Cartoon by Ajith Perakum Jayasinghe

විපක්ෂ භූමිකාව

සජිත් ප්‍රේමදාස පක්ෂය කඩන බවට තර්ජනය කරමින් රණ්ඩු අල්ලා ජනාධිපති අපේක්ෂකත්වය ලබාගෙන නන්නත්තාර වෙන්න පැරදුණේ ය. ඔහු ඉස්සරහට දමාගෙන පස්සෙන් ආ තක්කඩි රෑන තමන්ගේ ආසනවලින් දසදහස් ගණන් ඡන්දවලින් සජිත් පැරැද්දුවේ තමනුත් හත්පොළේ අසූචි තවරාගෙන ය.

Translations by Creative Content Consultants

එහෙත්, තවමත් ඔවුන් සන්තර්පණය වී නැත. දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකත්වය ද අත්පත් කරගෙන ය. එය ද මදි බව කියා, දැනට එජාප නායකයාට තිබෙන අධික බලතල සමග ම පක්ෂ නායකත්වය ද ඉල්ලන්නට පටන් ගෙන තිබේ. නායකත්වයේ බලතල කප්පාදු කර නායකත්වය ලබාදෙනවාට ද ඔහු සහ ඔහුගේ බාල ගෝලයෝ අකැමැති ය. එහෙත්, ඔවුන් කියන්නේ නායකයාගේ බලතල වැඩි බව ය. රනිල්ට වැඩි බලය සජිත්ට වැඩි වුණාට ඔවුන්ට කමක් නැත.

සජිත් ප්‍රේමදාස සමග එක් වී තිබෙන බැසිල් රාජපක්ෂගේ ඒජන්තයන් දැන් ඔහු අන්දමින් ඉන්නේ අලුත් පක්ෂයක් හදාගෙන වෙනම තරග කරන්නට ය. පොහොට්ටුව කළ අන්දමින් තමන්ට ද එසේ කළ හැකි වනු ඇතැයි සජිත් ප්‍රේමදාස විශ්වාස කරන බව පෙනේ. එයින් එක් දෙයක් නම් ස්ථිරව සිදු වනු ඇත. එක්සත් ජාතික පක්ෂය සුද්ද කරගැනීම ය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයකට ලක් විය යුතු ය. එසේම, එජාපයේ ලිබරල් හරයන් පාවා නොදෙමින් ජනතාව දිනාගැනීමට වැඩසටහනක් දියත් විය යුතු ය.

සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ අඳ බාල ගෝලයන්ට කිසිදු අලුත් අදහසක් නැත. ඔවුන් සිතන්නේ මහින්ද රාජපක්ෂ කළ විදියට කළා නම් 2025 වන විට සජිත්ට ජනාධිපතිකම ලබාගෙන තම තමන්ගේ බොළඳ හීන සැබෑ කරගත හැකි ය කියා ය. ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් මහින්දට ආදේශකයක් වන්නට සජිත්ට තබා ගෝඨාභයටවත් බැරි ය.

එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනගන්නට අනගි අවස්ථාවක් ඇත්තේ විපක්ෂ නායකත්වයේ භූමිකාව ඉටු කිරීම තුළ බව ඔවුන්ට තේරෙන්නේ නැත. මේ වන විට ආණ්ඩුව ජනතාවට දුන් මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට අසමත් වී තිබේ. බඩු මිළ අහස උසට ඉහළ යමින් තිබෙන අතර රජයේ සේවකයන්ගේ දීමනා ද කප්පාදු කරමින් තිබේ. වතු කම්කරුවන් වැනි පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවට වැටුප් වැඩි කරන බවට දුන් පොරොන්දු ගැන දැන් කිසිදු කතාවක් නැත. කිසිදු සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ ද නැත. තමන් ප්‍රකාශ කළ ප්‍රතිපත්තිවලට පටහැනි අන්දමින් රටේ ඉඩම් විදේශිකයන්ට දීර්ඝ කාලීන බදු දෙමින් තිබේ. බද්දට දුන් හම්බන්තොට වරාය වැනි දේපල ආපසු පවරා ගන්නා බවට දුන් පොරොන්දු ගැන දැන් රජය මුළුමනින් ම නිහඬ ය.

මේ අතර, නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් මදිවාට තවත් ටිකක් ඕනෑ වන්නා සේ දැන් රජය කියන්නේ කිසිවක් කරගන්නට බැරි 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා බව ය. ඒ නිසා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලා සිටිනු ලැබේ. තුනෙන් දෙක ගන්නට යන්නේ පසුගිය වසර හතරහමාරක් තුළ සිදු කරන ලද ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ආපසු හරවන්නට ය.

විපක්ෂයක් අවශ්‍ය වන්නේ මෙම සංදර්භය ජනතාවට පැහැදිලි කර දෙන්නට හා ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා බලමුළුගන්වන්නට ය. පොරොන්දු ඉටු කරන්නැයි ආණ්ඩුවට බල කරන්නට ය.

කෝ මේ සජිත්?

Translations