Harshana Suriyapperuma

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය තුළ සිදු වූ බරපතළම ඛේදවාචකයක් ලෙස මහා භාණ්ඩාගාරයේ අතුරුදන් වූ මුදල් වංචාව හැඳින්විය හැකිය. “Free Lawyers” සංවිධානය පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය අතර පවතින ආයතනික මතභේද සහ ගැටුම් මධ්‍යයේ රටට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 100කට ආසන්න) අතිවිශාල මහජන මුදලක් වංචනිකයන් විසින් වෙනත් විදෙස් ගිණුම් වෙත හරවා ගෙන ඇත.

2025 නොවැම්බර් මස 13 සහ 15 යන දිනවල ‘Export Finance Australia’ නමින් පැමිණි ව්‍යාජ ඉන්වොයිස් භාවිත කරමින්, ඇමරිකාවේ TD බැංකුවේ පවත්වා ගෙන ගිය ‘Mish Global LLC’ නමැති සැකකටයුතු ගිණුමකට මෙම මුදල් බැර කිරීම ආරම්භ වී තිබේ. වඩාත් කනගාටුදායක කරුණ නම්, අමෙරිකාවේ ජේ.පී. මෝර්ගන් (JPMorgan) සහ ෆෙඩරල් රිසර්ව් (Federal Reserve) බැංකු විසින් මෙම ගනුදෙනුවල සැක සහිත ස්වභාවය පිළිබඳව SWIFT පණිවිඩ මගින් පැහැදිලිව අනතුරු අඟවා තිබියදීත්, බලධාරිවරුන් ඒවා මුළුමනින්ම නොසලකා හැර මුදල් ගෙවා දැමීමයි.

භාණ්ඩාගාරයේ සිදු වූ මෙම මුදල් වංචාව කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි අතිශය බරපතළ තත්ත්වයකි. මෙය හුදෙක් ඉලක්කම් වරදක් හෝ සරල තාක්ෂණික දෝෂයක් නොවේ. මෙය මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පරම අයිතියක් වූ බදු මුදල් අමු අමුවේ මංකොල්ල කෑමකි. එබැවින්, මෙම වංචාවට වගකිව යුතු සියලුම පාර්ශ්වකරුවන්ගෙන් එම මුදල ආපසු අය කර ගැනීම අනිවාර්ය වේ. ඔවුන්ගේ තනතුරු, දේශපාලන හිතවත්කම් හෝ ආයතනික ස්වාධීනත්වය වගකීම්වලින් මග හැර යාමට කඩතුරාවක් කර නො ගත යුතු අතර, රාජකාරිය පැහැර හැරියවුන් වහාම තනතුරුවලින් ඉවත් කර ඔවුන්ට එරෙහිව නීතිමය දඬුවම් ලබා දිය යුතු බව අපි තරයේ අවධාරණය කරමු.

මෙම මහා පරිමාණ මූල්‍ය අපරාධය කිසිදු වගකිවයුතු ආයතනයකින් හෙළි නොවුණු පසුබිමක, නීතිඥවරුන්ගේ සහ වෘත්තිකවරුන්ගේ එකමුතුවක් වන ‘Free Lawyers’ සංවිධානය විසින් 2026 අප්‍රේල් 22 වැනි දින මෙම තොරතුරු ප්‍රථම වරට සමාජයට අනාවරණය කරන ලදි. මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණ තොරතුරු විකෘති කිරීම් සහ වැඩතහනම් කිරීම් මධ්‍යයේ, ඔවුහු ජනරජයේ කතානායකතුමන් වෙත විවෘත ලිපියක් යොමු කරමින් මේ පිළිබඳව විමසා සිටියහ. ෆ්‍රී ලෝයර්ස් සංවිධානය මැදිහත් වී මෙම කරුණු හෙළිදරව් නො කළේ නම්, මෙම මංකොල්ලය සිදු වී මාස 8ක් ගත වී ඇතත් එය පූර්ණ ලෙසම සැඟවීමට මුදල් අමාත්‍යාංශයට සහ මහ බැංකුවට හැකියාව තිබූ බව ඉතා පැහැදිලිය.

රංග රාජපක්ෂගේ අභාවය: වරද පැටවීමේ උත්සාහයක් ද?

මෙම අර්බුදය මධ්‍යයේ වාර්තා වූ මහා භාණ්ඩාගාරයේ කනිෂ්ඨ නිලධාරිවරයෙකු වූ රංග රාජපක්ෂ මහතාගේ මරණය අතිශය සංවේදී මෙන්ම ගැටලුසහගත සිදුවීමකි. ඔහුගේ මරණයත් සමඟම, සමස්ත වංචාවේ වරද ඔහු වෙතත්, පරිගණක සහ ෆයර්වෝල් පද්ධති වෙතත් පටවා සැබෑ බලධාරිවරුන්ට අත පිසදා ගැනීමට දරන උත්සාහයක් පැහැදිලිවම හඳුනා ගත හැකිය. මෙම ඛේදවාචකය පිළිබඳව අපක්ෂපාතී සහ විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් සිදු වීම අත්‍යවශ්‍ය වේ.

ඉදිරියේදී ගත යුතු පියවර මහා භාණ්ඩාගාරයේ මංකොල්ලයට හේතු වූ කරුණු නැවත ඇති නොවීමට පහත දැක්වෙන පියවර වහාම ගත යුතු බවට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය යෝජනා කර ඇත:

වෝහාරික විගණනයක් (Forensic Audit) සිදු කිරීම: පද්ධතිවල පවතින දුර්වලතා හඳුනා ගැනීම සඳහා වහාම වෝහාරික විගණනයක් සිදු කළ යුතුය.

ආරක්ෂාව තර කිරීම: විදේශ ණය ගෙවීම්වලදී අදාළ ඉන්වොයිස් සහ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වල සත්‍යතාව තහවුරු කර ගැනීම අනිවාර්ය කිරීම.

ඒකාබද්ධ අර්බුද කළමනාකරණ ඒකකයක්: ආයතන දෙක එකිනෙකාට චෝදනා කර ගනු වෙනුවට, විදේශ ගෙවීම් සහ සයිබර් ආරක්ෂාව නිරීක්ෂණය සඳහා මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ එකමුතුවෙන් ඒකාබද්ධ ඒකකයක් පිහිටුවිය යුතුය.

නීතිමය අඩුපාඩු වැසීම: මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ වාර්තාකරණ වගකීම්වලට ශ්‍රී ලංකා මහ බැංකුව ද යටත් වන පරිදි ‘මූල්‍ය ව්‍යාපාර පනත’ වහාම සංශෝධනය කළ යුතුය.

සුදුස්සන්ට තැන දීම: දේශපාලන අතපෙවීම් සහ අත්තනෝමතික මාරුවීම් නතර කර, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හෝ රාජ්‍ය සේවයේ වෘත්තීය පළපුරුද්ද සහිත නිලධාරිවරයෙකු මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයට වහා පත් කළ යුතුය.

ජනතාවගේ ජාතික ධනය මෙලෙස අවභාවිත වීමට ඉඩ හැර, නිදහසට කරුණු දක්වමින් ගැලවී යාමට කිසිදු බලධාරිවරයෙකුට අයිතියක් නොමැත. පාර්ලිමේන්තුව තම මූල්‍ය බලය භාවිත කරමින් මේ පිළිබඳව වහාම පියවර ගත යුතු කාලය දැන් එළඹ ඇත.

Creative Content Consultants Ad

Leave a Reply

Your email address will not be published. Required fields are marked *