Police and Army in traffic control in Sri Lanka

මහජන ආරක්ෂාව වෙනුවෙන් මහජනයා මරා නොදැමීමේ සීලය

අජිත් පැරකුම් ජයසිංහ

කොවිඩ්-19න් සමාජය ආරක්ෂා කිරීම සඳහා ඉන්දීය පොලිසිය පොලු පහර දී ළමයින් මරා දැමීම දක්වා අමානුෂික ක්‍රියාවල නිරත වන ආකාරය මාධ්‍ය මගින් පෙන්වන ලදී.

Translations

ශ්‍රී ලංකාවේ ද පොලිස් නිලධාරියකු මාධ්‍ය කැමරාකාරයකු සමග එක් වී ඇඳිරි නීති කඩ කළ පුද්ගලයන් පිරිසකට අත් මාරු කරගෙන කන් අල්ලාගෙන තෝප්පු ගසන්නට සලස්වා ආන්දෝලනාත්මක වැඩ තහනමකට ලක් වී නැවත සේවයේ පිහිටුවන ලදී.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා එවැනි නින්දිත ප්‍රසිද්ධියක් ලබාගැනීමට කැමැත්තක් නොදැක්වීම අගය කළ යුතු ය. මන්ද, ඔහු එවැනි ක්‍රියා අනුමත කළේ නම්, ඒවා වර්ණනා කිරීමෙන් නොනැවතී, තමන් පවා ඒ වෙනුවෙන් ඉදිරිපත් වන්නට සූදානම් බුද්ධි හීන ආධාරකරුවන් රාශියක් ද ඔහුට සිටින බැවිනි.

සමාජය ආරක්ෂා කිරීම සඳහා මිනිසුන් මරා දැමීමට රජයට අයිතියක් තිබේ ද යන කාරණය මේ මොහොතේ සාකච්ඡා කිරීම වැදගත් යයි සිතමි. මන්ද, ශ්‍රී ලංකා රජය, ඉහළ රාජ්‍ය නිලධාරීන් හා පොලිසිය, හමුදාව වැනි ආයතන රටේ පුරවැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවලස්සන ඉතිහාසයක් ඇති අය වීම නිසා ය. එපමණක් නොව, ලංකාවේ මාධ්‍ය ද ඝාතන ප්‍රවර්ධනය කිරීමේ හා අනුමත කිරීමේ අවලස්සන භාවිතාවකින් යුක්තය. ජනතාව පාර්ශ්වයෙන් ගත්ත ද තිබෙන්නේ යහපත් තත්වයක් නොවේ.

ශ්‍රී ලංකාව දැන් හතළිස් වසරකට වැඩි කාලයක් තිස්සේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ නැත. කලින් කලට ඇතැම් රාජ්‍ය නායකයන් ලේ පිපාසිතයන් සේ පෙනී සිටිමින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට කැස කෑ නමුත්, කිසිවෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර ඉතිහාසගත වීමේ එඩිතරකමක් තිබුණේ නැත.

යුදමය තත්වයක් වැනි අවස්ථාවකදී පවා යුද නීතිවලට පටහැණි නොවන අන්දමින් මිස මනුෂ්‍ය ඝාතනයේ යෙදීමේ හැකියාවක් රජයට හෝ සටන්කාමී පාර්ශ්වවලට නැත. එහෙත්, ශ්‍රී ලංකා රජයට මෙන් ම, මෙරට ක්‍රියාත්මක වූ සටන්කාමී සංවිධානවලට ද, නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කිරීමේ සිට යටත් වූ යුද සිරකරුවන් ඝාතනය කිරීම දක්වා මහා පරිමාණ ඝාතන සම්බන්ධයෙන් අවලස්සන ඉතිහාසයන් තිබේ.

කොවිඩ්-19න් සමාජය බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග විමසා බැලීමේදී ආරක්ෂාව වෙනුවෙන් ජනතාව ඝාතනය කිරීම වැනි ඉන්දියානු මොඩලයේ ක්‍රියාමාර්ග සිදු නොවීම ප්‍රශංසාවට ලක් කළ යුතු ය. එහෙත්, නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලු සහිත ඊනියා ඇඳිරි නීති මුවාවෙන් මේ වන විට 50,000ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වැඩි දෙනෙකු ඇප පිට නිදහස් කර තිබෙනවා විය හැකි ය. එහෙත්, ඔවුන්ට රජය පොදු සමාවක් දිය යුතු ය.

සමාජ මාධ්‍ය ඔස්සේ යම් ආකාරවලින් වගකීම් විරහිතව හැසිරුණු බවට රජය සැක කරන පුද්ගලයන් පිරිසකට එරෙහිව රජය නීති මගින් ක්‍රියා කළේ ය. ඇතැමෙකු තවමත් අත්අඩංගුවේ ය. ගැටලුව නීති ක්‍රියාත්මක කිරීම නොවේ. ඇතැම් අවස්ථාවල රජය නීති අවභාවිතා කරන බව පෙනීමයි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත ඇතැම් විට පොලිසිය විසින් භාවිතා කරනු ලබන්නේ අදහස් ප්‍රකාශනයේ නිදහසට එරෙහිවයි. විවේචන ඉවසීමේ හැකියාව සම්බන්ධයෙන් රජය ලෝකය ඉදිරියේ පරීක්ෂාවට ලක්වෙමින් තිබේ.

මේ අතර, රජයත්, රාජ්‍ය පාක්ෂික මාධ්‍යත් සුළු ජාතීන් හා විශේෂයෙන් ම මුස්ලිම් ජාතිය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රවේශය මහ ජාතිවාදී ස්වරූපයකින් යුක්ත යයි චෝදනාවක් එල්ල වේ. කිසියම් සුළුතර ප්‍රජාවක් අතර ජාතිවාදය පැවති පමණින් රජයකට බහුතර ජාතිවාදය වැළඳගැනීමේ අයිතියක් නැත.

ශ්‍රී ලංකා රජය හෙට සිට ලොක් ඩවුන් ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයකි. මේ වන විට රටේ ආර්ථිකය බිඳ වැටී හමාර ය. විශේෂයෙන් ම, ඵලදායී වැඩ කරන ජනතාවට වැඩ කිරීමේ අවස්ථාව ලබා නොදී රට ගොඩගත නොහැකි ය.

ක්‍රමානුකූලව රට විවෘත කිරීමත් සමග රජය වැඩි අභියෝග ප්‍රමාණයකට මුහුණ දෙනු ඇත. මෙම ලිපියේ අරමුණ වන්නේ මහජන ආරක්ෂාව වෙනුවෙන් මහජනයාට හිරිහැර නොකිරීමේ රජය මෙතෙක් කල් අනුගමනය කළ සීලය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටීමයි. පාලකයන් පරිණත වනු දැකීමට ජනතාව ලෙස අප කැමති ය.