Salary cartoon

රජයේ සේවකයන්ගේ මැයි මස වැටුප රජයට ලබා දෙන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර කරන ලද ඉල්ලීම ඉතිහාසයේ රජයක් විසින් කර තිබෙන බොළඳ ම ඉල්ලීම ලෙස සැලකිය හැකි ය. එහෙත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය නිලධාරියකු හරහා එවැනි ඉල්ලීමක් කරන්නට සිදු වූයේ ඔහු මුහුණ දී සිටින අර්බුදයේ තරම නිසා විය හැකි ය. මේ වන විට පාර්ලිමේන්තුව ද වසා දමා තනිව සිය හමුදා මිතුරන් පිරිසක් සමග රට පාලනය කරන ඔහුට විසඳුම් ද තනිව සෙවීමට සිදු වී තිබේ.

Translations

මෙම ජනාධිපතිවරයා ජනාධිපති ධුරයේ වැඩ භාරගත් දවසේ සිට ම කතා කළේ රාජ්‍ය අංශය තව තවත් සේවකයන්ගෙන් පුරවන අන්දමයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් අයට හා රැකියාවක් සොයාගත නොහැකිව සිටින උපාධිධාරීන්ට මහජන මුදලින් වැටුප් ගෙවන රජයේ රැකියා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබා දී මහ මැතිවරණය ජයගන්නට ඔහු සැලසුම් කර තිබිණි. මැතිවරණයක් අතරතුර උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවාට මැතිවරණ කොමිසන් සභාව විරුද්ධ වූ විට ඔහුගේ රජය කයිවාරු ගැසුවේ ආරම්භ කරන්නට සිටි උපාධිධාරීන් පුහුණුව මැතිවරණය හේතුවෙන් නොපැවැත්වුණත්, අලුතින් බඳවා ගැනීමට නියමිත උපාධිධාරීන්ට රු. 20,000ක දීමනාවක් ගෙවන බවයි. එහෙත්, එය ගෙවන්නට හෝ බැරි විය. දැන් ඔවුන් ඇඟ බේරාගන්නේ මැතිවරණ කොමිසන් සභාව පිට වගකීම දමා ය.

රජයේ සේවකයන් මැයි මස වැටුප ආණ්ඩුවට දීම ආයෝජනයක් ලෙස හැඳින්වේ. ආයෝජනයක් නම් වැන්දඹු අනත් දරු අරමුදලේ ම කළ යුතු නැත. රජයට එම මුදල සුවිශේෂ බැඳුම්කරයක් ලෙස ලබාගත හැකි ය. යම්කිසි කාලයකින් කල් පිරෙන, සාධාරණ පොළියක් ලැබෙන භාණ්ඩාගාර බැඳුම්කරයක මුදල් ආයෝජනය කිරීමට රජයේ සේවකයන් අතරින් යහමින් මුදල් ඇති කිසියම් පිරිසක් කැමති වනු ඇත. සියයට දහයකට වැඩි පොළියක් ලබා දෙන්නේ නම්, මෙවැනි බැඳුම්කරයක් ඉතා ජනප්‍රිය වනු නිසැක ය.

වැන්දඹු අනත් දරු අරමුදලේ ආයෝජනය කිරීම ප්‍රෝඩාවකි. රජය විසින් කළමනාකරණය කරනු ලබන එම අරමුදලට මුදල් දැමීමෙන් සිදු වන්නේ යම් ව්‍යාජ ඉලක්කමක් නිර්මාණය පමණි. එයින් කිසිදු විශේෂ ප්‍රතිලාභයක් ආයෝජකයාට ලැබෙන්නේ නැත. එවැනි විශේෂ ආයෝජනයක් කළත්, නැතත්, වැන්දඹු අනත්දරු අරමුදලෙන් ලැබෙන ප්‍රතිලාභ ඒ විදියට ම සේවකයාට ලැබේ.

එසේම, රජයේ සේවකයා මියයන්නට කලින් කලත්‍රයා හෙවත් සැමියා හෝ බිරිය මිය ගියහොත් සහ අනාථ දරුවන් ලෙස සැලකිය හැකි කිසිවකු නොමැති නම්, වැන්දඹු අනත්දරු අරමුදලෙන් කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත.

රජයේ සේවකයන් බහුතරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් බව ඇත්ත ය. එහෙත්, ඔවුන් ආණ්ඩුවේ ඉල්ලීම පරිදි රජයට පඩි දන් දෙයි ද? සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන අප නම් එයට කැමති කිසිදු රජයේ සේවකයකු ඇති බවක් දුටුවේ නැත.

2 thoughts on “පඩි බාගෙ

  1. රජයේ සේවකයෝ ඒකට අකමැති උනොත්, ඔවුන් ආත්මාර්ථකාමී, දේශදෝහී පිරිසක් හැටියට හංවඩු ගසා facebook post හදන්න නම් පිංපඩි ලබන බළකායක් ඉන්නවා. ඒවා එකසිය ගාණට share කරන්නත් මුස්ළිම් අරාබි රටවල රස්සාවල් කරමින්(නොදන්නා ) ඉස්ළාම් අන්තවාදයට විරුද්ධව යටිගිරියෙන් සටන් කරන සෙට් එකකුත් ඉන්නවා

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: