අජිත් පැරකුම් ජයසිංහ

දශක හතරකට වැඩි කාලයක් පුරා මෙරට පුරවැසියන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ දේශපාලන විරුද්ධවාදීන් නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් සිරගත කිරීමට යොදාගත් කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහමුලින්ම අහෝසි කරන බවට පොරොන්දු වෙමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේය. එහෙත් අද සිදුවෙමින් පවතින්නේ එම මර්දනකාරී නීතිය අහෝසි කිරීම වෙනුවට, ඊටත් වඩා බිහිසුණු සහ එකිනෙකට බැඳුණු නීතිමය ස්තර දෙකක් ඔස්සේ සාමාන්‍ය පොදු ජනතාවගේ එදිනෙදා ජීවිතය, පෞද්ගලිකත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගිලගැනීමේ සූක්ෂ්ම ව්‍යාපෘතියකි. ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (POCA) යන පනත් ද්විත්වය හරහා නිර්මාණය වන්නේ දේශපාලනඥයන්ට හෝ මාධ්‍යවේදීන්ට පමණක් නොව, මහමඟ බැස තම අයිතීන් වෙනුවෙන් හඬ නගන සෑම සාමාන්‍ය පුරවැසියෙකුටම එරෙහිව ක්‍රියාත්මක කළ හැකි මර්දන යාන්ත්‍රණයකි.

එක පනතකින් ගිලිහෙන මර්දනය අනෙක් පනතට රිංගවා පොදු ජනයා කොටු කිරීම

එක් පනතකට එල්ල වන දේශීය හා ජාත්‍යන්තර විරෝධය මඟහැරීම සඳහා, ඉන් ඉවත් කරන මර්දනකාරී වගන්ති ඊටත් වඩා දරුණු ස්වරූපයෙන් අනෙක් පනතට ඇතුළත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. මේ හරහා සාමාන්‍ය පුරවැසියාගේ නිදහස සහ ආරක්ෂාව අහිමි වන ආකාරය පනත් කෙටුම්පත් ද්විත්වයෙන්ම පැහැදිලිව පෙනී යයි:

පොලිස් වධහිංසාවට සහ බලහත්කාරී පාපොච්චාරණවලට පුරවැසියා ගොදුරු කිරීම: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) පවා නිරීක්ෂණය කළ පරිදි, නව PSTA කෙටුම්පතෙන් පොලිස් නිලධාරියෙකු ඉදිරියේ කරන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමේ වගන්තිය ඉවත් කර තිබිණි. එහෙත් පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ කුප්‍රකට 16 වැනි වගන්තියට සමානව, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ (POCA) 47 වැනි වගන්තිය මඟින් සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP) ඉදිරියේ කරන පාපොච්චාරණ අධිකරණයේදී සාක්ෂි ලෙස පිළිගැනීමට ප්‍රතිපාදන සලසා ඇත. පොලිස් අත්අඩංගුවට පත්වන සාමාන්‍ය පුරවැසියෙකුට පහර දී හෝ බිය ගන්වා බලහත්කාරයෙන් ප්‍රකාශ ලබා ගැනීමේ අවදානම මෙමඟින් නීත්‍යනුකූල කර තිබේ.

පුරවැසියාගේ දුරකථන හා පෞද්ගලික දත්ත රහසිගතව පරීක්ෂා කිරීම: 2025 දෙසැම්බර් මස ප්‍රසිද්ධ කළ PSTA මුල් කෙටුම්පතේ 53 සහ 54 වගන්ති මඟින්, අදාළ පුද්ගලයාට දැනුම් දීමකින් තොරව ඒකපාර්ශ්විකව (ex-parte) සහ අප්‍රසිද්ධියේ (in-camera) පවත්වන නඩු විභාග හරහා දුරකථන සේවා සම්පාදකයන්ගෙන් සහ මෙටා (Meta) වැනි සමාජ මාධ්‍ය ජාලවලින් පුරවැසියන්ගේ සන්නිවේදන දත්ත හා රහස්‍ය කේත ලබා ගැනීමට පොලීසියට බලය පවරා තිබිණි. එල්ල වූ දැඩි විරෝධය හමුවේ 2026 සැප්තැම්බර් 18 ගැසට් කළ PSTA කෙටුම්පතෙන් එම වගන්ති ඉවත් කළ ද, 2026 ඔක්තෝබර් 06 වැනිදා ගැසට් කළ POCA කෙටුම්පතේ 28, 44 සහ 45 වගන්ති හරහා පුරවැසියන්ගේ දුරකථන සංවාදවලට රහසිගතව සවන් දීමට, ස්ථාන දත්ත (Location data) ලබා ගැනීමට සහ පෞද්ගලික ජංගම දුරකථන හෝ පරිගණකවල මුරපද ලබා දීමට බල කිරීමට පොලීසියට යළිත් බලය පවරා තිබේ.

ගමේ විරෝධතාව හෝ වැඩවර්ජනය ‘ත්‍රස්තවාදයක්’ සහ ‘සංවිධානාත්මක අපරාධයක්’ කිරීම: PSTA පනතේ 3 වැනි වගන්තිය මඟින් රජයට බලපෑම් කිරීමේ අරමුණින් “සැලකිය යුතු ආර්ථික අලාභයක්” සිදු කිරීම, සේවා අඩාල කිරීම හෝ සුළු තුවාල සිදුකිරීම් (hurt) පවා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අතිශය පුළුල්ව නිර්වචනය කර ඇත. ඊට සමගාමීව POCA පනතේ 3 සහ 66 වගන්ති යටතේ පුද්ගලයන් තිදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එක්ව වසර 4කට වැඩි සිරදඬුවම් ලැබිය හැකි වරදක් කළහොත් ඔවුන් ‘සංවිධානාත්මක අපරාධ කල්ලියක්’ ලෙස සැලකේ. පොදු ජනතාව පාරට බැස කරන උද්ඝෝෂණයකදී පොලීසිය සුලබව භාවිත කරන ‘රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම’ යන දණ්ඩ නීති සංග්‍රහයේ වරද POCA පනතේ පළමු උපලේඛනයට ඇතුළත් කර ඇති බැවින්, තම ගමේ පානීය ජල ප්‍රශ්නයකට, වගා හානියකට හෝ වැටුප් ගැටලුවකට එරෙහිව පාරට බසින සාමාන්‍ය පුරවැසියන් තිදෙනෙකු වුවද ‘සංවිධානාත්මක අපරාධ කල්ලියක්’ ලෙස නම් කර දීර්ඝ කාලීන රැඳවුම් නියෝග මත සිරගත කිරීමට මේ හරහා පාර කැපේ.

වරෙන්තු රහිත අත්අඩංගුවට ගැනීම්, හමුදා බලතල සහ ඇප අහිමි කිරීම: රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමෙන් (SC/SD/136/2026) පෙන්වා දී ඇති පරිදි, PSTA පනතේ 26 සිට 29 සහ 40 වගන්ති මඟින් විධායකයට රැඳවුම් නියෝග නිකුත් කිරීමටත්, ඇප ලබාදීමේ අධිකරණ බලතල සීමා කර අනිවාර්ය රිමාන්ඩ් කිරීමටත්, සැකකරුවෙකුට නීතිඥ සහාය ලබාගැනීමේ අයිතිය සීමා කිරීමටත් ප්‍රතිපාදන සලසා ඇත. තවද 19, 20 සහ 24 වගන්ති මඟින් පොලීසියට මෙන්ම ත්‍රිවිධ හමුදාවට ද සාමාන්‍ය ජනතාවගේ නිවාස හා දේපළ සෝදිසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට පුළුල් බලතල පවරා තිබේ. එමෙන්ම, අධිකරණයකින් වරදකරුවෙකු නොකළ පුරවැසියෙකුගේ පවා ගමන් බිමන් සහ සන්නිවේදනය සීමා කරමින් ‘සීමා කිරීමේ නියෝග’ (Restriction Orders) පැනවීමට 60 වැනි වගන්තියෙන් බලය දී ඇත.

විපක්ෂයේ සිටියදී ජනතාව වෙනුවෙන් කී බණ සහ බලයට පැමිණි පසු ක්‍රියාව

මෙවැනි පනත්වලින් සැබෑ ලෙසම බැටකන්නේ පාතාල නායකයන් හෝ ත්‍රස්තවාදීන් නොව, තම ජීවන අරගලය වෙනුවෙන් හඬ නගන සාමාන්‍ය පුරවැසියන් බව වත්මන් පාලකයෝ විපක්ෂයේ සිටියදී ඉතා හොඳින් දැන සිටියහ. 2023 අප්‍රේල් 03 වැනිදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී, වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා එවකට රජය ගැසට් කළ ප්‍රති-ත්‍රස්ත පනතෙන් පොදු ජනතාවට සිදුවන බලපෑම පැහැදිලි කළේ මෙලෙසිනි:

“මේ පනත ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පනතක්. විධායකයට අභියෝග එල්ලවන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නයි මේ පනත ගෙන එන්නේ. මේ පනතේ ‘ත්‍රස්තවාදී වරදක්’ කියන වචනයට ඉතා පුළුල් අර්ථකථනයක් දී තිබෙනවා… ත්‍රස්ත ක්‍රියාවක් යනු කුමක්ද යන්නට හරියටම අර්ථකථනයක් දෙන්නට බැහැ. එය එම මොහොතේ පොලිසියට හෝ ආණ්ඩුවට හිතෙන විදියට විය හැකියි.”

එදා ඔහු රතුපස්වල සහ මීතොටමුල්ල වැනි සාමාන්‍ය ජනතාවගේ උද්ඝෝෂණ සහ ෆේස්බුක් සටහනක් පවා ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය වන හැටි පෙන්වා දෙමින් තවදුරටත් මෙසේ ප්‍රශ්න කළේය:

“බැලූ බැල්මට මේ හානි වැළැක්වීම හොඳයි. මේ සියල්ලටම දඬුවම් දීමට අපරාධ නීතිය හොඳටම ප්‍රමාණවත්. එසේ නම් ඇයි මේ ත්‍රස්ත විරෝධී පනතක් ගෙනඑන්නේ? උදාහරණයක් ලෙස, මේ පනත බලාත්මක වී තිබුණා නම්, රතුපස්වල සිදුවීමත්, මීතොටමුල්ලේ කුණු දැමීමේ සිදුවීම, රජය විසින් රජයේ ඉඩම් අත්පත් කර ගන්නා විට රජයේ නියෝග පිළිපදින්නේ නැත්නම්, ඒවා මේ පනත අනුව ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සැලකිය හැකියි. වචනයකින් හෝ කතාවකින් එවැන්නක් කළ නොහැකියි. ෆේස්බුක් පෝස්ට් එකක්වත් දැමිය නොහැකියි… මෙයින් ප්‍රකාශ වන්නේ එයාලා අකමැති ඕනෑම දෙයක් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස අර්ථකථනය කරන්න, රජයට හැකියාව තිබෙන බවයි.”

විපක්ෂයේ සිටියදී පීඩාවට පත්වන ජනතාව පාරට බසින විට ඔවුන්ව ත්‍රස්තවාදීන් ලෙස සලකා වසර 20ක් සිරගත කිරීමට එම පනත ගෙන එන බවට තර්ක කළ නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාම, අද ඊටත් වඩා දරුණු වගන්ති සහිත PSTA සහ POCA පනත් කෙටුම්පත් ගෙන එන රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු වී සිටියි. එදා 2023 වසරේදීම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හරහා විනිසුරුවරුන් බියගැන්වීමට එරෙහිව හඬ නැගූ ජාතික ජන බලවේගයේ නීතිඥයන්ගේම නියෝජිතවරියක වන පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය, බලයට පැමිණි පසු රාජ්‍ය නිලධාරීන්ට සහ විවේචකයන්ට එරෙහිව එම වරප්‍රසාද අවියම භාවිත කිරීමට පෙළඹීම ද බලය හමුවේ ප්‍රතිපත්ති පාවා දීමේ කැඩපතකි.

ශ්‍රී ලංකා පොලීසියේ සැබෑ හැසිරීම සහ ස්වයං-පීඩක දේශපාලනය

විකෘති කාමාශාවන් හෝ ස්වයං-පීඩක මනෝභාවයන්ගෙන් පෙළෙන පුද්ගලයන් හැර, මොළයක් ඇති ඕනෑම දේශපාලනඥයෙකු තේරුම් ගත යුතු මූලික යථාර්ථයක් තිබේ. එනම්, තමන් බලයෙන් ගිලිහුණු දවසක තමන්ට සහ තම පාක්ෂිකයන්ට එරෙහිවත් ශ්‍රී ලංකා පොලීසිය මෙම මර්දනකාරී නීති ඒ අයුරින්ම භාවිත කරන බවයි.

ශ්‍රී ලංකා පොලීසිය සාමාන්‍ය නීතිය යටතේ පවා අසරණ පුරවැසියන්ට එරෙහිව කටයුතු කරන ආකාරය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ චාමර චතුරංග නමැති පුරවැසියාගේ නඩුවෙන් මනාව තහවුරු වේ. පොලීසිය විසින් ගොතන ලද ව්‍යාජ මත්ද්‍රව්‍ය චෝදනාවකදී, දීර්ඝ නඩු ප්‍රමාදයට, උසාවි රස්තියාදුවට, පොලිස් පළිගැනීම්වලට සහ රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට ඇති බිය නිසාම තමන් නොකළ වරදක් අධිකරණය හමුවේ පිළිගෙන දඩයක් ගෙවා නිදහස් වීමට එම පුරවැසියාට සිදු විය. සාමාන්‍ය නීතිය යටතේ පවා අහිංසක මිනිසුන්ට බොරු නඩු පටලවන පොලීසියකට, සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඉදිරියේ කරන පාපොච්චාරණ සාක්ෂි ලෙස ගැනීමේ බලය (POCA 47 වගන්තිය) සහ වසර ගණන් ඇප නොදී රඳවා තබා ගැනීමේ බලය ලබා දුන් විට සාමාන්‍ය පුරවැසියාට අත්වන ඉරණම සිතාගත හැකිය.

අද ආණ්ඩු හිතවාදීන් සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා ඔස්සේ ‘අතථ්‍ය අධිකරණ’ (Virtual Courts) පිහිටුවාගෙන, තම දේශපාලන විරුද්ධවාදීන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගසා පොලීසියේ මීයන් කන කූඩුවක රැඳවිය යුතු බවට හෝ ඇප නොදී මිහිපිට අපායක් බඳු අධික තදබදයක් ඇති රිමාන්ඩ් බන්ධනාගාරවල සිර කළ යුතු බවට ප්‍රීතිඝෝෂා නගති. එහෙත් දේශපාලන බලය වෙනස් වූ සැණින් “අප සෑම දෙනෙකුම පහසුවෙන් සිරකරුවන් බවට පත් විය හැකිය” යන සත්‍යයත්, “අනුන්ගේ විපතෙන් සතුටු නොවන්න, ඕනෑම මොහොතක ඔබත් විපතට පත් විය හැකිය” යන පාඩමත් ඔවුන්ට අමතක වී තිබේ.

සදාකාලික බලය පිළිබඳ මුළාව සහ ‘ඩීල්’ දේශපාලනයේ ඉරණම

තමන් සදාකාලිකවම බලයේ සිටිනු ඇතැයි සිතමින් මෙවැනි මර්දනකාරී නීති සම්පාදනය කරන්නේ නම්, ඔවුන් දේශපාලන ඉතිහාසයෙන් කිසිදු පාඩමක් උගත් නැති අන්ත අඥානයන් පිරිසකි. රාජ්‍ය බලය යනු සදාකාලික දෙපළක් නොව, ඕනෑම මොහොතක ජනතා වරමින් ගිලිහී යා හැකි තාවකාලික භාරකාරත්වයකි.

මීට හොඳම නිදසුන වන්නේ, සෑම පාලන තන්ත්‍රයක් සමඟම මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සමඟ පවා දේශපාලන ගනුදෙනු පවත්වා ගනිමින් මෙරට දේශපාලන කරළියේ ‘ඩීල්දාස’ යන අන්වර්ථ නාමයෙන් කුප්‍රකට වූ හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ ඉරණමයි. පුරවැසි නිදහස හකුළුවන මර්දනකාරී අණපනත් සහ දැඩි නීති ප්‍රතිපාදන ගෙන ඒමට මූලිකත්වය ගත් ඔහුට, අවසානයේදී තමන් විසින්ම ශක්තිමත් කළ නීතිමය හා පොලිස් විමර්ශන යාන්ත්‍රණයන් තමන්ගේම පවුලේ සාමාජිකයන්ට එරෙහිව පාරාවළල්ලක් වී ක්‍රියාත්මක වන අයුරු අත්විඳීමට සිදු විය.

අතීත පාලකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට එම මර්දනකාරී නීති පාරාවළල්ලක් වූ ආකාරය දෙස බලාවත්, පොදු ජනතාවගේ මූලික නිදහස වනසන සහ යම් දිනෙක තමන්ටම එරෙහිව කැරකෙන ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (POCA) වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති ගෙන ඒමෙන් වත්මන් පාලකයන් වහාම වැළකී සිටිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *