රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනතේ (PODDO) සංශෝධන: ගැඹුරු ප්‍රශ්නය විසදීමට ප්‍රමාණවත් නොවන සංශෝධනයක්
රජය විසින් විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනත (PODDO) සඳහා නව සංශෝධන දෙකක් සදහා පනත් කෙටුම්පත් ගැසට් කර ඇත. අංක 61 හා 62 යන අංක යටතේ මෙම සංශෝධනයන් 2026 අගෝස්තු 24 වැනි දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර රක්ෂිත බන්ධනාගාර තදබදය හා ඒ ආශ්‍රිතව සිදු වී ඇති බරපතළ වදහිංසනයන් හා අමානුෂික අවමන් සහගත සැලකීම් අවසන් කිරීමේ අරමුණින් කටයුතු කරන සංවිධානයක් ලෙස අපගේ අවධානය ඒ සදහා යොමු වී ඇත. එක් පනත් කෙටුම්පතක් මගින්, ඇප ලබාගැනීම සඳහා අභියාචනාධිකරණයට යා යුතු අවම මත්ද්‍රව්‍ය ප්‍රමාණය (පිරිසිදු හෝ දළ බර) ග්‍රෑම් 10 සිට ග්‍රෑම් 100 දක්වා ඉහළ නංවා තිබේ.
බන්ධනාගාර තදබදයට එක් හේතුවක් ලෙස පසුගිය කාලයේ සිදු වූ බන්ධනාගාර අර්බුදයන් සදහා එක් හේතුවක් ලෙස පමණක් පෙන්වා දුන් අභියාචනාධිකරණයෙන් ඇප ලබා ගැනීමට නියම කිරීමෙන් සිදු වූ ඇප ලබා ගැනීමේ ප්‍රමාදය යන කරුණට පමණක් පිළිතුරු සැපයීමට රජය උත්සහ කර ඇති බව පෙනේ. ග්‍රෑම් 10 සිට 100 දක්වා වූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්ගේ නඩු අභියාචනාධිකරණයෙන් ඉවත් කිරීම තුළින්, දැනට පවතින නීති ක්‍රියාදාමය බිඳවැටී ඇති බව රජය වක්‍රාකාරයෙන් පිළිගනී. නමුත් අප පෙන්වා දෙන්නේ මෙම අභියාචනාධිකරණයෙන් ඇප ලබා ගත යුතු සැකකටයුතු මත්ද්‍රව්‍ය සාම්පල ප්‍රමාණය ඉහළ දැමීම ගැඹුරු ප්‍රශ්නයකට ලබා දී ඇති අඩු විසදුම් ඇති පිළියමක් පමණක් වන බවත්, එයින් සාධාරණ ලෙස යුක්තිය ඉටු නොවන බවයි.
බන්ධනාගාර තදබදය අති විශාල ලෙස වැඩි වීම සදහා ඉහත කී පනතේ 54 වගන්තිය අත්තනෝමතිකව පොලීසිය විසින් භාවිතා කිරීමද, පුනුරුත්ථාපන ක්‍රියාවලිය අතිශයින් දුර්වල වීමද, මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ ඉල්ලීම් සදහා සිදු වන ප්‍රමාදයන්ද, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාදයන්ද සිදු වන බව ඕනෑ තරම් පෙන්වා දී ඇති කරුණු වුවද එවැනි කරුණු පිළිබච නොසළකා රජය අභියාචනාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ කරුණට පමණක් සීමා වී ඇති බව පෙනේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධ බොරු නඩු පැවරීම වැළැක්වීම සදහා වැටලීම් කරන නිලධාරීයා හෝ අත්අඩංගුවට ගන්නා නිලධාරියා විසින් හැකි නම් වීඩියෝගත කිරීම හා සාම්පල ඡායාරූප ගත කිරීම ආදිය නියම කිරීම පනත් කෙටුම්පතකට ඇතුළත් කිරීම මගින් උත්සහ කර ඇති බව පෙනේ. එකී පියවර ධනාත්මක පියවරක් ලෙස දකින අප වැඩිදුරටත් රජයට පෙන්වා දෙන්නේ පොලිස් නිලධාරීන්ගේ නිල ඇදුමේ කුඩා කැමරා (Body Cam) සවි කිරීම මගින් වඩා පාරදෘශ්‍ය තත්වයක් ඇති කර ගත හැකි අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ බොරු නඩු පැවරීම අවම කර ගැනීමේ රජයේ අරමුණ සාර්ථක කර ගත හැකි බවයි.
යෝජිත ප්‍රතිසංස්කරණයෙන් පීඩිත ජනතාවට යුක්තිය ඉටු නොවන්නේ ඇයි?
- අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම් සහ වධහිංසාවලට මග පාදන 54 වගන්තියේ භාවිතය සංශෝධනයට ලක් නොවීම: ව්‍යාජ මත්ද්‍රව්‍ය චෝදනා නගමින් පුද්ගලයන්ව රිමාන්ඩ් භාරයට පත් කිරීමට, 54 වගන්තිය යටතේ ඇති තදබල ඇප නීති නිරන්තරයෙන් අවභාවිත කරන බවට පොලීසියට චෝදනා එල්ල වී ඇති අතර මේ මගින් බන්ධනාගාර තදබදය ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වාර්තා මගින්ද පෙන්වයි. ඇත්ත වශයෙන්ම මෙම ක්‍රියාවලිය මගින් සිදුවන්නේ පොලිසියේ අක්‍රමිකතා සහ වැරදි ක්‍රියා බන්ධනාගාර බිත්ති තුළ සඟවා තබාගැනීමයි.
- නීති බලාත්මක කිරීමේ නිලධාරීන් විශ්වාසය තබමින් තවදුරටත් ඇප සීමා පවත්වාගනිමින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමේ බලය පුළුල් නොකිරීම. එමගින් රජය මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්න සහගතය.
- දරාගත නොහැකි මූල්‍ය හා නීතිමය වියදම්: 54 වගන්තිය ක්‍රියාත්මක කිරීමෙන් සහ සාම්පල ප්‍රමාණයන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලය අත්තනෝමතිකව භාවිතා කිරීම සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාදයන් භාවිතා කිරීම මගින් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ තත්වයක් ඇති කිරීම තුළ ඒ සදහා ඔවුන්ට විශාල නීතිඥ ගාස්තු ගෙවීමට සිදු වීමේ බරපතළ ප්‍රශ්නයට විසදුමක් ලබා දී නොමැත.
- බන්ධනාගාර තදබදයට කිසිදු සහනයක් නොමැති වීම: 23,000කට වැඩි පිරිසක් දැනටමත් රක්ෂිත බන්ධනාගාරවල අධික තදබදය නිසා අමානුෂික ලෙස පීඩා විඳිති. එවැනි තත්ත්වයක් තුළ, මහේස්ත්‍රාත්වරයාට ඇප ලබා දීමට ඇති බලය සීමා කිරීමේ නීති සංශෝධනය නොකිරීමෙන් එම තත්වය විසදීමට අවස්ථාවක් නොලැබෙන බව අපගේ නිරීක්ෂණයයි.
අපගේ ඉල්ලීම්:
- මහේස්ත්‍රාත් අධිකරණයට ඇති ඇප දීමේ සීමා නතර කිරීම : පුද්ගලයෙකු රිමාන්ඩ් කිරීම අවසන් විකල්පය බවට පත් කරමින්, තමන්ගේ විනිශ්චය අනුව 54 වගන්තිය යටතේ ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණවලට බලය ලබාදිය යුතු අතර ඒ සදහා වන සීමාවන් ඉවත් කල යුතුය.
- රිමාන්ඩ් බන්ධනාගාර තදබදය අඩු කිරීම: පුද්ගලයන් බන්ධනාගාරගත කරනවා වෙනුවට, විකල්ප අධිකරණ ක්‍රමවේද (diversionary justice – එනම් අපරාධ යුක්ති පද්ධතියෙන් බැහැරව පුනරුත්ථාපනය කිරීම වැනි ක්‍රම) සහ නිවාස අඩස්සි යාන්ත්‍රණ (home-remand mechanisms) වැනි වඩාත් මානුෂීය විකල්ප ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතුය.
රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දඩුවමක් නොවන බව අප රජයට අවධාරණය කරන අතර ස්වාධීන සහ ශක්තිමත් විමර්ශනයන් සිදු කිරීමකින් හා නඩු විභාග ඉක්මන් කිරීමකින් තොරව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පමණක් මත්ද්‍රව්‍ය ප්‍රශ්නය විසදිය නොහැකි බවද දැනටමත් අප අත්දකිමින් සිටින යථාර්තය බව අප රජයට පෙන්වා දෙමු.
එම නිසා මහේස්ත්‍රාත් අධිකරණයේ බලය වර්ධනය කිරීම මහේස්ත්‍රාත් අධිකරණයන්ගේ විනිශ්ච්‍යකාරවරුන්ට ඇප සම්බන්ධ ඔවුන්ගේ අභිමතානුසාරී බලය ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන සැලසීම මහේස්ත්‍රාත් අධිකරණයන් සම්බන්ධයෙන් ප්‍රායෝගික ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම මගින් ඇප දීම රීතිය ඇප නොදීම ව්‍යතිරේකය යන ඇප පනතේ නෛතික සිද්ධාන්තය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට පහසුකම් සැලසීම සදහා රජය මැදිහත් විය යුතු බව අප පෙන්වා දෙමු.
දුප්පතුන්ට දඬුවම් දෙන සහ යුක්තිය පමා කරන නීතිමය බාධා මත සාධාරණ නීති පද්ධතියක් ගොඩනැගිය නොහැකිය. සැබෑ ප්‍රතිසංස්කරණයක් නම් අපගේ මහේස්ත්‍රාත්වරුන් කෙරෙහි නැවත විශ්වාසය ගොඩනැගිය යුතු අතර, දීර්ඝකාලීන සහ අසාධාරණ ලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම් අවසන් කළ යුතුය.











