police death threats in Sri Lanka

පුළුවන් නම් මරල පෙන්නන්න බලන්න රාළහාමි

කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයෙදි පොලිසිය තමයි සාමකාමී උද්ඝෝෂණයකට අත තියන්නෙ. එහෙම තියලා පොලිසියෙම එකෙක් තමයි කියන්නෙ “අත තියපන් බලන්න. මරනව තෝව” කියලා. මෙහෙම කියන්නෙ මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙක්. ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙක්. පොලිස් නිලඇඳුම නැතිනම් එවැනි ලොකු ටෝක් දෙන්න කිසිම හැකියාවක් නැති මිනිහෙක්.

මේ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනැ. මේක වහසි බසක් නෙමෙයි. පොලිසිය එහෙම තමයි. මේ කරන්නෙ මරණ තර්ජනයක්. පොලිසිය මරණ තර්ජනවලින් නවතින්නෙ නැති ඉතිහාසයක් ගැන අපි දන්නවා. රාජ්‍ය බලය පාවිච්චි කරලා පොලිසිය මිනීමරලා තියෙනවා.

මේක ඉතාම පැහැදිලිව සාපරාධී ලෙස මරණ තර්ජන කිරීමක්. මෙම නිලධාරියා ඒ තර්ජනය පුන පුනා කරනවා. ඒ සම්බන්ධ නීතිය මෙතනදි අදාළයි. මරණ තර්ජන මානසික වධහිංසනයක්. මානසිකව කරනු ලබන මෙවැනි ක්‍රියා වධහිංසන බව පැහැදිලි කරන නඩු තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් ලබාදී තිබෙනවා.

මෙවැනි මෝඩ පොලිස් නිලධාරීන්ට අපට කියන්නට තිබෙන්නේ සරල කාරණයකි. සාමකාමී උද්ඝෝෂණ කරගන්නට මිනිසුන්ට ඉඩහරින්න. නිරෝධායන නීතිවලට මුවාවෙමින්, නිරෝධායන නීති කඩකරමින් සාමකාමී උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට මැදිහත් නොවන්න. ඔවුන් උද්ඝෝෂණ කරන්නේ තමන්ට දුන් බලාපොරොත්තු බරපතල අන්දමින් කඩා බිඳ දැමූ අසාර්ථක පාලනයකට එරෙහිවයි. එවැනි දේශපාලකයන් පිරිසක් වෙනුවෙන් කඩේ යාමට ගොස් තමන්ගේත්, තම දරු පවුලේත් ජීවිත අඳුරු කර නොගන්න.

දේශපාලනිකව ගත්තොත්, මෙතනදී පොලිසිය කිසියම් උද්ඝෝෂණකරුවකු මැරුවොත් එයින් රජයට, ආණ්ඩුවට සිදුවෙන්නෙ දැවැන්ත හානියක්. මේ මොහොතේ රටේ තිබෙන්නෙ කලකිරීමේ, අසහනයේ, පීඩනයේ, මර්දනයේ දරුණු කැකෑරීමක්. ඒ පීඩනය කොහේ හරි තැනකින් පුපුරා ගියොත් කොවිඩ් මර්දන නීතිවලට බැරිවෙයි මහජන විරෝධය පාලනය කරන්න.

සරත් වීරසේකරට පොලිසිය කළමනාකරණය කරගන්න බැරිවුණොත්, ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවට පළා යන එක තවත් ඉක්මන් වෙන්න පුළුවන්. දාලා යන්න හරි කැමැත්තෙන් ඇති. ඒත්, ඒව හරියන්නෙ නැහැ. පොරකාලා ගත්තා නම් කරන්න ඕනැ. කරන්න බැරිනම් වගවෙන්නත් ඕනැ. ජනතාව උද්ඝෝෂණ කරන්නෙ කරනවා කියපු ඒවා වෙනුවට වෙන ඒවා කරන නිසා. ඒ ගැන ජනතාවට පිළිතුරු සපයන්න ඕනැ.

Creative Content Consultants