 05 දෙනෙකු කොටවෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් කාන්තාවක් මැයි 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සෙසු කාන්තාවන් සිව්දෙනා ශරීර ඇප මත මුදා හැරිය බව වාර්තා වෙනවා.

මෙසේ අත්අඩංගුවටගත් කාන්තාවන් අවුරුදු 32, 68, 44, 46, 38 යන වයස්වල පසුවන්නන්ය.

මෙම විහාරස්ථානය ගොඩනගා ඇත්තේ ගම්වැසියන් විසින් තමන්ගේ ඉඩකඩම් පූජා කරලායි. 2018දී එය භික්ෂුවකට පූජාකර ඇති අතර එම භික්ෂුව විහාරස්ථානයේ රැඳී නොසිට, වෙනත් භික්ෂූන් එහි රඳවමින් ආගමික කර්තව්‍යයන් හරියට නොකිරීම නිසා විහාරස්ථානය හා ගම්වැසියන් අතර ආරාවුලක් ඇතිවී තිබෙනවා.

කොටින් පන්සලේ නාම පුවරුව පවා වරක් ගලවා දමා තිබෙනවා. කොටවෙහෙර පොලිසියට පැමිණිලි පිට පැමිණිලි දෙපාර්ශ්වයෙන්ම ලැබී තිබෙනවා.

මීට කලිනුත් ගම්වැසියන් විහාරස්ථානයට කඩාවැදී තිබෙනවා. පොලිසිය මැදිහත් වී ප්‍රශ්න විසඳා තිබෙනවා.

පසුගිය අප්‍රේල් 25 වෙනිදා ගමේ කාන්තාවන් පිරිසක් විහාරස්ථානයට ගොස් එහි වැඩ සිටි 48 හැවිරිදි අදාළ භික්ෂුවට විහාරස්ථානයෙන් ඉවත්වන ලෙස පවසමින් හිරිහැර කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් තමන්ට ලිංගික හිරිහැර කළ බව භික්ෂුව පැමිණි කර තිබෙනවා. ඔහු කාන්තාවන් හයදෙනෙකුගේ නම් සඳහන් කර තිබෙන අතර පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කතාව ඔච්චරයි.

අපරාදෙ නේද ඔහෙලගෙ ෆැන්ටසි. ලිංගික මොකුත් බලාපොරොත්තුවෙන් එහෙ යන්න හිටිය නම් අදහස වෙනස් කරගන්න.

ප්‍රවෘත්ති කියන්නෙ මොනවද කියල තේරුම් ගන්නට මේක හොඳ උදාහරණයක්. වර්තමානයේදී ප්‍රවෘත්ති කියන්නෙ විනෝදාස්වාදයේම කොටසක්. ඇත්තට වඩා ප්‍රබන්ධය ලොකු වෙන්නෙ ඒ නිසායි.