Social distancing

කඩ ඇරියාම කළ යුතු දේ

කඩ ඇරියාම පණ කඩාගෙන එහෙ දුවන්න එපා. ඇඳිරි නීතිය සදාකාලික නැහැ. මිනිසුන්ට කෑම බීම අවශ්‍ය බව රජය දන්නවා. ඒ නිසා දිගට ම කඩ වහලා තියන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, ජීවනෝපාය කඩා වැටුණොත් මිනිසුන් බඩගින්නේ මියයන බවත් රජය දන්නවා. ඒ නිසා සියල්ල දිගුකාලීනව වසා දමන්නේ නැහැ. ආහාර හිඟයක් ඇති නොවන පරිදි කටයුතු කරන බව රජය කියනවා. ආණ්ඩුව විශ්වාස කරන්න. ඔබේ නායකයන් විශ්වාස කරන්න.

එහෙම කිව්වාට, පසුගිය දින දෙකේදි ගබඩාවෙන් අඩු වුණ බඩු පුරවාගන්නයි, වෙන්නෙ මොනවද කියල දැනගන්නයි නිකම් හරි හංදියට, ටවුමට යනවානේ. පොඩ්ඩක් නවතින්න! ආයෙමත් හිතන්න, එහෙම යන එක අත්‍යවශ්‍ය ද කියලා. අනවශ්‍ය ගමනකින් ඔබ ඔබේ ප්‍රියයන්ගේත්, ඔබේත් ජීවිතය අනතුරේ හෙළාගන්නට ඉඩ තිබෙනවා. මේක සෙල්ලමක් නෙමෙයි.

ඔබ නගරයට ගොස්, මිනිසුන් අතරින් වයිරසය බෝ කරගෙන ආවොත්, ඔබ කරන්නේ රටටත්, ඔබේ ගමටත්, නෑදෑයන්ටත්, පවුලේ අයටත්, ඔබටමත් ද්‍රෝහීකමක්.

ඒත්, ඔබ කියන දේ අපට පැහැදිලියි. ඔබට යන්නට හේතු තියෙනවා. හොඳයි, යනවා නම්, මෙහෙම කරන්න.

කොවිඩ්-19 පතුරුවන වයිරසයට උදව් නොකර, ඔබට ම රෝගයෙන් වළකින්නට උදව් කරගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය ලබාදෙන්නේ මෙහෙමයි.

වෙළඳසලට යන විට මුව ආවරණයක් පැළඳගැනීමෙන් අමතර ආරක්ෂාවක් ලැබෙනවා.

ඔබ පෝලිමක සිටගෙන සිටින විට, ඔබ සහ අනෙකුත් පාරිභෝගිකයන් අතර අඩු වශයෙන් මීටර් එකක පරතරයක් තබාගන්න.  

වෙළඳසලට ඇතුළු වන විට, සබන් හෝ අත් සෝදන ද්‍රාවණයක් භාවිතා කර  දෑත් සෝදන්න. සුපිරි වෙළඳසල්වල නම් මේවා ලබාදෙනවා. දෑත් සේදීමෙන් වයිරසය ව්‍යාප්තිය සාර්ථක ලෙස මැඩලිය හැකි බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.

හේතුවක් නොමැතිව ඇස් සහ නාසය ඇල්ලීමෙන් වළකින්න. එසේ ඇල්ලීම වයිරසය පැතිරීමට හේතු වෙනවා.

ඔබට උණ, කැස්ස, සීතල වැනි රෝග ලක්ෂණ තිබේ නම්, කිසි සේත් ම වෙළඳසල්වලට යන්නට එපා. ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී තිබෙන නිසා ඔබට වයිරසය ආසාදනය වෙන්නට තිබෙන අවස්ථාව වැඩියි.

ඔබට අවශ්‍ය දේ, අවශ්‍ය ප්‍රමාණයට විතරක් මිල දී ගන්න. ඒ භාණ්ඩ අවශ්‍ය තවත් මිනිසුන් සිටින බව සිතන්න. එය ඔබගේ ජාතික වගකීමක්.

වෙළඳසල්වල පෝලිමේ සිටින විට වැඩිහිටියන්ට ඉදිරියට යාමට ඉඩ දෙන්න. කොවිඩ්-19 පතුරුවන වයිරසය නිසා ඔවුන් අනෙක් අයට වඩා දැඩි ලෙස අසනීප වීමේ ඉඩක් තිබෙනවා. ඔවුන්ට හැකි ඉක්මණින් පිටවෙන්නට ඉඩදෙන්න.

හැකිනම් මුදල් අතපතගානවා වෙනුවට ගෙවුම් කාඩ්පත් පාවිච්චි කරන්න.

වෙළඳසලෙන්, මුදල් ලබාගන්නා යන්ත්‍ර කුටියෙන් පිටතට පැමිණි වහාම හැකි නම් දෑත් සෝදාගන්න. නැතිනම් විෂබීජ නාශක යොදා පිරිසිදු කරගන්න.

අතරමග රස්තියාදු නොවී, හැකි ඉක්මණින් ගෙදර එන්න. ඥාතීන්, මිතුරන් බලන්නට යන්න එපා. වයසක වැඩිහිටියන් සිටින තැන්වලට යන්නම එපා.

ගෙදර ආ හැටියේ දෑත් සබන් හා වතුර යොදා තත්පර 20ක්වත් සෝදාගන්න. ඇඳුම්, පාවහන් ආදිය අව්වේ දමා වේලාගන්න.

විස්තර කියන්නට අල්ලපු ගෙදරට යන්න එපා. ගෙදර ම ඉන්න.