Gotabaya Rajapaksa

අලුත් රැකියා 150,000 සමග 10න් 1ක්ම රජයේ රැකියාවල

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකා රජය මේ වන විට පවතින්නේ දැඩි මුල්‍ය අර්බුදයක බව ප්‍රසිද්ධ කරුණකි. මුදල් අච්චු ගැසීම, ආනයන සීමා කිරීම හා ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ගමන් සීමා වීම මගින් යම් සහනයක් ලැබී තිබේ.

Translations by Creative Content Consultants

එහෙත්, රටේ විදේශ විනිමය ආදායම් මාර්ග වැඩි හරියක් අඩපණ වී තිබේ. විදේශ රැකියාවලින්, ඇඟලුම් වැනි අපනයනයන්ගෙන් ලැබෙන ආදායම් අඩු වී තිබියදී, සංචාරක කර්මාන්තය මුළුමනින් ම වාගේ බිඳ වැටී තිබේ.

ආණ්ඩුව රජයේ රැකියා 150,000ක් දෙන්නට යන්නේ මේ අතර ය. රජයේ සේවකයෝ 25,000ක් පමණ සෑම වසරක ම විශ්‍රාම යති. එහෙත්, ඒ විවිධ වෘත්තීය ක්ෂේත්‍රවලට අයත් වන අතර, ඔවුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා අදාළ වෘත්තීය සුදුසුකම් අදාළ වේ.

රජය රැකියා දෙන්නට යන්නේ පුරප්පාඩු පිරවීමට වඩා රස්සා දීම සඳහා ය. උපාධිධාරීන්ට වෘත්තීය පුහුණුවක් නැත. පෞද්ගලික අංශයේ ඵලදායී රැකියාවල යෙදී සිටි අය ද මෙම රැකියාවලට අයදුම් කළ හ. පෞද්ගලික අංශයේ සේවක අර්ථසාධක අරමුදලට, සේවක භාරකාර අරමුදලට දායකත්වය ලබාදුන් උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා නොදෙන්නට රජය ගෙන තිබෙන තීරණය නිසා දැන් උපාධිධාරීන් නැවත වීදි සටන්වලට කැඳවන තත්වයක් නිර්මාණය වී තිබේ.

පෞද්ගලික අංශයේ රැකියාවක් කිරීමේ හැකියාව තිබුණු කුසලතා සහිත පිරිස අතහැර දමා රස්සාවක් සොයාගත නොහැකි අසාර්ථක පිරිසකට රජයේ රැකියා දීම විකෘතිය තුළ තවත් විකෘතියකි. මෙය වනාහි ශ්‍රී ලංකා රජයට රැකියා ලබාදීමේ ප්‍රතිපත්තියක් නොමැතිකමයි.

දිළින්දන්ට ද රැකියා 50,000ක් දෙන්නට යයි. ඔවුන්ට ද කිසිදු වෘත්තීය පුහුණුවක් නැත. මෙම පිරිස් බඳවා ගනු ලබන්නේ පුහුණු කර රජයේ සේවයට අන්තර්ග්‍රහණය කරගැනීම සඳහා ය. එහෙත්, මෙම පුහුණුවෙන් ආවරණය වන අංශවලට වඩා ආවරණය නොවන අංශ වැඩි ය. එම අංශවල පුරප්පාඩු සඳහා බඳවාගැනීම් වෙනම සිදු කෙරේ.

මෙමගින් රාජ්‍ය අංශය තවදුරටත් ප්‍රසාරණය වන අතර, මහජනයාට දරන්නට සිදු වන බදු බර තවත් වැඩි වනු ඇත.

මෙමගින් කරනු ලබන්නේ මහජනයා මත ආධිපත්‍යය පිහිටුවාගත්, රජයෙන් යැපෙන මධ්‍යම පන්තිය තවදුරටත් පුළුල් කිරීමයි. එය දේශපාලකයන්ගේ හා ඔවුන්ට වාසිදායක වත්මන් රාජ්‍ය ක්‍රමයේ පැවැත්මට යෝග්‍ය ය. එහෙත්, මෙම රාජ්‍ය නිලධාරී මධ්‍යම පන්තික තලය නඩත්තු කරන්නේ කෙසේ ද?

ඒ සඳහා බර දරන්නට සිදු වන්නේ මෙරට පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවට සහ ව්‍යවසායකයන්ට ය.

දැනටත් රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 14ක් සිටින අතර, රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ හයහමාරක් පමණ වේ. අලුතෙන් බඳවා ගනු ලබන පිරිස ද සමග රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ 22 ඉක්මවනු ඇත. එය මෙරට ජනගහනයෙන් 10%කි. සෑම දහදෙනෙකුගෙන් ම එක් අයෙකු ඍජුව ම රජයෙන් යැපෙන අයෙකු වනු ඇත.

මේ තරම් දැවැන්ත රජයකින් මෙරට ජනතාවට තිබෙන ප්‍රයෝජනය කුමක් ද?

කෙසේ වෙතත්, පහත දැක්වෙන්නේ රජයේ උපාධිධාරී රැකියා පිළිබඳ උපාධිධාරී සංගමයකින් දැනට ම මතු වී තිබෙන විරෝධයයි.

Translations
විරෝධතාවේ යෙදෙන අසාධාරණයට ලක් වූ බව කියන උපාධිධාරීන් – 2020 අගෝ්තු 18 (ඡායාරූපය සමාජ මාධ්‍ය වෙතිනි)