සහන් කසීර වික්‍රමසිංහ

වසර තිහකට පෙර අද වැනි දවසක; එනම් 1996 ජනවාරි 31 වැනිදා මිනිස් ජීවිත 78 ක් උදුරා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

එවකට මහ බැංකු අධිපති ව සිටි ඒ.එස්. ජයවර්ධන මහතා පෙබරවාරි 03 වැනි දා දිවයින පුවත්පත ට මෙසේ පවසා සිටියේය.

‘අපේ ආරක්ෂක අංශය ඒ වෙලාවේ ක්‍රියා කළ ආකාරය ප්‍රශංසනීයයි. එක් ආරක්ෂක නිළධාරියෙක් බිම දිගේ ඇදීගෙන ගොස් යකඩ ගේට්ටුව වසා නොදැම්මා නම් සිදුවන විනාශය මීට වඩා අතිශයින් දරුණු වීමට ඉඩ තිබුණා. එම යකඩ ගේට්ටුව වසා නොදැම්මා නම් බෝම්බ ලොරිය බැංකු ගොඩනැගිල්ලේම හප්පන්නට තිබුණා.’

අදටත් එම රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරය ‘මහ බැංකු බෝම්බය’ නමින් ශ්‍රී ලාංකේය අප සැමගේ  මතකයේ රැඳී ඇත. නමුත්; ඒ මොහොතේ ජීවිතාවදානම නොතකා ප්‍රහාරය අඩපණ කිරීමට සමත් වූ සරත් ජයසිරි නම් ආරක්ෂක නිළධාරියෙක් පිළිබඳ ඡායා මාත්‍රයක් හෝ අප මතකයේ ඇති ද යන්න හරහා හෘද සාක්ෂ්‍යය සහ කෘතගුණය පිළිබඳ ස්වයං ලිට්මස් පරීක්ෂාවක් පැවැත්වීමට හැකිය.1996 වසරේ දී බෝම්බ ප්‍රහාරය එල්ල වන විට දෙවැනි ශ්‍රේණියේ ආරක්ෂක නිළධාරියෙකු වූ සරත් ජයසිරි ට ඊ ළඟ ශ්‍රේණියට උසස්වීම ලැබී තිබුණේ 2000 වසරේ දී ය.

සිත් වේදනා, කළකිරීම් සහ ඉච්ඡා භංගත්වය සමග සිරෝසිස් රෝගයෙන් මිය යනතුරු ම සරත් ජයසිරි හට මහ බැංකු බෝම්බ ප්‍රහාරයේ දී පෑ වික්‍රමය උදෙසා උරුම වී තිබුණේ එකම එක දෙයක් පමණි. ඒ; අදාල සිදුවීමේ දී ඉටු කළ මෙහෙය වෙනුවෙන් දෙසිය දෙනෙකුට ම පිරි නමා තිබූ ඇගයුම් සහතික පතක් පමණකි.

රට වෙනුවෙන් හෝ තමන් හැර අන් කිසිවෙක් වෙනුවෙන් කිසිදු මෙහෙයක් ඉටු නොකරන ආත්මාර්ථකාමි මිනිසුන් වඩාත් පහසුවෙන් බොහෝ ජීවනාභිලාෂයන් ඉටු කර ගන්නා සමාජයක; කඩදාසියෙන් නිම කළ සහතික පතක් පමණක් හිමි වූ මිනිසෙක් හුදෙකලාව ජීවිතයෙන් සමුගත්තේ ය.

‘Dead people receive more flowers than the living ones because regret is stronger than gratitude’

‘මළ ගිය ඇත්තන් ජීවතුන් අතර සිටින්නන්ට වඩා වැඩි මල් ප්‍රමාණයකින් පුද ලබති. මන්ද; කෘතගුණයට වඩා පසුතැවිල්ල බලවත් බැවිනි’

මේ පල කරන සටහන පවා මළවුන් වෙත පුදන මල් පොකුරක් පමණක් ම බව වරදකාරී හදවතින් වුව ද පිළි ගනිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *