over-45-graduates

රාජ්‍ය අංශයේ පුරප්පාඩු අභ්‍යන්තර තුලනය මගින් පියවීම

අජිත් පැරකුම් ජයසිංහ

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් තමයි රාජ්‍ය වියදම. එයට ප්‍රධාන හේතුවක් තමයි, රාජ්‍ය සේවක අතිරික්තය. එවැනි අතිරික්තයක් තියෙන්නට ප්‍රධානම හේතුව තමයි රැකියා විරහිත උපාධිධාරීන්ට පුරප්පාඩු නොමැතිව රජයේ රැකියා සැපයීම.

මෙය 2001-2004 කාලයේදී පැවති රජය විසින් නතර කර තිබුණා. ඒත්, ඉන් පසු බලයට පැමිණි ජවිපෙ සමග හවුල් ශ්‍රීලනිප ආණ්ඩු (චන්ද්‍රිකා සහ මහින්ද) නැවත උපාධිධාරීන්ට රැකියා ලබාදීම ආරම්භ කළා. එසේ උපාධිධාරීන්ට රැකියා පිරිනැමූ ඇතැම් උත්සවවල ජවිපෙ නායකයන් කතා පවත්වමින් එසේ රැකියා නොදීම ගැන කලින් ආණ්ඩුවට දෙහි කැපුවා. මේ වීඩියෝ තවමත් අන්තර්ජාලයේ තිබෙනවා. කවුද එහෙම රස්සා දුන්නෙ කියල අහන ජවිපෙ කට්ටියට ඒ වීඩියෝ නැවත බලන්නට පුළුවන්.

වර්තමාන රජය රාජ්‍ය අංශයේ බඳවාගැනීම් නවත්තලා. ඒ වෙනුවට රාජ්‍ය සේවයේ පුරප්පාඩු අභ්‍යන්තර අතිරික්ත සේවකයන් මගින් තුලනය කිරීම ආරම්භ කර තිබෙනවා. මෙය ඉතා හොඳ ප්‍රතිපත්තියක්. පසුගිය කාලයේ සංවර්ධන සහකාරවරුන් ලෙස රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට තවමත් පැහැදිලි සේවා වගකීමක් හෝ උසස්වීම් පටිපාටියක් නැහැ.

ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දැන් රජයේ සේවයේ යෙදී සිටින මෙම උපාධිධාරීන් වෙතින් අයදුම්පත් කැඳවීමට දැන් රජය කටයුතු කර තිබෙනවා. මෙය ඉතාම හොඳ දෙයක්.

ගුරු වෘත්තියට බඳවාගැනීම් කළ යුත්තේ විධිමත් පුහුණුවකින් පසුවයි. ඒ සඳහා දැනටත් අධ්‍යාපන විද්‍යා පීඨ තියෙනවා. දැනට ඩිප්ලෝමා මට්ටමේ තිබෙන එම වෘත්තීය සුදුසුකම සේවයට බැඳුණු පසු විශ්වවිද්‍යාලයකින් ලබාදෙන වෘත්තීය සුදුසුකම් උසස් කිරීමේ (top up) උපාධියක් මගින් සම්පූර්ණ කළ හැකියි.

උපාධිධාරීන් ඍජුව ගුරු වෘත්තියට බඳවාගැනීම අවශ්‍ය වන්නේ ඇතැම් විෂයයන් සඳහා පමණයි. එවැනි අය වෙනුවෙන් විධිමත් පූර්ණ කාලීන පූර්ව සේවා වෘත්තීය පුහුණුවක් අවශ්‍යයි. අධ්‍යාපන විද්‍යා පීඨ වැනි තැනක ඔවුන්ට මෙම පුහුණුව නේවාසිකව ලබාදිය හැකි නම් ඉතාම හොඳයි.

දැනට ඔවුන්ගේ ගුරු පුහුණුව ලෙස සිදුකරන සති අන්ත අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලා වැනි ඒවායේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් තිබෙන ගැටලු ද විසඳිය යුතුයි.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු අභ්‍යන්තර බඳවාගැනීම් ඔස්සේ පිරවීම ඉතාම හොඳ දෙයක්. උපාධිධාරීන් අතර සිටින අති දක්ෂයන් ඍජුව රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා බඳවාගැනීම සඳහා පවත්වන පරිපාලන සේවා විභාග, අධ්‍යාපන පරිපාලන විභාග, පොලිස් හා බන්ධනාගාර සහකාර අධිකාරීන් බඳවාගැනීමේ විභාග ආදිය හරහා ඇත්තටම එම සේවාවන්ට එන්නේ දක්ෂයන්ද නැතිනම් කුමන හෝ අන්දමකින් මෙම තරග විභාග සමත් වන අහඹු පිරිසක්ද යන්න ද නැවත කල්පනා කළ යුතුයි.