Journalists for Rights meeting

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POCA) මගින් මෙරට මාධ්‍ය නිදහස, ගවේෂණාත්මක මාධ්‍යකරණය සහ තොරතුරු දැනගැනීමේ අයිතිය බරපතළ අනතුරකට ලක් කර ඇති බව ‘අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ’ සංවිධානය නිවේදනය කරයි. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහුරා දමන මෙම පනත් කෙටුම්පත් වහාම සංශෝධනය කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

ප්‍රකාශනයට පත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව, මෙම නව නීති හරහා මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රධාන තර්ජන කිහිපයකි:

  • මාධ්‍යවේදීන්ට අපරාධ චෝදනා එල්ල වීම: PSTA පනතේ 3, 9 සහ 10 වගන්ති යටතේ ත්‍රස්තවාදය පිළිබඳ අපැහැදිලි හා පුළුල් නිර්වචන මගින්, රජයේ දූෂණ හෙළි කරන මාධ්‍යවේදීන්ට සහ විරෝධතා වාර්තාකරුවන්ට එරෙහිව බරපතළ අපරාධ චෝදනා එල්ල කිරීමේ අවදානමක් මතු කර ඇත.
  • මූලාශ්‍ර රහස්‍යභාවය සහ ඩිජිටල් පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම: POCA පනතේ 28, 44 සහ 45 වගන්ති හරහා අධිකරණ අධීක්ෂණයකින් තොරව මාධ්‍යවේදීන්ගේ ඩිජිටල් දත්ත ලබාගැනීමට සහ සන්නිවේදනවලට සවන් දීමට පොලිසියට බලය පැවරීමෙන්, ගවේෂණාත්මක මාධ්‍ය මූලාශ්‍ර දැඩි අවදානමකට ලක් වේ.
  • මාධ්‍ය කණ්ඩායම් ‘සංවිධානාත්මක අපරාධ කල්ලි’ බවට පත් කිරීම: POCA පනතේ 3 සහ 66 වගන්තිවලට අනුව, වාර්තාකරුවන් හෝ කැමරා ශිල්පීන් තිදෙනෙකු එක්ව කරන රාජකාරියක් පවා සංවිධානාත්මක අපරාධයක් ලෙස අර්ථකථනය කර රැඳවුම් නියෝග නිකුත් කිරීමට ඉඩ සලසා තිබේ.
  • වරෙන්තු රහිත සෝදිසි කිරීම් සහ උපකරණ අත්පත් කර ගැනීම: PSTA පනත යටතේ කිසිදු අධිකරණ වරෙන්තුවකින් තොරව මාධ්‍යවේදීන් සෝදිසි කිරීමට සහ ඔවුන්ගේ උපකරණ පැහැර ගැනීමට ආරක්ෂක අංශවලට පුළුල් බලතල ලබා දී ඇත.

විධායක රැඳවුම් නියෝග, අනිවාර්ය රිමාන්ඩ් කිරීම සහ පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඇති විධිවිධාන හරහා සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ද උල්ලංඝනය වන බව අදාළ නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ අනුව, මූලික අයිතිවාසිකම්වලට තර්ජනයක් වන සියලු විධිවිධාන ඉවත් කර, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි මෙම නීති ප්‍රතිසංස්කරණය කළ යුතු බව ‘අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ’ සංවිධානය අවධාරණය කරයි.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ:

Creative Content Consultants
For all content creations, translations, editing, proofreading and typesetting in Sinhala, English and Tamil, call 077 1229191/ 077 1734470 / [email protected] / www.praja.lk/content-lanka/

මාධ්‍ය නිවේදනයයි

දිනය: 2026 ඔක්තෝබර් 26

ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට තර්ජනයක් වන PSTA සහ POCA පනත් කෙටුම්පත් සංශෝධනය කරනු! නිදහස් මාධ්‍ය මර්දනයට හා භාෂණයේ ප්‍රකාශනයේ නිදහස හැකිළීමට එරෙහිව පෙළගැසෙමු!

රජය විසින් ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (Protection of the State from Terrorism Bill – PSTA) සහ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (Prevention of Organised Crimes Bill – POCA) මඟින් මෙරට මාධ්‍ය නිදහස, ගවේෂණාත්මක මාධ්‍යකරණය, තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම බරපතළ අවදානමකට ලක් විය හැකි බව ‘අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ’ (Journalists for Rights) අවධාරණය කරයි.

ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධ මැඬලීම රාජ්‍යයක නීත්‍යනුකූල වගකීමකි. එහෙත් ඒ සඳහා සකස් කරන නීතිවලින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, මාධ්‍ය මූලාශ්‍රවල රහස්‍යභාවය, සාමකාමී විරෝධතා වාර්තා කිරීමේ අයිතිය සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය අනවශ්‍ය ලෙස සීමා නො විය යුතුය.

දශක හතරකට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ දිගු කාලීන රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් බරපතළ විවේචනයට ලක්ව තිබේ. එම පනත ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණින් හඳුන්වා දෙන නව නීති ද මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට අනුකූල විය යුතුය. පැරණි නීතියේ ගැටලු නව නීති මඟින් නැවත ඇති වීමට හෝ තවත් පුළුල් වීමට ඉඩ නො තැබිය යුතුය.

PSTA සහ POCA පනත් කෙටුම්පත්වල අදාළ විධිවිධාන සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වන්නේ පහත දැක්වෙන ප්‍රධාන ගැටලු කෙරෙහිය:

ගවේෂණාත්මක මාධ්‍යකරණය සහ මහජන විරෝධතා වාර්තා කිරීමේ නිදහසට ඇති තර්ජන

PSTA පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තිය යටතේ ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීමේ විෂය පථය සහ 9 හා 10 වැනි වගන්ති යටතේ ත්‍රස්තවාදයට අදාළ ප්‍රකාශන සම්බන්ධ විධිවිධාන පිළිබඳව බරපතළ අවධානයක් යොමු කළ යුතුය.

ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචන පුළුල් හෝ අපැහැදිලි වන විට, ඒවා විවිධ ආකාරයෙන් අර්ථකථනය කිරීමේ අවදානමක් පවතී. එවැනි තත්ත්වයක් තුළ රජයේ ක්‍රියාකාරකම්, දූෂණ, අක්‍රමිකතා සහ බලය අවභාවිත කිරීම පිළිබඳ මහජන යහපත උදෙසා තොරතුරු හෙළි කරන මාධ්‍යවේදීන්ට අපරාධ චෝදනා එල්ල කිරීමේ අවදානමක් ඇති විය හැකිය. මෙම ත්‍රස්තවාදය පිළිබඳ අපැහැදිලි හා විශාල ලෙස පුළුල් කරන ලද නිර්වචනය හේතු කොට ගෙන ඇති වන මර්දනකාරී තත්ත්වය සමස්ත පනත පුරාවටම පැතිරෙමින් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට තර්ජනය කරයි.

එමෙන්ම, මහජන විරෝධතා සහ වැඩවර්ජන වාර්තා කරන මාධ්‍යවේදීන්ට එරෙහිව රාජ්‍ය සේවකයකුගේ රාජකාරියට බාධා කිරීම වැනි වැරදි භාවිත කළ හැකි ආකාරය ද සැලකිල්ලට ගත යුතුය. එවැනි වරදක් POCA පනත් කෙටුම්පතේ පළමු උපලේඛනයට ඇතුළත් වීම, අදාළ නීතිමය කොන්දේසි සපුරන අවස්ථාවලදී, විශේෂ විමර්ශන හා රැඳවුම් බලතල යෙදීම පිළිබඳ ගැටලු මතු කරයි.

මාධ්‍යවේදියකු රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වූ පමණින් ඔහු හෝ ඇය සංවිධානාත්මක අපරාධයකට සම්බන්ධ පුද්ගලයකු බවට පත් නොවේ. එහෙත් නීතිමය නිර්වචන සහ බලතල පුළුල්ව සකස් කර ඇති විට ඒවා අනිසි ලෙස භාවිත කිරීමේ අවදානම වැළැක්වීමට පැහැදිලි ආරක්ෂණ අවශ්‍ය වේ.

මාධ්‍ය මූලාශ්‍රවල රහස්‍යභාවය සහ ඩිජිටල් පෞද්ගලිකත්වය

ගවේෂණාත්මක මාධ්‍යකරණයේ පදනම වන්නේ තොරතුරු සපයන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමයි. රාජ්‍ය දූෂණ, වංචා සහ බලය අවභාවිත කිරීම හෙළිදරව් කිරීමට ඉදිරිපත් වන තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාව අනාරක්ෂිත වුවහොත්, ඔවුන් තොරතුරු ලබා දීමට මැළි විය හැකිය. එමඟින් මහජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අවස්ථා ද සීමා වේ.

PSTA පනත් කෙටුම්පතේ 8 සහ 15 වැනි වගන්ති යටතේ ඇති වාර්තා කිරීමේ යුතුකම් සහ ඒවා උල්ලංඝනය කිරීමේ ප්‍රතිවිපාක, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය රහස්‍යභාවයට ඇති බලපෑම සලකා බලා නැවත සමාලෝචනය කළ යුතුය.

POCA පනත් කෙටුම්පතේ 28, 44 සහ 45 වැනි වගන්ති සම්බන්ධයෙන් ද බරපතළ ගැටලු පවතී. සන්නිවේදනවලට රහසිගතව සවන් දීම, දුරකථන වාර්තා හා ස්ථාන දත්ත ලබා ගැනීම සහ සංකේතනය කළ ඩිජිටල් උපාංග වෙත ප්‍රවේශ වීමට බල කිරීම වැනි බලතල භාවිත කිරීමේදී අධිකරණ අධීක්ෂණය, අවශ්‍යතාව, සමානුපාතිකත්වය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රමාණවත් සහතික තිබිය යුතුය.

එවැනි බලතල මාධ්‍යවේදීන්ගේ සන්නිවේදන හා තොරතුරු මූලාශ්‍ර හෙළිදරව් වීමට හේතු වුවහොත්, එය එක් පුද්ගලයකුගේ පෞද්ගලිකත්වයට පමණක් නො ව, සමස්ත ගවේෂණාත්මක මාධ්‍යකරණයටම බලපානු ඇත. එබැවින්, මෙම විධිවිධානවලට අදාළ අධිකරණ අනුමැතිය, බලතල භාවිත කළ හැකි අවස්ථා සහ අනිසි භාවිතයට එරෙහි ආරක්ෂණ පැහැදිලිව නියම කළ යුතුය.

ක්ෂේත්‍ර වාර්තාකරණය, ඡායාරූපකරණය සහ රාජ්‍ය තොරතුරු වෙත ප්‍රවේශ වීම

PSTA පනත් කෙටුම්පතේ සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම, උපකරණ අත්පත් කර ගැනීම සහ ස්ථාන තහනම් කිරීම සම්බන්ධ විධිවිධාන මාධ්‍යවේදීන්ගේ ක්ෂේත්‍ර වාර්තාකරණයට ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් සමාලෝචනය කළ යුතුය.

මාධ්‍යවේදීන්ට මහජන විරෝධතා, වැඩවර්ජන, රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වාර්තා කිරීමට ඇති හැකියාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය අංගයකි. එවැනි වාර්තාකරණය සඳහා භාවිත කරන කැමරා, ජංගම දුරකථන සහ පරිගණක සෝදිසි කිරීම හෝ අත්පත් කර ගැනීම සඳහා ඇති බලතල අත්තනෝමතික ලෙස භාවිත කළ නො හැකි වන පරිදි පැහැදිලි නීතිමය සීමා තිබිය යුතුය.

එමෙන්ම, PSTA පනත් කෙටුම්පතේ 61 වැනි වගන්තිය යටතේ ස්ථාන තහනම් කිරීමේ බලතල ක්‍රියාත්මක කරන ආකාරය ද විනිවිදභාවයෙන් යුක්ත විය යුතුය. ජාතික ආරක්ෂාව සඳහා සැබෑ අවශ්‍යතාවක් ඇති අවස්ථාවල පවා, එවැනි බලතල භාවිත කිරීම මඟින් මහජනතාවට වැදගත් තොරතුරු වාර්තා කිරීම අනවශ්‍ය ලෙස වැළැක්විය නො හැක.

POCA පනත් කෙටුම්පතේ 14 වැනි වගන්තිය යටතේ අධිකරණ කටයුතු පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ද පැහැදිලි සීමා සහ ආරක්ෂණ අවශ්‍ය වේ. අධිකරණ ක්‍රියාවලියේ සාධාරණත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් පනවන සීමා, මහජනතාවට අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ දැන ගැනීමට ඇති සාධාරණ අයිතිය අනවශ්‍ය ලෙස සීමා නො කළ යුතුය.

සංවිධානාත්මක අපරාධ පිළිබඳ පුළුල් නිර්වචනය සහ මාධ්‍ය කණ්ඩායම්වලට ඇති අවදානම

POCA පනත් කෙටුම්පතේ 3 සහ 66 වැනි වගන්ති යටතේ සංවිධානාත්මක අපරාධ පිළිබඳ නිර්වචනය සහ 4(2) වගන්තියට අදාළ විධිවිධාන සම්බන්ධයෙන් පැහැදිලි නීතිමය සීමා අවශ්‍ය වේ.

විශේෂයෙන් පුද්ගලයන් තිදෙනකු හෝ ඊට වැඩි පිරිසක් එක්ව යම් වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නීතිය යෙදිය හැකි අවස්ථා නිර්වචනය කිරීමේදී, කණ්ඩායමේ ස්වභාවය, අරමුණ සහ අදාළ අපරාධයේ නීතිමය අංග නිශ්චිතව සලකා බැලිය යුතුය.

ප්‍රවෘත්ති කර්තෘවරයකු, වාර්තාකරුවකු සහ කැමරා ශිල්පියකු වෘත්තීය කාර්යයක් සඳහා එක්ව කටයුතු කිරීම හෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව තොරතුරු ප්‍රසිද්ධ කිරීම පමණක් සංවිධානාත්මක අපරාධයකට සම්බන්ධ වීමක් ලෙස අර්ථකථනය නො කළ යුතුය.

කෙසේ වෙතත්, POCA පළමු උපලේඛනයට ඇතුළත් වැරදිවල විෂය පථය සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳ නිර්වචනය එකට ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි සීමා නොමැති නම්, මාධ්‍ය කණ්ඩායම්, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධානවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අනවශ්‍ය නීතිමය අවදානමක් මතු විය හැකිය. මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තේ:

  • මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act – OSA) යටතේ ඇති ඇතැම් වැරදි POCA හි විෂය පථයට ඇතුළත් වීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක;
  • ප්‍රකාශන හිමිකම් හා බුද්ධිමය දේපළ සම්බන්ධ වැරදි පළමු උපලේඛනයට ඇතුළත් කිරීමේ බලපෑම;
  • සාමකාමී විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සහ මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ වැරදි සංවිධානාත්මක අපරාධ නීතිය යටතේ විමර්ශනය කිරීමේ අවදානම.

සාපේක්ෂව අඩු බරපතළකමක් ඇති වරදක් වුව ද, එය සංවිධානාත්මක අපරාධයක් ලෙස සලකා විශේෂ විමර්ශන හෝ රැඳවුම් බලතල යෙදීමට ඉඩ තිබේ නම්, එවැනි බලතලවල විෂය පථය සහ භාවිතය සඳහා පැහැදිලි ආරක්ෂණ පනවා තිබිය යුතුය.

විධායක රැඳවුම් නියෝග, ඇප, නීතිඥ සහාය සහ පාපොච්චාරණ

පුද්ගල නිදහස සීමා කිරීමේදී අධිකරණ අධීක්ෂණය සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය අත්‍යවශ්‍ය වේ. PSTA පනත් කෙටුම්පතේ මෙන්ම POCA පනත් කෙටුම්පතේ 20–25 වැනි වගන්තිවල රැඳවුම් නියෝග, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සහ ඇප සම්බන්ධයෙන් ඇති විධිවිධාන අධිකරණයේ ස්වාධීනත්වය සහ සැකකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් සකස් කළ යුතුය.

විධායක නිලධාරීන්ට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලතල ලබා දීම සහ එවැනි නියෝග සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන්ට ඇති අභිමතය සීමා කිරීම, පුද්ගල නිදහස සහ අධිකරණ අධීක්ෂණය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි.

එමෙන්ම, POCA පනත් කෙටුම්පතේ 47 වැනි වගන්තිය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයකු හෝ ඊට ඉහළ නිලධාරියකු ඉදිරියේ කරන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඇති විධිවිධාන, බලහත්කාරයෙන් ප්‍රකාශ ලබා ගැනීමේ අවදානම සහ සාධාරණ නඩු විභාගයක අයිතිය පිළිබඳව සැලකිල්ලට ගනිමින් නැවත සමාලෝචනය කළ යුතුය.

මෙවැනි නීති සකස් කිරීමේදී නීතිඥ සහාය ලබා ගැනීමේ අයිතිය, අත්අඩංගුවට ගැනීමේ නීත්‍යනුකූලභාවය අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට ඇති හැකියාව සහ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.

මාධ්‍ය ආයතනවල අධ්‍යක්ෂවරුන් සහ කළමනාකාරීත්වය සම්බන්ධයෙන් වගකීම පවරන විධිවිධාන ද පෞද්ගලික වරද, දැනුම සහ වගකීම පිළිබඳ සාධාරණ නීතිමය මූලධර්මවලට අනුකූල විය යුතුය. එසේ නො වුවහොත්, මාධ්‍ය ආයතන අනවශ්‍ය ස්වයං-වාරණයකට යොමු වීමේ අවදානමක් පවතී.

අපගේ ස්ථාවරය සහ ඉල්ලීම්

PSTA සහ POCA පනත් කෙටුම්පත්වල ඉහත සඳහන් විධිවිධාන, ඒවායේ විෂය පථය සහ ක්‍රියාත්මක වන ආකාරය අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සමඟ ගැටුම් ඇති කළ හැකිය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ සංවිධානාත්මක අපරාධ මැඬලීම යනු ජනමාධ්‍ය නිහඬ කිරීමට, තොරතුරු දැන ගැනීමේ අයිතිය සීමා කිරීමට හෝ විධායක බලතල අධිකරණ අධීක්ෂණයෙන් තොර ව පුළුල් කිරීමට බලපත්‍රයක් නොවේ. එබැවින්, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සුරක්ෂිත කිරීම සඳහා රජයෙන් පහත පියවර ඉල්ලා සිටිමු:

  1. මූලික අයිතිවාසිකම්වලට තර්ජනයක් වන විධිවිධාන ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම: PSTA සහ POCA පනත් කෙටුම්පත්වල භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, පුද්ගල නිදහස, සාධාරණ නඩු විභාගයක අයිතිය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය අනවශ්‍ය ලෙස සීමා කළ හැකි විධිවිධාන නැවත සමාලෝචනය කර, ඒවා ඉවත් කිරීමට හෝ මූලික වශයෙන් සංශෝධනය කිරීමට පියවර ගන්න.
  2. මාධ්‍ය මූලාශ්‍රවල රහස්‍යභාවය සහ ඩිජිටල් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම: POCA 28, 44 සහ 45 වැනි වගන්ති යටතේ සන්නිවේදන හා ඩිජිටල් දත්ත ලබා ගැනීම සහ සංකේතනය කළ උපාංග වෙත ප්‍රවේශ වීම සම්බන්ධ බලතල සඳහා පැහැදිලි නීතිමය සීමා, අධිකරණ අධීක්ෂණය සහ අනිසි භාවිතයට එරෙහි ආරක්ෂණ හඳුන්වා දෙන්න. PSTA 8 සහ 15 වැනි වගන්තිවලින් මාධ්‍ය මූලාශ්‍රවල රහස්‍යභාවයට ඇති විය හැකි බලපෑම ද නැවත සලකා බලන්න.
  3. මාධ්‍ය කණ්ඩායම් සහ සාමකාමී සිවිල් ක්‍රියාකාරකම් සංවිධානාත්මක අපරාධ නීතියේ අනිසි භාවිතයෙන් ආරක්ෂා කිරීම: POCA 3, 4(2) සහ 66 වැනි වගන්ති සංශෝධනය කර, මාධ්‍ය ආයතන, කර්තෘ මණ්ඩල, වෘත්තීය සමිති, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ සංවිධානවල නීත්‍යනුකූල ක්‍රියාකාරකම් පමණක් පදනම් කරගෙන ඔවුන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ලෙස සැලකිය නො හැකි වන පරිදි පැහැදිලි ආරක්ෂණ සලසන්න. OSA යටතේ ඇති වැරදි, ප්‍රකාශන හිමිකම් වැරදි සහ සාමකාමී විරෝධතා සම්බන්ධ වැරදි POCA යටතේ යෙදිය හැකි ආකාරය නැවත සලකා බලා, අනවශ්‍ය ලෙස පුළුල් විෂය පථයක් ඇති වීම වළක්වන්න.
  4. අධිකරණ අධීක්ෂණය සහ සාධාරණ නඩු විභාගයක අයිතිය තහවුරු කිරීම: විධායක රැඳවුම් නියෝග සහ අනිවාර්ය රිමාන්ඩ් කිරීම සම්බන්ධ විධිවිධාන නැවත සමාලෝචනය කර, අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ ඇප ලබා දීම සම්බන්ධයෙන් අධිකරණයේ ස්වාධීනත්වය සහ අභිමතය ආරක්ෂා කරන්න. POCA 47 වැනි වගන්තිය යටතේ පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීම සම්බන්ධ ප්‍රතිපාදන සහ මාධ්‍ය ආයතනවල වගකිව යුතු නිලධාරීන්ගේ වගකීම පිළිබඳ විධිවිධාන ද සාධාරණ නඩු විභාගයක මූලධර්මවලට අනුකූල වන පරිදි සංශෝධනය කරන්න.
  5. ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සඳහා පියවර ගන්න. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (OSA) ඇතුළු මාධ්‍ය නිදහසට හා මූලික අයිතිවාසිකම්වලට බලපාන නීති සමාලෝචනය කිරීමේ දී මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, නීති විශාරදයන් සහ සිවිල් සමාජ සංවිධානවල අර්ථවත් සහභාගීත්වය සහතික කරන්න.

මෙම පනත්හි ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීම සිදු කළ ද අප මතු කරන මෙම බරපතළ ගැටලු පනතෙහි ව්‍යවස්ථානුකූලභාවයට එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ පැවැත්ම පිළිබඳ ගැටලුවක් බව අපගේ ස්ථාවරය බව ද මෙහි දී අප සිහිපත් කරමු.

නිදහස් මාධ්‍යයක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය කොන්දේසියකි

මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම යනු මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පමණක් ආරක්ෂා කිරීමක් නොවේ. එය ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය, රාජ්‍ය බලය පිළිබඳ මහජන අධීක්ෂණය සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම ආරක්ෂා කිරීමකි.

එබැවින්, PSTA සහ POCA පනත් කෙටුම්පත්වල මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට බලපාන විධිවිධාන නැවත සලකා බලා, ඒවා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි සංශෝධනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු.

නිදහස් මාධ්‍යයක්, තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙළගැසෙමු!

විධායක කමිටුව

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ (Journalists for Rights)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *