Judges Retiring Age

අජිත් පැරකුම් ජයසිංහ

වර්තමාන දේශපාලන කරළියේ වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයයි. බැලූ බැල්මට මෙය අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගත් පියවරක් ලෙස පෙනී ගියද, මෙහි යටිපෙළ කියවා බැලීමේදී පෙනී යන්නේ මෙය හුදෙක් ආණ්ඩුවේ බලය තහවුරු කර ගැනීමේ සහ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ උපායමාර්ගයක් බවයි.

යහපාලන ව්‍යාපෘතියේ යල්පැනගිය දිගුව

වත්මන් ජවිපෙ මූලික කරගත් ආණ්ඩුව තවමත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ 2015 දී ආරම්භ කළ ‘යහපාලන’ ව්‍යාපෘතියේම දිගුවකි. 2022 වන විටත් මෙම ආකෘතිය යල්පැන ගොස් තිබූ අතර, ඉන්පසු පැමිණි ආණ්ඩු පවා මෙය ඉදිරියට ගෙන යාමට උත්සාහ කළද ඊට අනාගතයක් නොමැති බව පැහැදිලිය.

යහපාලන සංකල්පයේ මූලික පදනම වී ඇත්තේ ‘නියාමනය’ (Regulation) යි. දැඩි නියාමනයන් හරහා දූෂණය යම්තාක් දුරකට අවම කරගත හැකි බව සැබෑවකි. එහෙත්, පසුගිය දශකයක පමණ කාලය තුළ අපට ඔප්පු වී ඇති තිත්ත ඇත්ත නම්, හුදු නියාමනය මත පමණක් යැපීමෙන් රටකට ආයෝජන ගෙන ඒමට හෝ කඩිනම් ආර්ථික සංවර්ධනයක් ළඟා කරගත නොහැකි බවයි. උදාහරණයක් ලෙස, දැඩි රෙගුලාසි සහ අනුමැතීන් ලබාගැනීමේ ක්‍රියාවලියේ ඇති සංකීර්ණත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට සිටි විදේශීය ආයෝජකයන් රැසක් වෙනත් ආසියානු රටවල් කරා හැරී ගිය අවස්ථා අප දැක ඇත.

ඩී-රෙගියුලේෂන් හෙවත් නියාමනය ලිහිල් කිරීමේ අවශ්‍යතාව

රටක් වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාමට නම් ‘ඩී-රෙගියුලේෂන්’ (Deregulation) හෙවත් නියාමනයන් ලිහිල් කිරීම අත්‍යවශ්‍ය වේ. එහෙත් අතීතයේදී නියාමනයන් ලිහිල් කළ සමහර වකවානුවලදී එහි අතුරුඵලයක් ලෙස දූෂණය ඉහළ ගිය ආකාරය ද අපි දුටිමු. එබැවින්, අද දවසට අවශ්‍ය වන්නේ නියාමනයන් ලිහිල් කරන අතරතුර දූෂණය පාලනය කරගත හැකි, තීරණ ගැනීමේ බලය විමධ්‍යගත කළ පාලන ව්‍යූහයකි. එහිදී ආර්ථික නිදහස පුළුල් කළ යුතු වුවත්, දේශපාලනය තුළින් ‘වල්බූරු නිදහසට’ ඉඩ නොදෙන ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයක් (Constitutional Authoritarianism) හෙවත් දැඩි විනයක් සහිත පාලනයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වේ. සිංගප්පූරුව වැනි රටවල් දියුණු වූයේ මෙවැනි ආකෘතියක් හරහාය.

ජනතා විමුක්ති පෙරමුණට මේ සම්බන්ධයෙන් යම් ඉවක් තිබුණද, ඔවුන්ගේ ඊනියා මාක්ස්වාදී පක්ෂ අනන්‍යතාවය සහ දෘෂ්ටිවාදී උරුමය ඊට හරස් වේ. එබැවින් චීනය වැනි රටවල ක්‍රියාත්මක වන රාජ්‍ය ධනවාදී ඒකාධිපති රාමුවෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික විසඳුම් සෙවීමට ඔවුන්ට හැකියාවක් ඇතැයි බලාපොරොත්තු වීම උගහටය.

සැබෑ ප්‍රමුඛතාව: බලය රැකගැනීම

ආර්ථිකය ගොඩනැගීමට ප්‍රායෝගික දැක්මක් නොමැති වීමත්, විපක්ෂයේ ඇති දුර්වලතාවයත් මනාව හඳුනාගෙන ඇති ආණ්ඩුව, ඉදිරියේදී මුහුණදීමට සිදුවන දැවැන්ත අර්බුදවලට පෙර සිය බලය තහවුරු කරගැනීමට උත්සාහ දරමින් සිටී. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීමේ සැබෑ අරමුණ එයයි.

තමන්ට හිතවත් හෝ තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන අධිකරණ ව්‍යූහයක් නිර්මාණය කර ගැනීම හරහා, තෝරාගත් දේශපාලන නඩු විභාගයන් කඩිනම් කිරීමටත්, තමන්ට තර්ජනයක් විය හැකි ඇතැම් පුද්ගලයන් කඩිනමින් සිරගත කිරීමටත් ආණ්ඩුවට අවශ්‍ය වී තිබේ. බලය රැක ගැනීමෙන් තොරව තමන්ට කිසිවක් කරගත නොහැකි බව ඔවුහු හොඳින්ම දනිිති. ඔවුන් නිතර දෙවේලේ පුරසාරම් දොඩන ‘ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම’ යනු හුදෙක් බලය ලබාගැනීමට සහ එය රැකගැනීමට පමණක් භාවිතා කරන මෙවලම් පමණක් බව මෙම ක්‍රියාවලියෙන් මනාව ඔප්පු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *