තෙමෙන පාසල් ගොඩනැගිලි හා පාසල් අධ්‍යාපනය

අජිත් පැරකුම් ජයසිංහ
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙද්දී වැස්සෙන් සිදුවූ හානි එක්ක මෙවැනි පාසල් ගොඩනැගිලි කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.
පාසල්වල මෙවැනි ගොඩනැගිලි හැදුවෙ ලංකාව දුප්පත් කාලෙ (දැන් නැවතත් දුප්පත්). ඒ කාලෙ අවශ්‍ය වුණේ ගොඩනැගිලි මිස ඒවයෙ ගුණාත්මකබව නෙමෙයි. දැන් මේවා කඩල අලුත් ගොඩනැගිලි හදන්නට ඕනැ. පාසල් සඳහා රාජ්‍ය ආයෝජන විධිමත් කරන්නට ඕනැ. ඒකට පාසල් පද්ධතිය විධිමත් කරන්නට ඕනැ.
ඒක කොහොමද කරන්නට ඕනැ? සෑම ළමයකුටම ළඟම පාසලට යා හැකි විදියට පහසුකම් සපයන්නට ඕනැ. ඒ වගේම, පාසල් ප්‍රාථමික, ද්විතීයක, උසස් පෙළ විදියට වෙන් කරන්නට ඕනැ.
ඒ විතරක් නෙමෙයි, මුදල් ගෙවා ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් තමන්ගේ දරුවන්ට ලබාදෙන්නට කැමති මව්පියන් වෙනුවෙන් පෞද්ගලික පාසල් පද්ධතිය පවා නියාමනයක් සහිතව විධිමත් වෙන්නට ඕනැ. රාජකීය විද්‍යාලය වගේ ඉහළ පැළැන්තියේ ධනවත්, බලවත් පවුල්වල ළමයින්ට මහජන මුදලින් ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් පිනට ලබාදෙන පාසල්වලට ප්‍රමුඛතාව ලබාදීම වෙනුවට සෑම පාසලකම ගුණාත්මකභාවය ඉහළ නංවන්නට කටයුතු කරන්නට ඕනැ.
මේවා කරන්නට පුළුවන් තත්වයක ලංකාව 2019 වෙනකල් තිබුණා. ඒත් එක් පසුගාමීන් පිරිසක් මේවා කරන්නට දිගින් දිගටම ඉඩදුන්නේ නැහැ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නට යනවාය කියලා බොරු බිල්ලන් මැව්වා. උන්ට බයේ හැම ආණ්ඩුවම සුපුරුදු දූෂිත ක්‍රමය පවත්වාගෙන ගියා. ලංකාවේ පාසල් කියන්නේ දූෂණයේ හා අකාර්යක්ෂමතාවේ රජදහනක්. එහි නැතිම දේ තමයි අධ්‍යාපන විද්‍යාව.
ඒ දූෂණයේ හා අකාර්යක්ෂමතාවේ ප්‍රතිඵලයක් ලෙස ඉතාම සශ්‍රීක විදියට පෞද්ගලික අධ්‍යාපන ජාවාරමක් නිර්මාණය වුණා. ඒ තමයි ටියුෂන්. අද වනවිට ටියුෂන් වෙළඳපොළ විසින් සමස්ත පාසල් අධ්‍යාපන පද්ධතියම ගිලගෙන හමාරයි. විභාග ප්‍රශ්න දක්වාම ටියුෂන් ව්‍යාපාරයේ බලපෑම තිබෙනවා.
ලංකාවේ පාසල් අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිසංස්කරණයක් හදිසියේ අත්‍යවශ්‍යයි. හැබැයි, ඒක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වැනි ඊනියා සමාජවාදීන් සහ ගෝඨාභය රාජපක්ෂ වැනි අකාර්යක්ෂම නායකයන් එකට බැඳ කරන සීසෑමක් නම් නොවිය යුතුයි.
පාසල් අධ්‍යාපනය වෙනස් කරනකොට අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු දෙයක් තමයි පන්ති කාමරය. නවීන පංති කාමරයක් මොන වගේ විය යුතුද හිතන්න. එතකොට තේරෙයි අපේ පාසල් අධ්‍යාපනය වගේම ටියුෂන් ව්‍යාපාරයත් තියෙන්නෙ කොයිතරම් පසුපසින්ද කියන කාරණය.

Tution sandaha gewana mudal kandaraawa , honda pawdgalika paasal kramayak sandaha demaapiyan visin geviemata siduviyaheki mudalata wadaa vedi bawa boho denekula notherei