Work from home

අජිත් පැරකුම් ජයසිංහ

මා සම්පූර්ණයෙන්ම ගෙදර සිට වැඩ කිරීම ආරම්භ කළේ කොවිඩ්-19ට බොහෝ කලකට පෙරයි. මගේ අත්දැකීම අනුව, එය අතිශය වෙහෙසකරය. එසේම මානසික වශයෙන් පීඩාකාරීය. ඔබ මුහුණ දෙන තත්වය කිසිවකු තේරුම් නොගන්නා විට ඇතිවන්නේ විෂාධ තත්වයකි. ඔබට වැඩ ඇති බව හා ඔබ පරිගණකය ඉදිරියේ වාඩි වී කරන්නේ රැකියාව බව ඔබගේ නිවැසියන්ට තේරුම් කරදීම කළ නොහැක්කකි. ඔවුන් ඔබ ෆේස්බුක් යනු දකිනු ඇත. එහෙත්, ඔබ ෆේස්බුක් යන්නේ තිබෙන අසහනය නිසා බව ඔවුන් දන්නේ නැත. එසේම, ෆේස්බුක් මගින් සිදුවන්නේ ඔබේ අසහනය තවත් වැඩිවීමයි. ඔබට කාර්යාල කාමරයක් තිබුණ ද, ගෙදර යනු ගෙදර නිසා එය කාර්යාලය වන්නේ නැත.

ලංකාවේ අසල්වැසියන්ට, නෑදෑයන්ට, මිතුරන්ට නම් ඔබ ගෙදර සිට වැඩකරන බව තේරුම් කරදෙන්නට යාම තේරුමක් නැති වැඩකි. ඔබ ගෙදර නිකම් ඉන්නා කෙනෙකු ලෙස පෙනෙන නිසා ඔවුන්ගේ වැඩ ඔබේ වැඩවලට වඩා හැමවිටම ප්‍රමුඛය.

කොවිඩ්-19 සීමාකිරීම් හේතුවෙන් ඇතිවී තිබෙන තත්වයන් විසින් ගෙදර සිට ඇත්තටම රැකියා කරන අප වැනි අයට සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමටයි. මා මේ මොහොතේ වැඩ කන්දරාවක් ඇති, කිසිවක් සම්පූර්ණ කරගැනීමට බැරි සිරවීමක හා ඒ හේතුවෙන් ඇතිවන ආතතියක සිරවී සිටින අතර මත්පැන් ටිකක්, දුම්වැටියක් වැනි තාවකාලික සහනයක් හෝ සොයාගැනීමට පවා නැති වන විට තත්වය බරපතල වේ. (ළමයින්ගේ රණ්ඩු ආදිය ගැන කතා කර වැඩක් නැත. ඔවුන් ද සිටිනවා ඇත්තේ කෙතරම් අසහනයකද?) මේ අතර, බිරිඳ අධික වැඩ නිසා රැකියාවටම සින්න වුණ සෞඛ්‍ය සේවිකාවක වන විට හා නිරතුරුව කොවිඩ්-19 අවදානමට විවෘත වන සෞඛ්‍ය සේවක පවුලක සාමාජිකයකු ලෙස එන්නත හෝ ලබාගැනීමට ක්‍රමයක් නැති විට තත්වය සිතාගන්න. එයට අමතරව තෙත් කලාපයේ නිරන්තර වැසි කෝඩයක අව් රැල්ලක් නොමැතිව, ව්‍යායාමයකට, විනෝදයකට එළියට බහින්නට හැන්දෑවක් නොමැතිව ද සිටිමි. එවැනි තත්වයන් ලෝකයේ හැම තැනම නොතිබෙන්නට පුළුවන.

ගෙදර සිට වැඩකිරීමට ලැබීම නව තාක්ෂණයත් සමග උදාවන මහත් භාග්‍යයකැයි බොහෝ දෙනා සිතති. පොදු ප්‍රවාහනය, ට්‍රැෆික් වැනි කරදරවලට ලක්වන්නට අවශ්‍ය නොවීම, නම්‍යශීලී වැඩ කාලයන් ආදිය නිසා බොහෝ අය ගෙදර සිට වැඩකිරීමට කැමැත්තක් දක්වති. එහෙත්, 2007 තරම් ඈත කාලයේ සිට වරින් වර අවුරුදු ගණනාවක් එසේ කර අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මා නම් කියන්නේ එය බොහෝ දෙනා සිතන තරම් සොඳුරු නැති බවයි. සේවා ස්ථානයක් යනු වැඩකරන පරිසරයක සමාජ ජීවිතයකි. බොරු සෝබන කෙතරම් වුවත්, ඒවා කෙතරම් ආස්වාදජනකදැයි වැටහෙන්නේ ඒවා නොමැති පරිසරයක සිටින විටයි. සේවා ස්ථානයකට යාම සඳහා ඔබ අඳින ඇඳුම පවා කෙතරම් වැදගත් දෙයක්දැයි ඔබට වැටහෙන්නේ සරම ඇඳගෙන, ඕනෑ නම් දත්වත් නොමැද වැඩ කරන්නට තරම් ‘නිදහස්’ වැඩ පරිසරයක් ලැබුණු විටයි. වැඩවලට අමතරව තවත් බොහෝ දේ සේවා ස්ථානයක තිබේ. ගෙදර යනු වෙනත් සංදර්භයකි. එහි සමාජ ජීවිතය වෙනස් එකකි. විශේෂයෙන්ම සමාජශීලී පුද්ගලයකුට ගෙදර සිට දිගු කලක් කරන රැකියා දරාගැනීම පහසු නැත. එයින් ඇතිවන අසහනකාරී හැඟීම් නිර්මාණශීලීත්වය කුළුගන්වන්නේ නැත. එය සමස්ත ජීවිතයටම බලපාන්නට ඉඩ තිබේ.

එපමණක් නොව, ගෙදර සිට වැඩකිරීමේදී වැඩ සංවිධානය කරගැනීම ඉතා දුෂ්කරය. ගෙදරදොර කටයුතු, පවුලේ කටයුතු, අසල්වැසියන් සම්බන්ධ කටයුතු හා වෙනත් සමාජ කටයුතු මැද බොහෝවිට රාජකාරි කටයුතු කල් දැමීමට සිදුවේ. වැඩකිරීම සඳහා නිශ්චිත වේලාවක් නොමැති නිසා රාත්‍රියට, පාන්දරට වැඩකිරීමට පෙළැඹිය හැකිය. ලංකාව වැනි රටවල ඩේටා ප්‍රශ්න ද එවැනි චර්යාවලට ඔබ පොළඹවයි. එවිට අවසානයේදී ඔබ ගෙදර සිටියත් හරිහමන් නින්දක් හෝ ලබාගැනීමට බැරිවෙන්නට ඉඩ තිබේ.

ගෙදර සිට වැඩ කරන කාන්තාවන්ට පිරිමින්ටත් වඩා දුෂ්කර තත්වයන්ට මුහුණදෙන්නට සිදුවේ. ස්ත්‍රී පුරුෂ සමාජ ඒකාකෘති හේතුවෙන් දරුවන් මවගෙන් වැඩි අවධානයක් බලාපොරොත්තු වීම එයට හේතුවයි.

ගෙදර සිට වැඩ කිරීමේ අවුරුදු ගණනක අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මා එය තවත් අයෙකුට නිර්දේශ කරන්නේ නැත. ශ්‍රී ලංකාව වැනි රටවල, විශේෂයෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශවල එවැනි ජීවිතයක් තුලනය කරගැනීම සඳහා අවශ්‍ය විනෝදාස්වාද ආදී පහසුකම් ද නැත. ගෙදර සිට වැඩ කිරීම හරහා සේවා ස්ථානයක වැඩ කිරීමෙන් ලබන ශ්‍රම ඵලදායිතාව ලබාගැනීම දුෂ්කරය.

ගෙදර සිට යම් දුරකට හෝ වැඩ කිරීමේ සංස්කෘතියකට යන්නට නම් ලංකාව තව බොහෝ සංවර්ධනය විය යුතුය. බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්බන්ධයක් තිබූ පමණින් ඒ සඳහා අවශ්‍ය සියල්ල සම්පූර්ණ වන්නේ නැත. සම්පූර්ණයෙන්ම ගෙදර සිට වැඩකිරීමේ වැඩ රටාවක් ලංකාවට නම් ගැලපෙන්නේම නැත. මා සිතන පරිදි නම්, ගැලපෙන්නේ ගෙදර සිට වැඩකිරීම සතියේ දින කීපයකට පමණක් සීමා කිරීමයි.

Creative Content Consultants

3 thoughts on “ගෙදර සිට වැඩකිරීම ඔය කියන තරම් ජොලිද?

  1. දිගුකාලීනව සතියේ දිනවල නිවසේ සිටීම කියන්නේ නම් ජීවිතය එපා කරවන වැඩක් තමයි.

    නමුත් පැරාගේ ප්‍රශ්නය පැරා වෙනත් ආයතනයකට නොව තමන්ගේම ස්වයංරැකියාවක් වැනි වැඩක් කිරීම කියායි මට සිතෙන්නේ ඃ.

    ලොකු ආයතනවල සේවකයින් වෙන, වසරකට වඩා නිවසේ සිට සේවය කරන, මගේ මිතුරන් පිරිසක් සිටිනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දවසේ වැඩි හරියක් පුරා ඉන්ටර්නෙට් එක හරහා රැස්වීම්. ඒ වෙලාවට ඔවුන් සමග දුරකථනයෙන් කතා කරන්නවත් බැහැ.

    ඒ සමගම ඔවුන් කියන්නේ නිවසේ සිට වැඩ කිරීම නිසා වැඩ කරන පැය ගණන සහ විශේෂයෙන්ම සහභාගිවීමට ඇති රැස්වීම් ගණන වැඩිවී ඇති බවයි.

  2. ගෙදරදී කරන අධ්‍යයන කටයුතුවලටත් (home studies) ඔය සන්තෑසිය ම තමයි.

  3. Siyalu sathwayo menma minisaa da , kalli gesienata ruchiya . Eya sahaja aashayaki .
    Gedara kaanbarayaka hudekalawa sita online rekiyaawan epaawenne enisaaya .
    Perani gan wala koopi kada janapriya wooye gedara sita koopiyaka rahabeliemata wadaa eya sundara wooyeda enisaaya .
    Hebei , online konde kepiema weni nokeki death emataya.
    Pawathina parisaraya meda siyalla kalamanaakaranaya kalahu mea yugaye hapannu wethi !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: