අජිත් පැරකුම් ජයසිංහ
අපේ අතීතය අප විසින් නිර්මාණය කරගත් දෙයක් මිස වෙන කවුරුවත් අප මත අතහැර ගිය එකක් නෙමෙයි. යටත් විජිත පාලකයන් යම් දුරකට එවැනි වගකීමක් දැරිය යුතු වුණත්, අතීත රජවරුන්වත්, පසුගිය 77 වසරේ සිටි පාලකයින්වත් හුදකලා කර ඔවුන්ට වගකීම පැටවිය නොහැකියි.
යම් ප්‍රශ්නයක් විසඳාගන්නට අවශ්‍ය නම්, ප්‍රශ්නය හා එයට හේතුව තේරුම්ගත යුතුයි. ව්‍යාජ හේතු දක්වන අයට කවදාවත් ප්‍රශ්නය තේරුම් ගන්නටත්, එයට විසඳුම් දෙන්නටත් බැහැ.
ඔය අතීතය නිර්මාණය කරන්න ඔබ දායක වෙච්ච හැටි ඔබම කල්පනා කරන්න. පසුගිය 76 වසරකට සාප කරන ජවිපෙ කැරැලි දෙකක් ගැහුවා. ඒ විතරක් නෙමෙයි ජවිපෙ 1994දි, 2000දි, 2004දි චන්ද්‍රිකාගේ පාලනයට සපෝට් කළා. 2005දි මහින්දට සපෝට් කළා. 2015දි සිරිසේනට සපෝට් කළා. ඔය අතීතය නිර්මාණය වුණේ ජවිපෙත් සහයෝගය ඇතිව.
දැන් ඇති වී තිබෙන තත්වය නිර්මාණය වුණේ හිතාමතාම ඔහොම කරන්නට ගත්ත තීරණ තීන්දු නිසා නෙමෙයි. නිසි මොහොතේ නිසි තීරණ නොගැනීම, ගත් තීරණ පවා ක්‍රියාත්මක කරන්නට අසමත් වීම, විවිධ පාර්ශ්වවල නොමනා මැදිහත්වීම් ආදිය ඒකට හේතු වෙනවා. උදාහරණයක් විදියට 2023 මැද භාගයේදී අර නිල්පාට බෝඩ් තියෙන, අර්ධ සුඛෝපභෝගී යයි ව්‍යාජ ලෙස හඳුන්වන, වැඩි ගමන් ගාස්තුවක් අය කරන බස් සේවාව සාමාන්‍ය සේවාවක් බවට පත් කරන්නට රජය තීරණය කළා. බස් හිමියන් අභියාචනාධිකරණෙන් වාරණයක් ලබාගත්තා. තවම ඒ බස් දුවනවා. අධික ලෙස සෙනග පටවාගෙන වැඩි බස් ගාස්තුවකුත් අය කරනවා.
මේ තත්වයට සමාජයත් වගකිව යුතුයි. උදාහරණයක් විදියට ජවිපෙ තම ඉතිහාසය තුළ කෙතරම් උද්ඝෝෂණ, උද්දේශන ආදිය කළත්, කවදාවත් පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් කිසිම මැදිහත්වීමක් කරල නැහැ. කොටින්ම ඒ නායකයන් සියවස් කාලකට වැඩි කාලයක් තිස්සෙ බස්වල කෝච්චිවල ගිහින්වත් නැහැ. බලය ගත්තට පස්සෙ තමයි ඔවුන්ට මතක් වුණේ මෙහෙම එකකුත් තියෙන බව.
බොහෝ දේවල මුලට ගිහින් බැලුවොත් තේරෙයි තත්වයන් වෙනස් වෙලා තිබෙන හැටි. නගරාන්තර ශීඝ්‍රගාමී බස් සේවාවෙ දැන් ඉතුරු වෙලා තියෙන්නෙ ඒසී විතරයි. අධික ලෙස සෙනග පටවාගෙන, හැම තැනම නවත්ත නවත්තා කුර ගානවා. මගීන්ට තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නට බැහැ. බස් කර්මාන්තයේ ඉන්නෙ චන්ඩි. පෞද්ගලික බස් ධාවනය බොහෝ විට කළු සල්ලි සුදු කරන තැනක් වෙලා. ආණ්ඩුව උපදෙස් ගන්නට යන්නෙ බස් කර්මාන්තය පරිහාණියට පත්කරමින් ලාභ ගරාගන්නා සල්ලිකාරයන්ගෙන්. උන් දන්න විසඳුම්!
පෞද්ගලික බස් කර්මාන්තය පැවති දශක පහක විතර කාලය තුළ රජයට අයත් ලංගමත් පැවතුණා. වරින් වර රජයෙන් බස් දුන්නා. ඇතැම් කාලවල මහජන මුදලින් වැටුප් ගෙවන්නටත් සල්ලි දුන්නා. වැඩක් තියෙනවද කියල ඔබම කල්පනා කරල බලන්න.
රටේ බොහෝ ප්‍රශ්න ඔය වගේ. නිසි තීරණ ගන්නට දන්න දේශපාලන හෝ නිලධාරි නායකත්වයක් මේ රටට එදා තිබුණෙත් නැහැ. දැන් ඇත්තෙත් නැහැ. මේ රිලව් අපේ කාලෙ හදපු රිලව් නෙමෙයි, රනිල්ලගෙ කාලෙ හදපු රිලව් කියපු ඇමතිවරයෙකුත් වත්මන් ආණ්ඩුවේ ඉන්නවා. ප්‍රශ්නය තේරුම් ගන්නවා වෙනුවට අතීතයට සාප කරන එක තමයි හැමදාම කළේ. ප්‍රශ්නය තේරුම් නොගෙන විසඳුම් දෙන්නෙ කොහොමද?
මේ අතර, යම් ක්‍රියාමාර්ගයක් ගන්නට උත්සාහ කරපු හැටියෙ හාම්පුතුන්ගේ සංගම්, වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන, දේශපාලන පක්ෂ විරෝධය පානවා. විපක්ෂය හා අන්තවාදී පක්ෂ අවස්ථාවෙන් දේශපාලන වාසි ගන්නට උත්සාහ කරනවා. අධිකරණයට ගිහින් වාරණ නියෝග ගන්නවා. නඩු ඇදගෙන යනවා.
මේ අතර ජනතාව ඉතා අසරණ විදියට තියෙන තත්වය තුළ ස්මාට් වෙන්නට උත්සාහ කරනවා.