Dr. Nethanjali Mapitigama

ගැබ්ගෙල පිළිකාව පැතිරෙයි. ඔබ දැනුවත් ද?

2018 වසරේදී අලුතෙන් ගැබ්ගෙල පිළිකා රෝගීන් 1136ක් හඳුනාගනු ලැබූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

ගැබ්ගෙල පිළිකාව යනු ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර තුන්වන වඩාත් සුලබ පිළිකා ප්‍රභේදය වන අතර එය බරපතල ප්‍රජනන සෞඛ්‍ය ගැටලුවක් බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසයි.

ගැබ්ගෙල පිළිකාවලට මූලික හේතුව මානව පැපිලෝමා වයිරසයයි. එය ලිංගිකව සම්ප්‍රේෂණය වන, පහසුවෙන් ව්‍යාප්ත වන ආසාදන තත්වයකි.

ලිංගික වශයෙන් සක්‍රිය සෑම පුද්ගලයකු ම කිසියම් අවස්ථාවකදී මානව පැපිලෝමා වයිරසයෙන් ආසාදනය වෙයි. මෙම වයිරසයේ ස්වරූප 40ක් පමණ ලිංගිකව බෝ වෙයි. එය යෝනි මාර්ගයෙන්, ගුද මාර්ගයෙන් හෝ මුඛ මාර්ගයෙන් කරන ලිංගික ක්‍රියාවලින් බෝ විය හැකි ය. එසේම, සමින් සමට ද බෝ විය හැකි ය. මානව පැපිලෝමා වයිරස් ආසාදන බොහොමයක් හානිකර නො වන අතර රෝග ලක්ෂණ ද නැත. සිරුර විසින් ස්වයංව ම එය පරාජය කරයි. එහෙත්, ඇතැම් ඒවා නිසා ලිංගේන්ද්‍රියයන්ගේ ඉන්නන් ඇති විය හැකි ය. තවත් ඒවායින් මුඛය හා උගුර ආසාදනය වෙයි.

ශ්‍රී ලංකාවේ රෝහල්වල 1996 සිට ක්‍රියාත්මක වන සුවනාරි සායනවලදී ගෙබ්ගෙල පිළිකා සම්බන්ධ පරීක්ෂා කරනු ලැබේ. ගැබ්ගෙල පිළිකා තත්වයන් කාන්තාවන්ගේ ජීවන ගුණයට බලපායි. සෞඛ්‍ය අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA)  සහාය ඇතුව දියත් කරන 2019-2023 සුවනාරි සායන සඳහා ජාතික මූලෝපායික සැලැස්ම අරමුණු කරන්නේ වසර 2023 වන විට, ප්‍රජනන වියේ සිටින සෑම කාන්තාවක ම, විශේෂයෙන් බොහෝ පසුගාමී ප්‍රජාවන්ගේ කාන්තාවන් පවා, ගුණාත්මක සෞඛ්‍ය සේවාවන්ගේ සහ දීප ව්‍යාප්ත සුවනාරි සායනවල සේවා ලබාගන්නා බව තහවුරු කිරීමයි.

මානව පැපිලෝමා වයිරසයට එරෙහි එන්නත මගින් ප්‍රාථමික අදියරේදී ම ගැබ්ගෙල පිළිකා වැළැක්විය හැකි ය. නිසි පරීක්ෂණ හරහා ද්විතීයක මට්ටමේදී ද රෝගය හඳුනාගෙන ගැබ්ගෙල පිළිකා සඳහා ප්‍රතිකාර කළ හැකි පරිදි තාක්ෂණය දියුණු වී තිබේ. ඒ සඳහා කාන්තාවන් ගැබ්ගෙල පිළිකා පරීක්ෂාව සඳහා යොමු විය යුතු ය.

“මෙම මූලෝපායික සැලැස්මේ අරමුණක් වන්නේ ගැබ්ගෙල පිළිකා සම්බන්ධ සෛල විද්‍යා පරීක්ෂණවල සිට වඩා ඵලදායී පරීක්ෂාවක් වන මානව පැපිලෝමා වයිරසය සම්බන්ධ පරීක්ෂාවන් වෙත යොමුවීමයි. වසර 2017දී, අපි මානව පැපිලෝමා වයිරසයට එරෙහි එන්නත 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගැහැණු ළමයින්ට හඳුන්වාදුන්නෙමු. මෙම එන්නත හා මානව පැපිලෝමා වයිරසය සම්බන්ධ පරීක්ෂා ඔස්සේ ගැබ්ගෙල පිළිකාව රටෙන් තුරන් කිරීමේ හැකියාව ඇති බව අපට විශ්වාසයි”, යි සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ

“වැළැක්විය හැකි හේතුවක් මත එක් කාන්තාවක් හෝ මියයනවා නම් එය වැරදි බව අප වටහා ගත යුතුයි. සුවනාරි සායන සඳහා නව මූලෝපායික සැලැස්මක් දියත් කිරීමට මෙය වැදගත් අවස්ථාවක්. කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ව්‍යූහයේ සහ සේවාවන්ගේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට එමගින් අපට හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ සියලු කාන්තාවන්ට ගුණාත්මක සෞඛ්‍ය සත්කාර භුක්ති විඳීමේ හා තම හැකියාවන් පරිපූර්ණ කරගැනීමේ අවස්ථාව මෙමගින් තහවුරු කරනවා”, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකෙන් පවසයි.

(පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය නෙතාංජලී මාපිටිගම සුවනාරි සායන සඳහා ජාතික මූලෝපායික සැලැස්මේ මුල් පිටපත එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකෙන්ට පිරිනමමින්)