Pravegaya

අජිත් පැරකුම් ජයසිංහ

පසුගිය දිනෙක ස්වර්ණවාහිනියෙ විකාශය වුණ ප්‍රවේගය සිංහල චිත්‍රපටය අහම්බෙන් බැලුවා. ඒ එක්කම පසුගිය දිනවල කලාව හා සංස්කෘතිය සම්බන්ධයෙන් අප අතර නිර්මාණය වුණ සාකච්ඡාවක් දෙස අලුත් ඇහැකින් බලන්නට පෙළඹවීමකුත් ඇතිවුණා.

2015 තිරගත වුණ ප්‍රවේගය චිත්‍රපටය 2007 තිරගත වුණ පොල්ලාදවන් නම් දෙමළ චිත්‍රපටයක රීමේක් එකක්. ප්‍රබුද්ධ සිනමාකරුවන් පවා රීමේක් හදලා තියෙනවා. ප්‍රසන්න විතානගේගෙ පළමු චිත්‍රපටය වන ‘සිසිල ගිනි ගනී’ කියන්නෙ ෆේටල් ඇට්‍රෑක්ෂන් චිත්‍රපටයෙ රීමේක් එකක් ලෙස සලකන්නට පුළුවන්. හේමාල් රණසිංහ, උදාන් පෙරේරා, ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග එහෙම විශිෂ්ට රංගනයක යෙදෙන ප්‍රවේගය චිත්‍රපටය වෘත්තීය මට්ටමේ වානිජ නිෂ්පාදනයක්. ඩොනල්ඩ් ජයන්තගේ අධ්‍යක්ෂණය විශිෂ්ටයි.

රීමේක් එකක් වුණාට ලංකාවේ නාගරික පහළ පන්තික තාරුණ්‍යය, පාතාල අපරාධ, මත්ද්‍රව්‍ය, රැකියා වියුක්තිය වැනි ප්‍රශ්න තරමක් දුරට ගැඹුරින් විග්‍රහ කරනවා. සරල චිත්‍රපටයකින් බලාපොරොත්තු විය හැකි ප්‍රශස්ථ ගැඹුරක් ඒක. තරමක් අතිශයෝක්තියෙන් යුක්ත වුණත්, ඕනෑම සාමාන්‍ය පුද්ගලයකු අපරාධකරුවකු බවට පත්කළ හැකි සමාජ අසාධාරණය වටා ගෙතුණු නාට්‍යමය සිද්ධි දාමයක් ඔස්සේ කලාත්මක, ගුණාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් නිර්මාණය කරනවා.

කලා සමාජය මෙවැනි චිත්‍රපට එතරම් සීරියස් ලෙස සලකන්නේ නැතිකම නිසා අපට ඒවා බලන්නට අභිප්‍රේරණයක් ඇතිවන විදියෙ රචනා කියවන්නට ලැබෙන්නෙත් නැහැ. මෙවැනි සිනමාකරුවන් වානිජ වශයෙන් සාර්ථක වුණත්, ඔවුන්ට සම්මාන, චිත්‍රපට උළෙල නියෝජනය ආදිය ලැබෙන්නේත් නැති වෙන්නට පුළුවන්.

ඊනියා ප්‍රබුද්ධ සමාජයෙන් බාහිරව පවතින කලාව සොයා පාදාගැනීම අතිශය දුෂ්කර වැඩක්. හැබැයි, ඒක තමයි කලාවේ සමාජවාදී අරගලය වෙන්නෙ. කලාවේ ආර්ථික හා සමාජ ප්‍රාග්ධනය විසින් අධිනිශ්චය කරනු ලබන කලාකරුවන්ගේ ඕනෑම ගොබ්බ වැඩක් වෙනුවෙන් අපට කාලය, ශ්‍රමය හා මුදල් වැයකරන්නට සිදුවෙනවා. ඒත්, ඒ ප්‍රාග්ධනය අහිමි කලාකරුවන් රැසකට අඩු තරමේ නිර්මාණයක් කරගන්නටවත් අවස්ථාවක් නැතිවෙනවා. බොහෝ නිර්මාණ කුසලතා පූර්ණ නොවී මිලින වී යනවා. කලාව ඇතුළේ සමානාත්මතාව වෙනුවෙන් වන අරගලය පවතින්නෙ වෙනම තලයක. ඒ අරගලය කලාව ඇතුළේ රඟන ඊනියා සමාජවාදී සමාජ ප්‍රාග්ධන හිමියන්ට එරෙහි අරගලයක්.

චන්දන ප්‍රසන්න කියන්නෙත් මං දන්න විදියට වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කරන්නට අවස්ථාව නොලැබුණු නිර්මාණාත්මක සිනමාකරුවෙක්. ඔහුගේ ‘මගුලෙ ප්‍රජාතන්ත්‍රවාදය’ නම් මේ කෙටි චිත්‍රපටය බලන්න.

සැබෑ නිර්මාණකරුවන්ට කලා කෘතියක් සමාජගත කරන්නට දුෂ්කර සංදර්භයක් ඇතුළෙ බොල් කලා ශිල්පීන් බුරුතු පිටින් මිනිසුන්ගේ කාලය, මුදල්, දත්ත, කඩදාසි, කැන්වස්, වේදිකා, කැමරා ආම්පන්න ආදිය නාස්ති කරන අසාධාරණ ක්‍රමය වෙනස්කිරීම කියන එක ධනවාදයට එරෙහි අරගලයටත් වඩා අමාරු වැඩක්. මොකද, මේ ඊනියා ප්‍රබුද්ධ කලාකරුවන් ආවරණය වන්නෙම සමාජවාදයට නිසා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රශ්නය තේරුම්ගැනීමට පවා අවශ්‍ය දැනුම හා ආකල්ප සමාජයට ලැබෙන්නේ නැහැ.

කලාවේ සමාජ ප්‍රාග්ධනය හිමි ඊනියා කලාකරුවන් විසින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කලාව වරනැගීමත් කරනවා. එහිදී විනෝදාස්වාදය සපයන ව්‍යවසායක කලාකරුවන් පවා විතැන් කිරීමට ලක්වෙනවා. මේක හරියට ලංකාවේ මධ්‍යම පන්තික පාලක පැළැන්තිය විසින් වැඩකරන ජනතාව වගේම ව්‍යවසායකයන්ව ද එකවර බැහැර කර තිබෙන ආකාරයට සමානයි. අවසානයේදී සිදුවන්නේ කුමක්ද? ඊනියා ප්‍රබුද්ධ කලාවත්, විශේෂයෙන්ම වැඩකරන ජනතාව අයත් වන සමාජ මට්ටමත් අතර දැවැන්ත පරතරයක් නිර්මාණය වීමයි.

මේකට විසඳුම මොකක්ද? විසඳුම තමයි, ඊනියා ප්‍රබුද්ධ කලා සමාජයේ ප්‍රාග්ධන හැසිරවීම් හඳුනාගන්නා එක. එහෙම හඳුනාගනිමින්, ආර්ථික හා සමාජ ප්‍රාග්ධනය හා වෙළඳපොළ ආධිපත්‍යය අහිමි වීම නිසා කොන්වී තිබෙන සැබෑ නිර්මාණශීලීත්වයන් සොයා පාදාගන්නට අවශ්‍යයි. කලාවේ පුරවැසි අරගලය තියෙන්නෙ එතන.

කලාව රසවින්දනයට වඩා කලා සන්නිවේදනයේදී වැදගත් වන්නේ වින්ද රසය වර්ණනා කිරීමයි. එමගින් කලා වෙළඳපොළ හසුරුවන්නට පුළුවන්. එතැනදී තමයි විචාරකයන්ගේ අධිපති භූමිකාව වැදගත් වෙන්නෙ. විචාරකයන්ගෙ චර්යාව බොහෝදුරට ප්‍රජාතාන්ත්‍රික නැහැ. සමාජවාදයට ආවරණය වුණාට විචාරයේ කිසිදු සමාජවාදයක් නැහැ. එහි සමාජවාදයේ මූලික ලක්ෂණ වන සමානාත්මතාව, පොදුබව වැනි ලක්ෂණ ඇත්තෙම නැහැ. ඒ වෙනුවට එහි තිබෙන්නේ දැඩි අධිපති වන්දනාවක්. ඒ වගේම, කලාවේ පීඩිතයන් වන ආධුනිකයන් පිටුදැකීමක්. ඒ වගේම, බොහෝ විචාරකයන් ස්වාධීනත් නැහැ. විචාරය කියන්නෙත් සමාජ වෙළඳපොළක්. කලාවක් විදියට ගත්තොත් විචාරය අතිශය ප්‍රචණ්ඩ ක්‍රියාවක්.  

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගෙ ගුඩ් වුමන් ඔෆ් සිට්ෂුආන් කියන නාට්‍යයේ ගුවන් යානයක් නොමැති පයිලට් කෙනෙකුගේ චරිතයක් තිබෙනවා. ලංකාවේ චිත්‍රපටයක් නිර්මාණය කරගත නොහැකි සිනමාකරුවන් කීදෙනෙකු ඉන්නවාද? නාට්‍යයක් නිර්මාණය කරගත නොහැකි නාට්‍යකරුවන් කීදෙනෙකු ඉන්නවාද? ප්‍රකාශනය, සංගීතය, නර්තනය ආදී අනෙකුත් කලා ක්ෂේත්‍රවලත් තත්වය එයයි. ඒ අතරෙ බොල් කලාකරුවන්ගේ අරගලය මොකක් හෝ කරගෙන පැවැත්ම තහවුරු කරගැනීමයි.

1 thought on “කලාවේ පීඩිතයා, සමාජ ආර්ථික ප්‍රාග්ධන හිමියා හා සමාජවාදී අරගලය

  1. Awra ganaye nowana , pransa ithali menma holiwood cinamawa tharuna parapurada daayaada koloth oyunge vindana sakthiya diyunu kiriemata abhipreranayak wanu atha .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: